සූරියවැව අනියම් පෙම් පළහිලව්ව ජීවිත දෙකක් බිලිගනී

853

අනියම් බිරිය ඝාතනය කිරීමෙන් පසු තිදරු සැමියාත් ගෙළ වැලලාගනී

අනියම් සබඳතාවක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් සූරියවැව පෝල්පහ ප්‍රදේශයේදී දෙදරු මවක කපා කොටා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු සූරියවැව බැද්දෙවැව විහාරස්ථානය ආසන්නයේ ගසක ගෙළ වැළලාගෙන මියගොස් සිටියදී ඊයේ (07 දා) පෙරවරුවේ සොයා ගත් බව සූරියවැව පොලිසිය පවසයි.

මෙලෙස ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන ඇත්තේ සූරියවැව බැද්දේවැව පෝල්පහ ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් අනුරාධ නමැති 39 හැවිරිදි තිදරු පියෙකි. මියගිය සැකකරු විසින් සූරියවැව පෝල්පහ ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි දෙදරු මවක වූ සුදුහකුරුගේ සුරංගිකා නදීශානී නමැති කාන්තාවගේ හිස ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර පළාගොස් තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ අතර එහිදී අනාවරණය වී තිබුණේ මියගිය කාන්තාව හා සැකකරු අතර කලක් තිස්සේ අනියම් සබඳතාවයක් පැවති බවත්, දෙදෙනා අතර ඇතිව තිබූ ආරවුලක් හේතුවෙන් සැකකරු විසින් සිය අනියම් බිරිය ඝාතනය කර ඇති බවයි. සැකකරු සිය අනියම් බිරිය ඝාතනය කිරීමෙන් පසු ඒ පිළිබඳව සූරියවැව පොලිසියටද දුරකතන ඇමතුමක් ලබා ප්‍රදේශයෙන් පළාගොස් තිබුණි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන පැවැත්වෙමින් තිබියදී සැකකරු සූරියවැව බැද්දේවැව විහාරස්ථානය අසල ගසක එල්ලී ගෙළ වැළලාගෙන

මියගොස් සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් කැඳවා තිබූ අතර එම නිලධාරීන්ද පැමිණ ස්ථානීය පරීක්ෂණය පැවැත්වුණි. සැකකරුගේ මරණය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය විසින් හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කිරීමෙන් පසු හම්බන්තොට මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා විසින් එම ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විණි. එහිදී සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමුකර එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා සූරියවැව පොලිසියට එහිදී නියෝග කෙරුණි.

සිද්ධිය පිළිබඳව තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න, සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. අනුර සුසන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පො.ප. ලලිත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වයි.

මත්තල – දිලීප් එන් ජයසේකර සහ සූරියවැව – රොෂාන් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment