සූරියවැව ආඬිගමදී එස්.ටී.එෆ් එකට වෙඩි තියන්න ආ මහබාගේ ඝාතකයෙක් වෙඩි කා නසී

722

යුද හමුදාවෙන් ඉවත්ව ගිය සෙබළෙක්

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (28 දා) අලුයම සූරියවැවදී එල්ල කළ ප්‍රහාරයකින් මරුමුවට පත්වූ යුද හමුදාවෙන් ඉවත්ව ගිය සෙබළෙකු වූ නුවන් ලක්ෂිත නමැත්තා මහබාගේ මස් ව්‍යාපාරිකයා ඝාතනය කිරීම ඇතුළු පාතාල කොන්ත්‍රාත්, වෙඩි තැබීම් ගණනාවකට සම්බන්ධ දරුණු ගණයේ අපරාධකරුවකු බව විමර්ශනවලින් හෙළිවී ඇත.

සූරියවැව ආඬිගම ප්‍රදේශයේ හේනක සැඟවී සිටියදී මෙම අපරාධකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඔහු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට වෙඩි තැබූ අතර එහිදී එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් අපරාධකරු බරපතළ තුවාල ලබා තිබිණි. පසුව ඔහු සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.

මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු ද තුවාල ලැබූ අතර ඔහු මේ වනවිට සූරියවැව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අපරාධකරු සන්තකයේ තිබී රිවෝලර් වර්ගයේ ගිනි අවියක්ද විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් භාරයට ගෙන ඇත.

මහබාගේ ඌරුමස් කඩ හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු සමග යතුරු පැදිය පදවාගෙන ගොස් ඇත්තේ නුවන් ලක්ෂිත නමැති මෙම අපරාධකරු බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

මහබාගේ ව්‍යාපාරිකයා ඝාතනය කළ වෙඩික්කරු මීට දින කිහිපයකට උඩදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී නුවන් ලක්ෂිත පිළිබඳ තොරතුරු අනාවරණය විය.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ අලුයම සූරියවැව ආඬිගම ප්‍රදේශයේ හේනක පිහිටි මඩුවක සිටි මෙම අපරාධකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරද්දී ඔහු එම නිලධාරීන්ට වෙඩි තබා තිබිණි. විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ ප්‍රහාරවලින් මරණයට පත්වූ නුවන් ලක්ෂිත 45 හැවිරිදි වියේ පසුවූ වලස්මුල්ලේ පදිංචි විවාහකයෙකි. 1999 වර්ෂයේදී යුද හමුදා ගැමුණුහේවා බළකායට බැඳී රාජකාරි කළ මොහු වසර 25 ක සේවයකින් පසු ඉකුත් ජනවාරි මාසයේ සේවයෙන් විශ්‍රාම ගොස් ඇත.

යුද හමුදා සක්‍රීය සේවයේ යෙදී සිටියදී නුවන් ලක්ෂිත පාතාල කොන්ත්‍රාත් අපරාධ රැසකට සම්බන්ධවී ඇති බව විමර්ශනවලින් අනාවරණය විය.

මහබාගේ මිනිස් ඝාතනයට අමතරව, ඉකුත් 2023 වර්ෂයේ අගෝස්තු 28 වැනිදා වැල්ලම්පිටියේ පුද්ගලයකුට වෙඩි තැබීමට යතුරු පැදිය පදවාගෙන ගොස් ඇත්තේ මොහු විසින් බව හෙළිවී තිබේ.

මීටියාගොඩ සීනිගම දේවාලය ඇසලදී විදුර නමැති පාතාල නායකයාගේ මස්සිනා වන දුලාජ් නමැත්තාට වෙඩි තැබීමට ගොස් ඇත්තේද මොහු බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මහබාගේ ව්‍යාපාරිකයා ඝාතනය කිරීම ඩුබායි නිපුන නමැති පාතල මැරයාගේ කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

එම ඝාතනය සඳහා සම්බන්ධ වූ අපරාධකරුවන් තිදෙනාම හමුදා සේවයේ යෙදී සිටි පුද්ගලයන් වන අතර ඒ අතරින් වෙඩික්කරු මඩකලපුව ප්‍රදේශයේ හමුදා කඳවුරක සක්‍රීය සේවයේ යෙදී සිටින අයකු බව පොලිසිය පවසයි.

මහබාගේ ව්‍යාපාරිකයා ඝාතනය වෙනුවෙන් මෙම හමුදා සේවයේ යෙදී සිටි තිදෙනාට ලැබී ඇත්තේ රුපියල් ලක්ෂ 3 ක මුදලක් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

ඩුබායි නිපුන සහ වැල්ලේ සාරංග නමැති පාතාල නායකයන් දෙදෙනා අතර කාලයක පටන් පවතින ආරවුලක් මහබාගේ මස් ව්‍යාපාරිකයාගේ ඝාතනයට හේතුවී ඇත.

ඝාතනයට ලක්වූ මස් ව්‍යාපාරිකයා වැල්ලේ සාරංගගේ මස්සිනා වන අතර පාතාල ආරවුලක් මේ ඝාතනයට හේතුවී තිබිණි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත අධ්‍යක්‍ෂ බුද්ධි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. කේ. විජේසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් බුද්ධි මෙහෙයුම් හා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර ඇතුළු නිලධාරීහු මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළහ.
හේමන්ත රන්දුණු සහ අමිල සම්පත් – තිස්සමහාරාම

advertistmentadvertistment
advertistmentadvertistment