සූරියවැව කතාව…

892

ඉහත සඳහන් ශීර්ෂ පාඨය දකින අපේ පාඨකයා කල්පනා කරනු ඇත්තේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය ගැන අප කිසිවක් ලියනු ලැබීමට යන බවය. එහෙත් අප ලියන්නේ සූරියවැව වෙසෙන දරුවන්ගෙන් 80% ට මන්දපෝෂණය ඇතැයි පෙරේදා (21දා) දිවයින පුවත්පතේ පළවූ මුල් පුවත ගැනය. සූරියවැව මන්දපෝෂණ සිද්ධිය ජී. ජී. චමල් සංජීව නමැති වෛද්‍යවරයකුගේ ප්‍රකාශයකි. වෛද්‍ය චමල් සංජීව මේ වන විට වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියක ප්‍රධානියා ලෙස කටයුතු කරයි. එවැනි ආයතනයක් මෙහෙයවන වෘත්තීය සමිති ප්‍රධානීන් නිරන්තරයෙන් බහුජනතාවට බලපාන්නේ යැයි සිතන ප්‍රශ්න ගැන කතා කරති. සූරියවැව දරුවන්ගේ මන්දපෝෂණ පුවත සමගි ජනබලවේගයේ මන්ත්‍රී රෝහිනී කවිරත්න විසින් පාර්ලිමේන්තුවේදී ද ප්‍රශ්න කරන ලදී. සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රශ්නයට යම් ප්‍රමාණයකට පිළිතුරු දී ඇති අතර සම්පූර්ණ පිළිතුරක් දීමේ අපේක්ෂාවෙන් පසුවෙතැයි දැන ගැනීමට තිබේ. පාසලේදී ගනු ලබන දිවා ආහාරය වශයෙන් පොල් කැබලි උලුප්පා Lunch box එකක දමාගෙන එන දැරියක්, නිරාහාරව පාසල් පැමිණීම නිසා ක්ලාන්ත වන දරුවෙක්, කුසගිනි නිවාගැනීම සඳහා වැව්වලට බැස නෙලුම් අල සොයන දරුවන් ගැන විවිධ ප්‍රවෘත්ති මේ දිනවල අපට අසන්නට ලැබේ.

ශ්‍රී ලංකාව මේ මොහොතේදී ඉහළ උද්ධමන අවස්ථාවක පවතී. එහි ප්‍රමාණය 70% ක් බව කියනු ලැබේ. රටක මෙවැනි උද්ධමන තලයක් තිබෙන විට ඉහත සඳහන් ආකාරයේ භාවාතිෂය සිද්ධි ප්‍රචාරයට පත්වීම ඉතා ස්වභාවිකය. හයිටි රාජ්‍යයේ කුඩා දරුවෝ නැති බැරි කාලයට මැටිවලින් සෑදූ බිස්කට් වර්ගයක් කති. මෙය සමාන වන්නේ බඩගිනිකාර කිඹුලා කිරි මැටි කෑමටය. කිරි මැටි කෑ කිඹුලා එයින් මැරෙන්නේ නැත. එහෙත් ඌට අවශ්‍ය පෝෂණය කිරි මැටි වලින් නොලැබේ. කිරි මැටිවල ඇති ඛනිජ වලින් ඉතා ස්වල්පයක් කිඹුලාගේ සිරුර විසින් අවශෝෂණය කරගනු ලැබේ. හයිටියේ මැටි බිස්කට් කතාවේ ප්‍රතිඵලයද මෙයට සමානය. කිසියම් රටක දරුවකුට තිරිඟු පිටි වලින් සෑදූ බිස්කට් නොව මැටි වලින් සෑදූ බිස්කට් අනුභව කිරීමට ලැබීම අවාසනාවකි. සූරියවැව දරුවන්ගෙන් 80% ට මන්දපෝෂණය තිබෙන බව වෛද්‍ය චමල් සංජීව කියන්නට ඇත්තේ කිසියම් සමීක්ෂණ වාර්තාවක් පදනම් කරගෙන විය යුතුය. එවැනි සමීක්ෂණ වාර්තාවකට පිළිගැනීමක් ලැබෙන්නේ එය අන්තර්ජාතිකව පිළිගත් විගණනයන් ඔස්සේ කෙරුණු පර්යේෂණයක් නම් පමණි. මේ ගැන වැඩිදුර කතා කිරීමට අපි අපේක්ෂා නොකරමු. මෙතැන් සිට අප කරන්නේ ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ තත්ත්වය ගැන සාකච්ඡා කිරීමය.

මන්දපෝෂණය යනු ශත වර්ෂාධික ප්‍රශ්නයකි. මෙයට අවුරුදු සීයකට හෝ එකසිය පනහකට පෙර මේ රෝගය හඳුන්වන ලද්දේ මාන්දම ලෙසය. මාන්දමේ නියම අරුත වූ කලී ශරීරයට අවශ්‍ය පෝෂණ කොටස් මඳ වීමය. මාන්දම ඇති දරුවෝ බොරළු කැට අහුලාගෙන කති. වළං කටුද අනුභව කරති. ඔවුන් එසේ කරන්නේ ඒවායේ ගැබ්ව ඇති ඛනිජ කොටස් පිළිබඳ ඉවක් ඔවුන්ගේ උප විඥ්ඥානය තුළ තැන්පත්ව ඇති නිසාය. ඛනිජ මෙන්ම ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේටද දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය ය. ඒවා අඩංගු කිසියම් දෙයක් අහල පහල ඇතොත් එම දරුවන්ගේ උප විඥ්ඥානය විසින් ඒවා හඳුනාගන්නවා ඇත. එසේ හඳුනාගෙන ආහාර ගැනීම සඳහා ප්‍රෝටීන හෝ කබෝහයිඩ්‍රේට අප අවට නැත. ඛනිජ පමණක් අනුභව කළ පමණින් මාන්දම සුව වන්නේ ද නැත. ශ්‍රී ලංකාවේ දරුවන්ගේ පමණක් නොව ලෝකවාසී ජනතාවගේද මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ උනන්දුවක් යුනිසෙෆ් සංවිධානය, වර්ල්ඩ් ෆුඩ් ප්‍රෝග්‍රෑම් වැනි ආයතන නිරන්තරයෙන් දක්වා තිබේ. ලංකාවේ දරුවන් නිසි වේලාවට ආහාර වෙත ප්‍රවේශ නොවෙන බැවින් ඔවුන් සඳහා බිස්කට් ලබා දීමට මෙයට අවුරුදු 50 ට පමණ පෙර ඇමරිකාව තීරණය කළේය. මේ අනුව ඇමරිකාවේ ඇදීහැස (ඇමරිකන් දීමනා හැමට සමසේ) යන ව්‍යාපාරය යටතේ ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට අතරමැද ආහාරයක් වශයෙන් පාසලේදී බිස්කට් පහක් නොමිලයේ දෙන ලදී. මේ බිස්කට් එක තුළ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ විශාල වශයෙන් තිබිණ. 1977 ආණ්ඩු පෙරළියත් සමගම ශ්‍රී ලංකාව විවෘත ආර්ථිකය වෙත නැඹුරු වූ අතර මේ රට තවදුරටත් දුප්පත් රටක් ලෙස පිළිගැනීමට නොකැමැති වූ ඇමරිකාව ඇදීහැස බිස්කට් වැඩසටහන නතර කළේය.

නිරාහාරව පාසලට එන දරුවන් දෙවර්ගයක් සිටිති. සමහරුන් නැති බැරිකම නිසා උදේට නොකා ගෙවල් වලින් එති. තවත් සමහර දරුවෝ හුඟක් උදෙන් කෑමට ඇති නොකැමැත්ත නිසා නිරාහාරව පාසල් එති. අන්තිමේදී උදේ Assembly එක පැවැත්වෙන විට මේ ළමයි දෙවර්ගයම ක්ලාන්ත වී මහ පොළවට ඇද වැටෙති. ශ්‍රී ලංකාවේ නාගරිකයෙහි දුප්පත්කම මෙයට අවුරුදු දහයකට පෙර පැවති මට්ටමේම අදටත් පවතී. මේ දරුවන්ට පෝෂ්‍යදායක ආහාර වෙත ප්‍රවේශ වීමට නොහැක. මේ තත්ත්වය ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය යන රටවලට ඉතා පොදුය. එසේම පෝෂ්‍යදායක ආහාර වෙත ප්‍රවේශවීමේ හැකියාවක් ඇති පවුල්වල දරුවෝත් එම අවස්ථාව මගහැර Fast food වෙත නැඹුරු වීමට පටන්ගෙන ඇත. ඉස්කෝලේ ඇරෙන විට මේ ළමයි බර්ගර් outlet එකකට ගොස් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පිඟානක් කා දමා කෝලා වර්ගයේ බීම එකක් බොති. නැත්නම් කිසියම් වෙළෙඳ නාමයක් යටතේ ඇති ෆ්‍රයිඩ් රයිස් එකක් හෝ චිකන් සමග කහ බතක් කති. මේ කහ බත්වල කහ නැති බව වෙසෙසින් සඳහන් කළ යුතුය. ඒවායේ ඇත්තේ කහ පැහැති ආහාර වර්ණකයකි. කහවල තිබෙන Anti oxidant බලය ආහාර වර්ණකවල නැත. මේ රටේ දැනට උද්ගතව පවත්නා ක්ෂණික ආහාර කර්මාන්තයද මේ රටේ තිබෙන මන්දපෝෂණයට වගකිව යුතුය. සූරියවැව කතාව නියෝජනය කරන්නේ අප මෙතෙක් කී කතාවලින් කොයි කතාවද යන්න අපි නොදන්නෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment