සූරියවැව තුවක්කු හැදූ අයෙක් එස්ටීඑෆ් එකට කොටුවෙලා

250

සූරියවැව වැවේගම ප්‍රදේශයේ කම්හලක් තුළ ගිනි අවි නිෂ්පාදනය කළ පුද්ගලයකු ගිනි අවියක් හා තවත් ගිනි අවි නිෂ්පාදනයට ගන්නා කොටස් කිහිපයක් සමග හම්බන්තොට විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් පෙරේදා (20 දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සුරියවැව වැවේගම පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු සම්බන්ධයෙන් හම්බන්තොට යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව හම්බන්තොට විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. වැටලීම සිදුකරන විටත් සැකකරු ගිනි අවියක් සකස් කරමින් සිට තිබේ. වැටලීමේදී සැකකරු විසින් නිෂ්පාදනය කර තිබූ ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ටී කටස් වර්ගයේ ගිනි අවියක් හා තවත් ගිනි අවියක කොටස් කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරු වැඩිදුර විමර්ෂන සඳහා සූරියවැව පොලිසියට බාරදී ඇති අතර සුරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්ත මහතාගේ උපදෙස් පරිදි සැකකරු හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගත් ගිනි අවිය හා ගිනි අවි කොටස්

මත්තල – දිලීප් එන්. ජයසේකර


advertistmentadvertistment