ආගමික මූලයක් සහිත නත්තල් පප්පා යන සංකල්පය මේ වන විට අනාගමික චරිතයක් බවට පත්ව තිබේ. මේ රටේ තිබෙන සෑම ආගමකටම අයත් පවුල්වල දූ දරුවෝ දෙසැම්බර් 24 දා රාත‍්‍රියේ නින්දට යන්නේ එම මැදියමේදී නත්තල් පප්පා විසින් ගෙනෙන සෙල්ලම් බඩු පිළිබඳ කල්පනාවෙනි. මේ අතර අපටම අයත් අපටම ආවේනික ස්වදේශික නත්තල් පප්පා කෙනෙක් මේ වන විට පහළ වී ඇත. ඒ පප්පා වූකලී කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ පප්පාය. ඉදිරියේදී වී කිලෝවක් සඳහා ගොවීන්ට රුපියල් සීයක් දෙන බව ඔහු කියයි. මේ අනුව ඔහු ගොවීන්ගේ නත්තල් පප්පා බවට පත්වෙයි. අපගේ දැනුමට අනුව ඔහු විසින් කියනු ලබන්නේ ශ‍්‍රී ලංකාවේ වඩාත් බහුල ලෙස වගා කරන සුදු කැකුළු සහ රතු කැකුළුවලට අදාළ වී ගැනය. සහල් කිලෝවක් නිපදවීම සඳහා වී කිලෝ 1.6 ක් අවශ්‍ය ය. ඒ අනුව අලූත්ගමගේ පප්පා ගේ නව මිල ක‍්‍රමයට අදාළ සහල් කිලෝවක් නිපදවීමේදී වී සඳහා පමණක් රුපියල් 160 ක් වැයවේ. මීට අමතරව කමතේ සිට මෝලට වී ගෙන ඒම, වී කෙටීම, වී ගබඩා කිරීම, සහල් කිලෝ පහේ බෑග්වල ඇසිරීම, එම බෑග් නිපදවීම, එම සහල් බෑග් ගබඩා කිරීම සහ වෙළෙඳපොළට ප‍්‍රවාහනය කිරීම යන සෙසු කටයුතු සඳහා තවත් රුපියල් 40 ක් පමණ එකතු කිරීමට වී මෝල්කාරයා නම්‍යශීලී වනවා ඇත. ඒ අනුව කමතේ සිට වෙළෙඳපොළ දක්වා වූ ගමනේදී සහල් කිලෝවකට රුපියල් 200 ක් වැයවීමට නියමිතය. මේ සහල් කිලෝවකින් වී මෝල්කාරයා රුපියල් 5 කුත් සහල් වෙළෙන්දා රුපියල් 5 කුත් යනාදී වශයෙන් තබාගතහොත් එම සහල් කිලෝවක් ගෙදර බත් මුට්ටියට යනවිට රුපියල් 210 ක් වෙයි. සුදු කැකුළු සහ රතු කැකුළු රුපියල් 100 ත් 110 ත් අතර මුදලකට විවෘත වෙළෙඳපොළෙන් ලබාගත හැක. ගොවියන් අතට වැඩි මිලක් දී ඔවුන් සතුටු කිරීම සඳහා නත්තල් පප්පා පමණක් නොව සූරපප්පා වීමට යෑමෙන් මහින්දානන්ද අලූත්ගමගේ මේ රටේ සහල් වෙළෙඳපොළට ලොකු ඩැමේජ් එකක් කිරීමට යන බව පෙනේ. සුදු කැකුළු හෝ රතු කැකුළු කිලෝවක් රුපියල් 210 ක් වුණොත් නාඩු කිලෝවක් රුපියල් 300 ටත් සම්බා කිලෝවක් රුපියල් 350 ටත් කීරි සම්බා කිලෝවක් රුපියල් 450 ටත් ඉහළ යෑම නොවැළැක්විය හැකිය. මේ රටේ බඩු මිල ඉහළ යන්නේ නූල කැඩුණු සරුංගලයක් ලෙස යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසා තිබේ. නූල කැඩුණු සරුංගලය ඉහළ යන්නේ නැත. එය නූල කැඩුණු අවස්ථාවේ සිට උස් පහත් වෙමින් අයාලේ ගොස් බිමට පතිත වේ. එහෙත් මේ රටේ බඩු මිල යළි කවදාවත් පහළ යන බවක් නොපෙනේ. එය ඉතා උසස් තැනක වඩාත් නම්බුකාර ලෙස සාමාන්‍ය මහජනතාවගෙන් ඈත්ව රැඳී සිටිනවා ඇත.
අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක පාලන මිල ඉවත් කරන ගැසට් පත‍්‍රයක් රජය විසින් ඉකුත් තුන් වැනිදා නිකුත් කරන ලදී. සීනි, පරිප්පු, කුකුළු මස්, අර්තාපල්, බී ලූනු, ටින් මාළු, කරවල, පොල්, වියළි මිරිස්, උම්බලකඩ, වියළි හාල්මැස්සන්, මුං ඇට, කඩල, තිරිඟු පිටි, ආනයනික කිරි පිටි සඳහා පනවා තිබූ මිල පාලනය මෙසේ ඉවත් කර ඇත. ඉහත සඳහන් ද්‍රව්‍ය සඳහා මිල පාලනයක් තිබූ බව මේ රටේ ජනයා මුල් වතාවට දැනගන්නේ එම මිල පාලනය අවලංගු කළ බව ප‍්‍රකාශයට පත් කෙරුණු ගැසට් නිවේදනය මගිනි. ගැසට් නිවේදනය නිකුත් වෙන්නට බොහෝ කලකට පෙර සිටම වජිර අබේවර්ධනගේ නූල කැඩුණු සරුංගලය මෙන් ඉහත භාණ්ඩවල මිල අයාලේ ගියේය. උදාහරණයක් වශයෙන් සීනිවල පාලන මිල කීයද යන්න අදටත් කවුරුවත් නොදනිත්. 1971 දී නම් සීනිවලට පාලන මිලක් තිබිණ. ඒ රාත්තලකට සත 72 කි. කුකුළු මස් පිළිබඳව පාලන මිලක් තිබූ බවට අප තුළ බොඳ වූ මතකයක් තිබේ. 2015 ට පෙර බන්ධුල ගුණවර්ධන මහතා වෙළෙඳ ඇමැතිව සිටියදී සම සහිත කුකුළු මස් කිලෝවකට රුපියල් 280 ක පාලන මිලක් නියම කළේය. මෙවිට කුකුළු මස් වෙළෙන්දෝ කුඬේකුත් රැගෙන බන්ධුල ගුණවර්ධනගේ ඒ කනින් රිංගා මේ කනින් එළියට පැමිණ අපූරු ගේමක් ගැසූහ. කුකුළු මස්වල සම සහිත යන කොටස අල්ලාගත් ඔවුහු සම ඉවත් කරන ලද කුකුළු මස් විවිධ මිලට විකුණන්නට පටන් ගත්හ. ගැසට් පත‍්‍රය නිකුත් කරන ලද්දේ සම සහිත කුකුළන්ට මිස සම රහිත කුකුළන්ට නොවේ. එබැවින් සම රහිත කුකුළන් චිකන් බ්‍රෙස්ට්, චිකන් නෙක්, චිකන් ලිවර්, චිකන් ගිසාර්ඞ්, චිකන් ඕෆ්කට් වැනි විවිධ කොටස්වලට කැපූ ඔවුහු ඒවා හිතු හිතූ මිලට විකුණන්නට පටන් ගත්හ. මෙහිදී නොවිකුණන ලද එකම කොටස චිකන් පිහාටු පමණි. කොටස් කරන ලද සම රහිත කුකුළෙක් සියලූ කොටස් එකතු කර මිලට ගැනීමේදී කිලෝව රුපියල් 400 ක් පමණ විය. මේ රටේ කුකුළු මස් කඩකාරයන් බන්ධුල ගුණවර්ධනට ගේම දුන්නේ ඒ ආකාරයෙනි. අද වන විට කුකුළු මස් කිලෝවක් රුපියල් 590 ටත් තිබේ. 690 ටත් තිබේ. 790 ටත් තිබේ. ඔර්ගනික් චිකන් කිලෝවක් රුපියල් 1500 කි. මේ නිසා මේ රටේ ගැසට් පත‍්‍ර කඩල ගොටු ගැසීම සඳහා සහ බත් එතීම සඳහා හැර වෙන කිසිම වැදගත් දෙයකට යොදා ගැනීමට නොහැක. ආණ්ඩුව පාලන මිල ඉවත් කිරීම නිසා එම පාලන මිලට යටත්ව තිබූ හැම වෙළෙඳ භාණ්ඩයකම මිල ඉහළ ගියේය. රුපියල් 200 කට කිට්ටු කර තිබූ මුං ඇට කිලෝව මීට සතියකට පෙර සිල්ලර වෙළෙඳපොලේ විකුණන ලද්දේ රුපියල් 650 ත් 800 ත් අතර මිලකටය. (මේ අතර කන්න නැති වුණොත් මුං ඇට කන ලෙස චමල් රාජපක්‍ෂ විහිළුවක් ද කර තිබිණ.) ටින් මාළු රුපියල් 330, 360, 420 වැනි මිලට අලෙවි විය. මයිසූර් පරිප්පු රුපියල් 240 ත් රුපියල් 260 ත් අතර විය. රුපියල් 90 ට තිබූ බොම්බයි ලූනු කිලෝව රුපියල් 200, 230, 250 වැනි මිලට විකුණනු ලැබේ. කරවල, පොල්, වියළි මිරිස්, උම්බලකඩ යනාදියට පාලන මිලක් තිබූ බව ලංකා ඉතිහාසයේ මුල් වතාවට අප දැනගන්නේ ඒවායේ පාලන මිල ඉවත් කළැයි කියන ගැසට් නිවේදනයත් සමගය. ඒ අනුව මේ රටේ ආණ්ඩු බඩු මිල පාලනය කර ඇත්තේ රාජ්‍ය රහස් පනත යටතේ ඉතාම රහසිගතව කාටවත් නොදැනෙන්නටය. මිල පාලනය කර තිබූ භාණ්ඩවලින් සෑහෙන කොටසක් යහපාලන ආණ්ඩු කාලයේ කෙරුණු මිල පාලනයන්ය.
මේ රටේ බඩු මිල සහ ජනතාවගේ ආදායම අතර පරතරය බෙහෙවින් වැඩි වෙමින් පවතී. එම තත්ත්වයේ තාර්කික සහ විද්‍යානුකූල විග‍්‍රහය වන්නේ මේ රටේ ජනතාවගේ ජීවිතය සහ මරණය අතර පරතරය ඉතා වේගයෙන් අඩුවී ගෙන යන බවය.