සෙංකඩගල දළදා මාලිගාව හා සබැඳි දෛනික ශබ්ද පූජා විධි

737

ශ්‍රී ලංකාවේ වැඩවසන සර්වඥ ධාතූන් වහන්සේලා අතර ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම දන්තධාතූන් වහන්සේ ශ්‍රී ලාංකේය සංස්කෘතික සංකේතයකි. හේමමාලා සහ දන්ත යුවල විසින් ශ‍්‍රී ලංකාවට වැඩම වූ දළදා වහන්සේ අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ ආදී වූ රාජධානියන්ගෙන් අවසාන වශයෙන් වැඩවසන්නේ සෙංකඩගලපුර දළදා මන්දිරයෙහි ය. කාලානුරූපීව විවිධ රජවරුන් විසින් දළදා වහන්සේ උදෙසා නොයෙකුත් පුද පූජා පවත්වා ඇත. විවිධ වූ වත් පිළිවෙත් ආශ‍්‍රිතව පංචාංගික තූර්යවාදන (ආතත, විතත, විතතාතත, ඝණ, සුසිර) උපයෝගි කරගනිමින් පවත්වන ශබ්ද පූජා විශේෂිතය.

දළදා වහන්සේ උදෙසා පවත්වනු ලබන ශබ්ද පූජා

I. දෛනිකව පවත්වනු ලබන ශබ්ද පූජා
II. විශේෂ දිනයන් හි පැවැත්වෙන ශබ්ද පූජා
III. වාර්ෂිකව පවත්වනු ලබන ශබ්ද පූජා

ලෙස තුන් වැදෑරුම් වෙයි. දළදා වහන්සේ උදෙසා ශබ්ද පූජා පැවැත්වීම සඳහා ප‍්‍රවේණිගතව පැවතෙන පාරම්පරික ශිල්පීන් පිරිසක් වෙයි. මොවුන් හට නින්දගම් ආදි ය දළදා මාළිගාවෙන්ම පවරා දී ඇති අතර මොවුන් හේවිසි වාදකයන් සහ පණික්කයන් යන නාමයෙන් හඳුන්වයි.

සෙංකඩගල දළදා මාලිගාව හා සබැඳි දෛනික ශබ්ද පූජා විධි

හේවිසි ශබ්ද පූජාවන් වනාහී ශ්‍රී ලාංකේය බෞද්ධාගමික සිද්ධස්ථාන ආශ‍්‍රිතව පවත්වනු ලබන වාදනයන් ය. නමුත් සෙංකඩගල දළදා

මාලිගාව මූලිකව පවත්වනු ලබන වත් පිළිවෙත් ආශ‍්‍රිතව විකාශිත අනන්‍යය වාදනාංග පිළිබඳව මෙම ලිපියෙන් විස්තර කිරීමට අපේක්ෂිතය.

ශ‍්‍රී ලාංකික බෞද්ධාගමික ප‍්‍රාථමික මූලාශ‍්‍රයන්ට සහ ද්වීතීයික මූලාශ‍්‍රයයන්ට අනුව විජයාවතරණයට පවා පෙරාතුව විවිධ වූ තූර්ය වාදන ශ‍්‍රී ලංකාවේ පැවති බවට සාක්ෂි සපයයි. මේ අතරින් මිහින්තලේ කණ්ඨක චෛත්‍යය, උතුරු වාහල්කඩ කැටයම්, අනුරාධපුර ලෝවාමහාපාය අසල වූ ගල් කණු හිස්වල කැටයම්, පොලොන්නරුව අංක 1 දරණ ශිව දේවාලයෙන් සොයාගත් නටරාජ ප‍්‍රතිමාවේ පාදම මතවන රූකම්, යාපහුව දළදා මාලිගාවේ

පියගැටපෙළෙහි කැටයම්, කුරුණෑගල යුගයට අයත් තොටගමු විහාරයේ දෙමහල් ප‍්‍රාසාදයේ කැටයම්, ඇම්බැක්ක, ගඩොලාදෙණිය සහ නියම්ගම්පාය විහාරස්ථානයේ ලී කැටයම් වැනි ප‍්‍රාථමික මූලාශ‍්‍රයන්ගෙන් ඓතිහාසිකව ශ්‍රී ලාංකික බෞද්ධ ආගමික සිද්ධස්ථාන ආශ‍්‍රිතව උක්ත බෙර වාදන පැවති බව ප‍්‍රතීයාමාන කරයි. බෙරවාදන ශිල්පීන් මහා වංශය, සමන්ත ප‍්‍රාසාදිකාව, දීපවංසය, ථූපවංශය, බෝධිවංශය වැනි ද්වීතියික මූලාශ‍්‍රයන්හි

”තාලාවචර, ගාන්ධර්ව’’ යන නාමයන්ගෙන් ද හඳුන්වා ඇත. එමෙන්ම ශ්‍රී ලාංකේය ජන සමාජයෙහි විවිධ වූ පරමාර්ථ මූලික කරගනිමින් රාජ්‍ය අනුග‍්‍රහය ද ඇතිව පැවැත් වූ බෙරවාදන පිළිබඳ ඉතිහාසයක් ශ්‍රී ලාංකේය භේරි වාදන කලාව සතුය.

දළදා වහන්සේ සම්බන්ධ තූර්ය වාදන පිළිබඳව ඓතිහාසික සාධක විමසීමේදී පසක් වනුයේ දළදා වහන්සේ වෙනුවෙන් ශබ්ද පූජා පැවැත්වීම බුද්ධ පරිනිර්වානයෙන් පසුව ඛේම තෙරුණ් වහන්සේ විසින් සෘධි බලය යොදා සූක්ෂමව අතක් මවා ගෙන ශ‍්‍රී දන්ත ධාතුන් වහන්සේ වඩම්මවා ගොස් කලි`ගු පුර කලිඟු රජු හෙවත් බ‍්‍රහ්මදත්ත රජු හට භාර දී ඇති බවත් එහිදී දළදා වහන්සේට විවිධ පුද පූජා පවත්වා ඇති බවතය. එ් අතරින් ආතතය, විතතය, විතතාතතය, ඝන සහ සුසිර යන පංච තූර්ය වාදනයෙන් යුතුව පැවැත් වූ

පඤ්චාංගික නාද පූජාව විශේෂවන බව දළදා පූජාවලියෙහි සදහන් වෙයි. එමෙන්ම දන්ත ධාතුන් වහන්සේ පිළිබඳ වැරදි අවබෝධයකින් වාසය කළ පැළලුප් නුවර පාණ්ඩු වංශ රජු සමීපයට ගුහසීහ රජු විසින් දන්ත ධාතුන් වහන්සේ වැඩමවා ගෙන යෑමේදී මහ බෙර, මිහිඟුබෙර, ලෝහොබෙර, ගැට බෙර, එකැස් බෙර, ඩවුර, තම්මැටිටම, නිසාන ආදී වූ භේරි ශබ්ද කළ බව ද සඳහන් වෙයි.

කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමන් ඉදිරියේ දී දන්ත ධාතුන් වහන්සේ ආකාශයට වැඩ ප‍්‍රාතිහාර්ය පෑ අවස්ථාවේදී දිව්‍ය ගායකයෝ මහත් වූ නාදයෙන් ගී ගායනා කළ බවත්, එමෙන්ම භේරි වාදකයන්ද උච්ච, මධුර, තියුණු නාදයක් කළ බවත් සඳහන්වෙයි. දළදා සිරිතෙහි සඳහන් වන පරිදි දළදා වහන්සේගේ ප‍්‍රාතිහාර්යය දුටු සැට දහසක් පමණ නිවටයෝ විසින් ඒ පුර මැද ගැඹුරු වළක් තුළට දළදා වහන්සේ දමා පස්වලින් වසා ඇතුළත් ඇතුන් ලවා පාගවා ඇත. එම මොහොතේ දී සුවඳ විහිදෙන විශාල පියුමක් පොළොව පළාගෙන මතුවී ඇත. එම පියුම් කෙමිය මත වැඩහිඳි දළදා වහන්සේ දැක ගත් සත්ත්වයෝ (මිනිසුන්) පසඟ තුරු නාදයක් පැවැත්වූ බව දැක්වෙයි.

කිත්සිරිමෙවන් රජතුමා ලෝවැසියන්ට දැක බලා ගැනීම පිණිස දළදා පෙරහැර වීදි සංචාරය කරන ලද අවස්ථාවේදී පසඟ තුරු ගොස පැවැත්වූ බවත් සඳහන් වෙයි. ශ්‍රී පරාක‍්‍රමබාහු රජතුමා විසින් දළදා වහන්සේ වෙනුවෙන් කළ ශබ්ද පූජාවන් සඳහා සත්පකූච, වඞ්ඩාර, දළහට, මද්දල, මහුට කූඩම්, පනා බෙර, මිහිඟු බෙර, ඩම්රූ, ඩැක්කි, උඩැක්කි, තලප්පර, විරගුම්, වීර මොරසු, කන්සු තාලම්, සින්නම්, තම්මැට, නිසාන, තිඹිලිව්, රොදු බෙර, බොම්බිලි, මා බෙර, ගැට පහමු, කුඩා බෙර, එකැස්බෙර, රන් රිදි දහර, කාහල, කාලම්, සිරිවිළි, තන්තිරි (පට), විජයෝධ්වනි, ගවරගම, වංගි, වස්දඬු, වස්කූලල්, තන්තිරි දණ්ඩි වැනි තූර්ය භාණ්ඩ යොදා ගෙන ශබ්ද පූජාව කළ යුතු ආකාරය ”මේ වඩා ගෙනෙනා කළ අහස්වියන් පරතාප මුඛවාඩම් සත්පඤ්ව, වඞ්ඩාරූ, දළහට, කාහල, ඈ ධූරය සහ උත්සව දිනයෙකැ සේසත් හා මහා මූරය ඇති වැගෙනෙනුව ඉසා’’ යනුවෙන් දක්වා ඇත.

ශ්‍රී ලංකාව සෑම ප‍්‍රදේශයකටම විකාශිතව ඇති වාදකයන් ලෙස හේවිසි වාදනය දැක්විය හැකිය. ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත භේරීමය සමූහ වාදනයේ මූලික අවස්ථාවක් වන එකී හේවිසි වාදන සඳහා දවුල, තම්මැට්ටම, හොරණෑව ආදී වාද්‍ය භාණ්ඩ යොදා ගනු ලබයි. දළදා මාලිගාව ආශ‍්‍රිතව ද එයටම විශේෂවූ හේවිසි වාදන පවතී. පෙරකී වාද්‍යභාණ්ඩයන්ට අමතරව ගැටබෙරය නොහොත් මඟුල් බෙරය, උඩැක්කිය (රිදී උඩැක්කිය) තබ්බෝරු ආදි අවනද්‍ය භාණ්ඩද හක් ගෙඩිය, හොරණෑ, නාදේශ්වරම් වැනි සුසිර වාද්‍ය භාණ්ඩත් සහ තලම්පට, පන්තේරු සහ තලි වැනි ඝන වාද්‍ය භාණ්ඩත් දළදා මාලිගාව ආශ‍්‍රිතව වාදනාංග ඉදිරිපත් කිරීම සඳහා භාවිතා කරයි. දළදා මාලිගාවේ පැවැත්වෙන ශබ්ද පූජා දෛනිකව පැවැත්වෙන ශබ්ද පූජා, කෙම්මුර දිනයන්ට විශේෂ වූ ශබ්ද පූජා, පෝය දිනයට විශේෂ වූ ශබ්ද පූජා, වාර්ෂිකව පැවැත්වෙන ශබ්ද පුජා ලෙස වර්ග කළ දැක්විය හැකිය. එලෙස දෛනිකව සිදු කරන ශබ්ද පූජා මෙසේය.

I. අලුයම් ධූරය
II. නව පෑ තේවාව
III. හැන්දෑ ධූරය
IV. දෙවැනි ගිලන්පස පූජාව
V. නානුමුර මංගල්‍යය

අලුයම් ධූරය සහ අලුයම් තේවාව

අලුයම් කාලයේ දී සිදු කරනු ලබන ශබ්ද පූජා ලෙස මෙය දැක්විය හැකිය. තේවා කාරක භික්ෂූන් සහ මාලිගාවේ රාජකාරි භාර නිලධාරීන්ට රාජකාරි ආරම්භ වන බව සන්නිවේදනය කිරීම සඳහා මෙකී වාදනය මාධ්‍යයක් කරගනී. පල්ලේමාලේ සහ උඩමාලේ රන් රිදී දෙන් විවෘත කිරීමෙන් අනතුරුව ගඳකිළියේ වත්පිළිවෙත් පවත්වා අවසන් වන තුරු ”ආලන්ති පදය’’ නම් වූ හේවිසි වාදනයන්, ඝණ්ඨා නාද, සහ ම`ගුල්බෙර වාදන පැවැත්වීමෙන් අලුයම් සේවා කටයුතු නිම වෙයි.

නව පද තේවාව

මෙය දහවල් ආහාර පූජාව/ දවල් බුද්ධ පූජාව යන නමින් ද හැඳින්වෙයි. මෙම තේවාව උදෑසන නවයට පමණ දළදා මන්දිරයේ දොරවල් විවෘත කිරීමත් සමගම ඇරඹෙයි. මෙහිදී දොරවල් විවෘත කිරීමට විශේෂ හේවිසි වාදන කොටසක් වාදනය කරනු ලබන අතර භික්ෂූන් වහන්සේලා ඇතුළු සෙසු නිලධාරීන් වැඩසිටින මාළිගයට පිවිසීමෙන් අනතුරුව ඝන්ඨානාදය සමග දහවල් හේවිසි වාදනය ආරම්භ වෙයි. නිල රාජකාරිය සහිත තේවා කරන භික්ෂූන් වහන්සේ කණ්ඩායමක් උඩුමාලේ ග`දකිලියටද අනෙක් කණ්ඩායම පල්ලේ මාලයේ පිළිමගෙයට ද පිවිසෙයි. උන් වහන්සේලා මල් ආසන පිරිසිදු කරයි. මෙහිදී හේවිසි වාදන ශිල්පීන් විසින් මල් බන්දේසි දෙකක් පූජා කරයි. මෙම ”මල් මුරය’’ නමින් හැඳින්වෙයි. ඉන් අනතුරුව දහවල් ආහාර පූජාව පෙරවරු 10 ට පමණ කත්තියන රාළ ගෙපරාළ සහ හක්ගෙඩිරාල යන අය රජතුමා වෙනුවෙන් බුද්ධ පූජා ඉහළ මාලයට රැගෙන යන තුරු හේවිසි මණ්ඩපයේ සිටින හේවිසි වාදකයන් ”පූජා පදය’’ නම් වූ විශේෂ හේවිසි පදය වාදනය කරයි.

හැන්දෑ ධූරය

පස්වරු 6 ට පමණ ආරම්භ වන මෙම තේවා වාදනය අතර තුර තේවා කාරක භික්ෂූන් ගිලන්පස සූදානම් කරයි. ගෙපරාල විසින් මුළුතැන්ගේ සිට උඩුමාලේ ගඳකිළියට බොලපැන් පයිංඩ කිරීමේදී නැවත හේවිසි වාදනය කරයි. මෙහිදී හොරණෑ වාදන ශිල්පියා දළදා අෂ්ඨක හා මංගල නම් වාදනය කරයි. සවස 7 ට පමණ කෙරෙන ගිලන්පස පූජාවෙන් අනතුරුව හැන්දෑ ධූරය නිමවෙයි.

දෙවැනි ගිලන්පස පූජාව

රාත‍්‍රී අටට පමණ ගිලන්පස පූජාව පැවැත්වීමට පෙර හැන්දෑ ධූරයේ පැවැත්වෙන පරිදි හේවිසි වාදනය සිදුවෙයි. සියලු පූජා වස්තූන් පිදීම ආරම්භ කිරීමේදී සහ අවසාන් කිරීමේ දී ඝන්ඨාරය තුන් වරක් නාද කිරීමෙන් එක් කාර්යයක් පිළිබඳව අනෙකාට සන්නිවේදනය කරයි. දළදා වහන්සේට පූජා කරන ලද පූජා භාණ්ඩ යළිත් ගන්ධකුටියට තුළට පයින්ඩ කිරීම අවසන් වන තුරුම හේවා ”දුම් පද’’ වාදනය කරයි. ඉන් අනතුරුව දළදා වට ආශිර්වාද පතා ආලාර්ති පද කොටස් තෙවරක් වාදන කිරීමෙන් දෛනිකව පවත්වනු ලබන්නා තේවාවන් අවසන්වෙයි.

නානුමුර මංගල්‍යය

දළදා මාලිගාවේ දළදා වහන්සේ වෙනුවෙන් සෑම බදාදා දිනකම නානුමුර මංගල්‍යය පවත්වයි. එහිදී වාදකයින් මාලිගාවේ දොරවල් විවෘත කිරීම සඳහා මඟුල්බෙර සහ හේවිසි තුන් වට්ටම් වාදනය කරයි. නානුමුර මංගල්‍ය ස`දහා සූදානම් කරන ලද නානු ගෙපරාල සහ හක්ගෙඩි රාල උඩුවියන් මධ්‍යයේ ගෙන එයි. ඔවුන් හේවිසි මණ්ඩයට පිවිසෙනවාත් සමගම හේවිසි වාදන ශිල්පීන් ගමන් හේවිසි වාදනය කරයි. නානු හේමකඳ උඩු මහල් ගදකිලියට ගෙන යන අතරතුර දී වාදක ශිල්පීන් දළදා වහන්සේට ගෞරවය පිණිස මාලිගය වටේට ප‍්‍රදක්ෂිණා කරමින් හේවිසි වාදනය කරන අතර මෙය ”වට හේවිසිය’’ නමින් හැඳින්වේ. මෙහිදී දොරටු හතර ඉදිරියට පැමිණ එහි නතර වී පූජා හේවිසිය, වලිනඩ ආදී ශාස්ත‍්‍රීය පද කොටස් වාදනය කිරීම සිදුවෙයි.

බෙර පෝය හේවිසිය

බෞද්ධාගමිකයන්ට සුවිශේෂී වූ දිනයක් වන පුර පසළොස්වක පොහොය හා සමගාමීව පැවැත්වෙන විශේෂ ශබ්ද පූජාව

”පෝය හේවිසිය / පොහොය හේවිසිය’’ ලෙස සඳහන් කළ හැකිය. හේවිසි වාදක ප‍්‍රධානියා වන මොහන්දිරම් පනික්කයා / මුහන්දිරමි පනික්කයා විසින් මාලිගාවේ නායක ස්වාමීන් වහන්සේගේ කුටියට පිවිසි පොහොය දිනය පිළිබඳව උන්වහන්සේට සිහිපත් කරයි. ඉන් අනතුරුව පොහොය හේවිසිය පැවැත්වීමට උන්වහන්සේගෙන් අවසර පතයි. එමෙන්ම ”තුන් තිස් පැයේ පෝය හේවිසිය’’ ලෙස කලාතුරකින් පවත්වනු ලබන පෝය හේවිසි වාදන ක‍්‍රමයක්ද පවතී. පෝය හේවිසිය සඳහා මඩුවක් සකස් කොට අටකොන් මල් පැල අටක් තනනු ලබන්නේ අටකොන් අධිගෘහිත දෙවියන් උදෙසාය. ඉන් අනතුරුව එහි පුන්කලස් තබා පහන් දැල්වීම ද චාරිත‍්‍රයකි. පොහොය හේවිසි මැදුරු ඉදිරියේ පැදුරක් එළා එ් මත ”ආර්ය මංගල වස්තු’’ තැබීම හෝ ඇදීම සිදු කරයි. සධාතුක කරඬුව වැඩමවා පන්සිල් සමාදන් වීමෙන් අනතුරුව හේවිසි වාදනය ආරම්භ වෙයි. විශේෂයෙන් අශ්ඨක සැහැලි ශ්ලෝක ස්ත්‍රෝත‍්‍ර චූර්ණිකා ගායනා කිරීම මෙහිදී විශේෂය. මඟුල්බෙර, ආනත බෙර, ධූර, වලිනඩ, තිත්මාත‍්‍රා අනුව අලංකාරපද වාදන වැනි වාදනාංග මෙහි දී වාදනය කරනු ලබයි. දෙවියන්ට පින් දී අවසානයේ පූජා පදය වාදනයෙන් බෙර පොහොය හේවිසි වාදන හමාර වෙයි.

මීට අමතරව අලුත් සහල් මංගල්‍යය, අවුරුදු මංගල්‍යය, වෙසක් මංගල්‍යය, පෙරහැර මංගල්‍යය, කාර්තික මංගල්‍යය වැනි මංගල්‍යය අවස්ථාවන්හිදී එ්වාට ආවේණික වූ පූජාවන් හා වාදන විධි ඉදිරිපත් කරනු ලබයි.

දැතෙහි වෙර වීරිය මෙන්ම ගතේ සවිය වැගිරෙන තුරු ආත්මීය තෘප්තියකින් යුතුව බුදුන් දෙවියන් ඉදිරියේ මහත් වූ භක්තියෙන් යුතුව මෙකී ප‍්‍රවේණිගතව බෙර වාදන කරන පරම්පරා කිහිපයකි. දළදා

මාලිගාව හා සම්බන්ධ රාජ්‍ය අනුග‍්‍රහය යටතේ පාරම්පරිකව පැවතගෙන එන බෙර වාදන පරම්පරා හතරක් පිළිබඳ කරුණු දැක්විය හැකිය. ඔවුන් රාජාංගනය පනික්කියා, මොහන්දිරම්පනික්කියා, නේරංජන පනික්කියා, දංවලේ පනික්කියා නමින් සිව් දෙනෙක් මෙම තේවා රාජකාරිය සඳහා රජතුමා විසින් පත් කර ඇත. මාලගම්මන, මොලගොඩ, උඩුවෙල සහ ඉහළ වෙල ආදී පරම්පරාවන්ට අයත් පනික්කයෝ වෙති. මොවුන්ට හිරියාල පත්තුව, පහල දොළොස් පත්තුව, ඉහළ දොළොස් පත්තුව වැනි පළාත්වලින් නින්ද ගම් වශයෙන් පවරා දී තිබේ. අධ්‍යතනයේ දී එම ඉඩම්වලින් ලැබෙන ආදායමෙන් කොටසක් ගම්වර වශයෙන් දළදා වහන්සේට හේවිසි රාජකාරිය කරනු ලබන පනික්කියන අවුරුදු පාසා ලබාදීම චාරිත‍්‍රයකි.

ඞී. එල්. අයි. එස්. රන්චාමර
බාහිර කථිකාචාර්ය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment