‘සෙයිලාන්’ යළිත් ඔබ මට හමුවිය… මහා කවි  පබ්ලෝ නෙරුඩා

150

චිලි ජාතික මහා කවි පබ්ලෝ නෙරුඩා (Pablo Neruda (1904 – 1973) මහා කවියාගේ මතක සටහන් අතර Navegaciones Y Regresos (නැව් ගමන්) ගද්‍ය සංග‍්‍රහයේද ශ‍්‍රී ලංකාවේදී ලත් රසවත් අත්දැකීම් එළි දක්වා තිබේ.

1952 සිට 1957 කාල සීමාවේ සිදුවීම් ගැන නෙරුඩා මෙසේ පවසයි.

මේ කාල සීමාව තුළ මේ දේවල් සිදුවුණාය කියා මට මතකයක් නැහැ. එකල මා සිටියේ චිලී රටේ. එහිදී කුතුහලය දනවන දේවල්වලත් වැදගත් සිදුවීම්වත් මගේ ලේඛන කටයුතුවල වෙනසක්වත් සිදුවූයේ නැහැ. කොයි හැටි වුණත් සුවිශේෂී සිදුවීම් කිහිපයක් ගැන මට සිහිපත් කරගත හැකියි.

චිලී දේශපාලනයේ වෙනස්කම් වුණා. මා මිත‍්‍ර සල්වදොරේ අයියන්දේ (Salavador Aiiende) සමාජවාදී පක්ෂයෙන් පැරදුනා. එහෙත් මා ඔහුගේ දේශපාලනය නොනවත්ව කරගෙ ගියා. චිලී රටේ ජනතාව මා ඉතා උණුසමින් පිළිගත්තා. එය කාර්ය බහුල සමයක්. ඒත් මම රට වටේ හා ලෝකය වටේ කරක් ගැසුවා.

‘සෙයිලාන්’ යළිත් ඔබ මට හමුවිය... මහා කවි  පබ්ලෝ නෙරුඩා

ඒ වනවිටත් නෙරුඩා මැටිල්ඩේ (Matilde Urrutia) නම් අලුත් පෙම්වතියක හඳුනා සිටියේය. 1956 දී ඔහු දෙවන බිරිය ඩේලියා (Delia) ගෙන් නීත්‍යනුකූලව වෙන්වී මැටිල්ඩේ හා එක්විය. ඩේලියා ජීවිතය ගෙවමින් සිටියේ ගම්මානයක ගොඩනඟා තිබූ lsla Negre (කළු දිවයින) නමැති නිවසේය. එබැවින් නෙරුඩා තමාටත් මැටිල්ඩේටත් ජීවත්වීම පිණිස සන්නියාගෝ නගරයේ La Chascona (චස්කොනා) නමින් මන්දිරයක් ගොඩනැංවීය. එම සිද්ධිය පිළිබඳව නෙරුඩා සිය මතක සටහනේ මෙසේ සඳහන් කර තිබේ.

‘සෙයිලාන්’ යළිත් ඔබ මට හමුවිය... මහා කවි  පබ්ලෝ නෙරුඩා

මා ස්ථිරවම ඩේලියාගෙන් වෙන්වී මැටිල්ඩේ සමග ජීවත් වීමට අලුත් ගෙයක් ගොඩනැඟුවා. වයස අවුරුදු පනහක් පිරීම නිමිත්තෙන් සන්තියාගෝ නගරයේ සංස්කෘතික සම්මේලනයක් සංවිධානය කළා. ලෝක ප‍්‍රසිද්ධ ලේඛකයින්ටත් ආරාධනය කළා. එදා මගේ පුස්තකාලය හා හොඳ ග‍්‍රන්ථ රාශියක් චිලි විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කළා. සෝවියට් දේශයට සංචාරය කළා. සාමය පිළිබඳ මට ‘ලෙනින්’ සම්මානය ලැබුණා. තවමත් එම සම්මානය හඳුන්වන්නේ ස්ටාලින් (starling) සම්මානය කියා.

මේ අතරෙයි, මට ‘සෙයිලාන්’ දිවයිනේ කොළඹ නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ සාම සම්මේලනයට ආරාධනාවක් ලැබුණේ.

අපූර්ව කරුණක්! මට නැවත කොළඹට යෑමට සිදුවුණා. අපි සෝවියට් දේශය හරහා ඉන්දියාව දෙසට TU 104 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ හදවතට ආවා. අපි මීටර් දහදාහක් ඉහළට ඉගිලුණා. අති දැවැන්ත කුරුල්ලා හිමාලය හරහා යෑම පිණිස මීටර් පහළොස් දහසක් තරම් ඉහළට නැග්ගා. ඒ තරම් ඉහළට යන බවට සලකුණු දක්වමින් දර්ශන නිශ්චලව පෙනුනා. ආරම්භක මායිම් නිල් හා සුදු පැහැයෙන් දිස්වුණා.

ඒ භයානක හුදෙකලාවේ මෙන්න හිමාල කඳු පෙළ. ඉන්පසුව හිම අතරින් හදිසි අනතුරක් වගේ හිරු එහි පූර්ණාලෝකය යොදා හිම කපමින් අමුතු සෞන්දර්යයක් ගෙන ආවා. ප‍්‍රබල ශක්තිමත් හිම පතිත වී කඳු නිහඬ වෙලා.

මා කීප වතාවක්ම අමෙරිකාවේ ප‍්‍රබෝධමත් අන්දීස් කඳුවැටිය හරහා ගොස් තිබෙනවා. ඒත් මෙතැන ඒ වගේ අපිළිවෙළක් මතුවී පෙනෙන්නේ නැහැ. ඒ තරහයන කාන්තාරය වගේ නෙවෙයි. මේ ආසියාතික කඳු වඩාත් එළියයි වගේ. වඩාත් සම්භාවනීයයි, වඩාත් ශ්‍රේෂ්ඨයි, වඩාත් පිළිවෙළයි. හිම මුදුන් කැටයම් මෝස්තර නිර්මාණය කරනවා. හුදෙකලා බව වඩාත් පුළුල්ව දිස්වුණා. ඒවායේ සෙවණැලි භයානක ගල් බිත්ති වගෙයි. එක දිගට විහිදී යන ආශ්චර්යවත් නිල්වන් මාවතක් වගේ දැවැන්ත පන්සල්වල කොත් කැරලිවලින් දීප්තිමත්ව දිලිහුණා.

අපි ‘සෙයිලන්’ දෙසට ඉගිලෙමින් සිටින්නෙමු. ඉන්දියාවේ උණුසුම් ගොඩබිම් මතට ටිකෙන් ටික පහත් වෙමු. මේ ගුවන් නැව අප නවදිල්ලියෙන් දමා යන්නයි හදන්නේ. භයානක ලෙස තටු හෙල්ලෙමින් ක‍්‍රීක්… ක‍්‍රීක්… හඬ දෙමින් ඉහළටත් පහළටත් සෙලවෙන අතරේ මගේ සිත මල්බර දූපතේ සැරි සැරුවා.

‘‘වයස අවුරුදු විසි දෙකේදි මා සෙයිලන් දිවයිනේ කල් ගෙවා දැමුවා. තනිකඩයකුව කවි ලිව්වා. වඩාත් දුක්බර කවි ලියැවුණේ එහිදීයි. ඒ මනස්කාන්ත පාරාදීසයේ කැරකෙමින් රවුම් ගසමින් ජීවත්වුණා. මේ ගැන නෙරුඩා තවදුටත් මෙසේ පවසයි.

‘මා සෙයිලන් දිවයිනට ගියේ මැටිල්ඩේට මගෙ නවාතැන පෙන්වා සතුටුවීමටයි. ඒත් ආපසු ආවේ කනස්සල්ලෙනුයි.

‘මා දිවිගෙවූ නවාතැන සොයමින් ඇයත් සමග මාවත් දිගේ වැල්ලවත්ත නගරය සිසාරා පියමං කළා. අන්තිමේදි එය හමුවුණා. අවට රුක් ගොමු මාවත්වල ප‍්‍රතිරූපය වෙනස්වී තිබුණා. මගේ කවි ලියැවුණු අතීත තොටුපළ නටබුන් වෙලා. කලාපයේ තෙතමනය බිත්තිවලට හානි කරලා.

‘නමුත්… ඒ සමුගන්නා අන්තිම මිනිත්තුවේ මා හිටගෙන හිටියා. මගේ මිතුරන් හමුවුණෙත් නැහැ. කොයි හැටි වුණත් දූපත මට යළිි අමතන්ට වුණා. එහි කඩින් කඩ ඇසුණු හඬත් සමඟ දූපතේ කාන්තියෙන් වඩාත් සොඳුරු වුණා. සයුර එදා වගේම ඒ සින්දුවම ගයමින් සිටියා.

පොල් රුප්පා සිහින වෙරළ තීරුව අසල (ගල් ඇල්ලු) මාවතේ පිය මනින්නටයි මං ආවේ. වන පෙතේ රවුම් ගසමින් අඩි පාර වසාගෙන ලොකු අඩි තබමින් රාජ ලීලාවෙන් පා නඟන අලි ඇතුන් බලන්නයි මා ආවේ. වන අරණේ සිහින් හඬ, කුරුලු නාද අහන්නයි, කුරුලු රෑනට එක එකා එකතුවන හැටි බලන්නයි මං ආවේ. ජන ජීවිතයේ දූෂමාන ආරංචි වැඩිවී ඇත්දැයි බලන්නයි මාවත් දෙපස පිපුණු දෑ සමන්වල උතුරා යන සුවඳ විඳගන්නයි මං ආවේ.

‘යළිත් මං ආවා.. සීගිරි පර්වතයේ මුදුන තෙක් පඩිපෙළ නැඟ පහළ බලන්ට. පර්වතයේ සෙවණැල්ල මත දිය උයන් හරහා ඇවිද යන සංචාරකයින් ඉහළ සිට පෙනෙන්නේ කුඩා කෘමීන් වගෙයි.

එදා වගේම මා අතිශය විශාල බුදුපිළිමවලට වැඳ නමස්කාර කළා. යළි කිසිදාක මේ දිවයිනට එන්න නොලැබෙන බව ස්ථිර කරමින් දණ නමස්කාර කළා.

සකස්කළේ
ඉන්ද්‍රානි රත්නසේකර

‘සෙයිලාන්’ යළිත් ඔබ මට හමුවිය... මහා කවි  පබ්ලෝ නෙරුඩා
advertistmentadvertistment
advertistmentadvertistment