සොඳුරු මොහොතේ මා මිදුණු යාමේ…. බයිලා රජුගේ නික්ම යෑම

188

තවත් රසකාමී යුගයක් නිමා විය. වසර හැටකට ආසන්න කාලයක් අප රසවත් කළ ඒ හඬ පෞරුෂය නැවත අපට අසන්නට දකින්නට ලැබෙන්නේ ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන් තුළ ගබඩාගත මතකයන් ලෙස පමණි. හේ නාපේ් රංගේ ගොඩගේ ඩෙස්මන්ඞ් ඇනක්ලීමස් රජීව් ද සිල්වා ය. නැතහොත් අප හොඳින්ම දන්නා ඩෙස්මන්ඞ් ද සිල්වාය. ඩෙස්මන්ඞ් ද සිල්වා පසුගිය දිනෙක ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී ඒ රසවත් යුගය නිමා කළේය. 78 වසරක ආයු කාලයෙන් ඩෙස්මන්ඞ් වසර පනහකට ආසන්න කාලයක් ගීතය සමග ජීවත් විය.

70 දශකයේදී ගීත කලාවේ නවමු වෙනසක් කළ පරපුරෙහි ඉදිරියෙන්ම සිටි අය අතර ඩෙස්මන්ඞ් ද සිල්වා ද විය. එකල බොහෝ බයිලා ගායකයන්ට ප‍්‍රබුද්ධ යැයි කී විචාරකයින්ගෙත් එල්ල වූ ‘‘පීචං’’ හා ‘‘චොකා බයිලා’’ ගණයේ විචාරයන්ට නොසැලී මුහුණ දුන් ගායකයන් අතර ඩෙස්මන්ඞ් ද විය. හෙතෙම ඒ සියලූ නිර්දය විචාරයන් සුනු විසුනු කළේ මේ රටේ සෑම තරාතිරමකම රසිකයන් ආකර්ෂණය කර ගනිමිනි. ඔහුගේ රසිකයන් ධනවත් හෝ පීඩිත පංතිය ලෙස බෙදී සිටියේ නැත. එකල කොළඹ හතේ ‘‘ග‍්‍රෑන්ඞ් පාටියක’ සේම ගමේ ගෙදරක ‘‘සාජ්ජයක’’ වුව ඩෙස්මන්ඞ්ගේ ගීතයක් ඇසුනේ නැත්නම් ඒ කලාතුරකිනි. කොළඹ පැළැන්තියට ඩෙස්මන්ඞ් “Local Elves Presly” වනවිට අනෙක් සමාජයට “King of baila” බයිලා රජු වූයේ එබැවිනි.

කොළඹ කේන්ද්‍ර කරගත් ජනපි‍්‍රයත්වයක් හිමි කරගත්ත ද ඩෙස්මන්ඞ් යනු ‘‘ගමේ කොල්ලෙකි’’ ඔහු ගේ උපන්ගම මාතරය. කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන්

ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඩෙස්මන්ඞ් ‘දඩබ්බරකම්’ නිසාම මවුපියන් මැදිහත් වී නැවත ගමට ගෙන යන්නේය. අනතුරුව ගාල්ල ඇලෝසියස් විදුහලේ නේවාසිකව අධ්‍යාපනය ලබන ඩෙස්මන්ඞ් පසුකාලෙක අධ්‍යාපනය අවසන් කරන්නේ මාතර ශාන්ත තෝමස් විදුහලෙනි. මේ කාලය පුරාම ඩෙස්මන්ඞ් දිවි ගෙවූයේ සිය පවුලේ උදවිය සහ ඥාතීන් ඇසුරෙනි. පවුලේ උදවියගේ් විනෝදාස්වාදය සඳහා හදාගෙන තිබූ කුඩා සංගීත කණ්ඩායමේ ගීත ගායනා කිරීම ඔහුගේ ‘‘රසය සැපයීමේ’’ මූලික පියවර විය.

1963 වර්ෂයේදී ‘‘ෆයර් ෆ්ලයිස්’’ (Fire Flies)  සංගීත කණ්ඩායමේ ගායකයකු ලෙස සිය සංගීත දිවිය අරඹන ඩෙස්මන්ඞ් පසුකලෙක තවත් සංගීත කණ්ඩායම් කිහිපයක් සමග සිය ගායන දිවියෙහි සැරිසරන්නේය. ඒ අතරවාරයේ පෞද්ගලික ආයතනයක සේවයට ද යොමු වන මුත් ඩෙස්මන්ඞ් එයින් ඉවත් වන්නේ සංගීතයට ඇති ඇල්ම නිසාමය.

ඉංගී‍්‍රසි ගීත ගායනා කරමින් සිය සංගීත දිවිය ආරම්භ කළ ඩෙස්මන්ඞ්ගේ සිංහල ගීත කෙරෙහි වැඩි රසික පිරිසක් ආකර්ෂණය කර ගැනීමට හේතු වූයේ ඔහුගේ ඉදිරිපත් කිරීමෙහි තිබූ ආකර්ෂණීය බවය.

70 දශකය අග භාගයේදී ‘‘සූරිය’‘ ලේබලය යටතේ ‘‘මතකයි අම්මේ ඔබේ දරු නැලවිල්ල’’ ගීතය ගායනා කරමින් සිංහල ගීත සඳහා ප‍්‍රවේශ වුව ද ඩෙස්මන්ඞ් ද සිල්වාගේ නම රටපුරා ජනපි‍්‍රය වූයේ ‘‘චූඩා මාණිකේ බලාල’’ ගීතයෙනි. එය නිකුත් වූයේ ‘‘නිව් සවුන්ඞ්ස්’’ ලේබලයෙනි. ඩෙස්මන්ඞ් සලකුණ සිංහල ගීත ක්‍ෂේත‍්‍රයේ තහවුරු කරන්නට ඉන් අනතුරුව තවත් ගීත රැුසක් එළිදැක්විණි.

‘‘සුමිහිරි පානේ’’, ‘‘කිරිල්ලී රන් කිරිල්ලි’’, ‘‘කැන්ඩි ළමිස්සි’’, ‘‘යන්න රට වටේ’’, ‘‘පොල්කටු හැන්දෙ මිට වගේ’’, ‘‘බැන්ජො රබානේ’’, ‘‘කොල්ලූපිටියෙ ජන්්ෂන්’’. 1976 වර්ෂයේ ඔහු තමන්ගේම සංගීත කණ්ඩායමක් ද පිහිටුවාගෙන තිබිණි. ඒ ‘‘ඩෙස්මන්ඞ් ඇන් ද ක්ලෑන්’’ (Desmond and the clan) ය. ඩෙස්මන්ඞ් ඉහළ පැළැන්තිය අතර වඩාත් ජනපි‍්‍රය වූයේ ඔහුගේ ‘‘ඉංගී‍්‍රසී’’ ආරයේ ගීත නිසාය. පැරණි ගීත නව ආරකින් ගායනා කිරීම කෙරෙහි ඩෙස්මන්ඞ් ඇල්මක් දැක්වීය. ඔහු ගේ ගායනා දිවියට එඞී ජයමාන්න, වොලී බැස්ටියන් ආදී ගායකයින්ගේ ආභාෂය බලපෑ බව ඩෙස්මන්ඞ්ම වරෙක පවසා තිබිණි. එමෙන්ම එංගල්බර්ට්, එල්විස් ප්‍රෙස්ලි, ඞීන් මාටින් වැනි බටහිර ගායකයින්ගේ ඉදිරිපත් කිරීමේ රටාවන් කෙරෙහි ඩෙස්මන්ඞ් පි‍්‍රය කළ බව කිය වේ.

ඩෙස්මන්ඞ්ගේ පළමු බිරිඳ වූයේ වියානා ද සිල්වාය. එම විවාහයෙන් ඔහුට පුතුන් දෙදෙනකු වූ අතර වැඩිමහල් පුත් ස්ටිව් ද සිල්වා පසුකලෙක ගීත ගායනයට එක්ව සිටියේය. එහෙත් පසුකලෙක පිළිකා රෝගයට ගොදුරුව ස්ටිව් අකාලයේ මෙලොවින් සමුගත්තේය. සිය දෙවන බිරිඳ වූ ලෝමා සමගින් ඔස්ටේ‍්‍රලියාවේ ජීවත් වූ ඩෙස්මන්ඞ්ට මේගන් නමින් දියණියක ද විය.

ඩෙස්මන්ඞ් දරුවන් කෙරෙහි ඉමහත් ආදරයක් දැක්වීය. ඒ අතරිනුත් ඔටිසම් දරුවන් වෙනුවෙන් ඔහු සිදුකළ සමාජ මෙහෙවර අතිමහත්ය. ඩෙස්මන්ඞ් එතරම් මානව හිතවාදියකු බව දන්නේ ඉතා සුළු පිරිසකි. වර්තමානයේ තරුණ පරපුර අතර ඩෙස්මන්ඞ් වඩාත් ජනපි‍්‍රය වූයේ නිල්වන් මුහුදු තීරේ ගීතය නිසාය. එහෙත් ඒ හෙක්ටර් ඩයස් එම ගීතය ගායනා කිරීම නිසාය. හඬ පෞරුෂය තවමත් වියැකී ගොස් නැත.


 ටයිරසී බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment