සොබා දහමත් එරෙහි වුණා… බේත්, පොහොරත් නෑ… මෙන්න අපේ අස්වනු

599

ගොවියොත් අසරණයි වෙළෙන්දොත් අසරණයි එතකොට අපි?

‘‘එළවළු ගන්න ආවට දැන් අතේ තියෙන මුදලට ගන්න දෙයක් නෑ. අත්‍යවශ්‍ය දේවල්වත් ගන්න නැතුව මිනිස්සු දුක් විඳිනවා. හාල් ,පොල්, සීනි, පිටි හැමදේම ගිනි ගණන්. ඒ විතරක් නෙමේ එළවළු පලතුරු වගේම මාළුත් ගණන් ගිහින්. ගෑස් නෑ . සිමෙන්ති නෑ. පෙට‍්‍රල් හිඟයක් එනවලූ . දැන්නම් හිඟා කාලවත් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් අපට උදාවෙලා තියෙන්නේ.”

හතර අතින් ඇසෙන්නේ ජනතාවගේ අඳෝනා ය. මැසිවිලිය. එදිනෙදා ජීවිතය පවා ගැට ගසාගත නොහැකි තරමට අසරණ වූ මිනිසුන් හූල්ලමින් බලා සිටී. කොවිඞ් වසංගතයේ අවදානමද තවමත් පහව ගොස් නැත. ගෑස් මිල ඉහළ යෑම ,ගෑස් හිඟ වීම, ඉන්ධන මිල ඉහළ යෑම , අත්‍යවශ්‍ය භාණ්ඩ බොහෝමයක පාලන මිල ඉවත්වීම,

රැකියා අහිමි වීම ආදී බොහෝ ප‍්‍රශ්නවලින් බැටකන ජනතාවට සොබාදහම ද එරෙහි වී ඇත. සති කිහිපයක් එක දිගට ඇද හැළෙන වර්ෂාව නිසා මේ වනවිටත් බොහෝ දෙනෙකුට දේපළ මෙන්ම ජීවිත අහිමි වී අවසන්ය. මේ සියලූ කාරණා හමුවේ දිනෙන් දින භාණ්ඩ මිල ඉහළ යන්නේ පාරිභෝගිකයින්ට මෙන්ම වෙළෙඳුන්ටත් සිතාගත නොහැකි ලෙසිනි. පසුගිය සතිය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පමණක්නොව, එළවළු, පලතුරු මිලද වෙනදාට වඩා ඉහළ ගොස් තිබුණි.

දැඩි වර්ෂාපතනය සහ පොහොර ගැටලූව සමඟ සරු අස්වැන්නක් ලබාගත නොහැකිව ගොවිතැන් පාඩු ලබන බවට ගොවියන් පවසයි. එලෙසම ගොවි බිම් විනාශ වීමත් සමඟ රටපුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු පලතුරු තොග ලැබෙන ප‍්‍රමාණ ද ශීඝ‍්‍රයෙන් පහත වැටී ඇත. ඒත් සමඟ තොග ගැනුම්කරුවන්, සැපයුම්කරුවන්, ගොවියන්, වෙළෙන්දන් මෙන්ම පාරිභෝගික ජනතාවද අසරණ වී සිටින බව අමුතුවෙන් කිව යුතු නැත.

  • ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන එළවළු තොග අඩු වෙලා.
සොබා දහමත් එරෙහි වුණා… බේත්, පොහොරත් නෑ… මෙන්න අපේ අස්වනු

‘‘වෙනදාට මැනිං මාර්කට් එකට ලැබෙන එළවළු තොග ප‍්‍රමාණවලට වඩා මේ සති දෙක තුනේ ලැබුණ ප‍්‍රමාණ අඩුයි. ලැබුණු එළවළුවලත් කොලිටිය ගැන ප‍්‍රශ්න ඇතිවෙලා තියෙනවා. වැස්සයි පොහොර ප‍්‍රශ්නෙයි දෙකම මේකට බලපානවා. සමහර වෙලාවට තොග ගැනුම්කරුවන් ඇවිල්ලා ආපසු හැරිලා යන අවස්ථාත් තියෙනවා” ලෙස පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයෙහි හිටපු සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා පවසයි.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මේ මාසය තුළ ලැබුණු එළවළු තොග සංඛ්‍යාව 85% කින් කඩා වැටී ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පවසති. ඊට සාපේක්ෂව එළවළු මිල සියයට සියයකින් ඉහළ ගොස් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි. එළවළු තොග මිල ඉහළ යෑමත් සමඟ සිල්ලර මිල ද සියයට සීයයක් ඉහළ යයි.

ඒ අනුව දිනකට එළවළු තොග කිලෝ ලක්ෂ 35 ඉක්මවා ලැබෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පසුගිය සතිය තුළ දිනකට ලැබුණු එළවළු තොග කිලෝ සංඛ්‍යාව ලක්ෂ 6 දක්වා පහළ බැස ඇති බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යූ .බී ඒකනායක මහතා පැවැසීය.

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයටද එළවළු සහ පලතුරු තොග ලැබීමේ අඩුවක් වී ඇති බව එහි වෙළෙඳ සංගමය පවසයි.

‘‘ එළවළු සැපයුම අඩු වෙද්දී මිල ඉහළ යනවා. අපි පුළුවන් හැම වෙලේම පාරිභෝගිකයින්ට සහ තොග ගැනුම්කරුවන්ට සාධාරණයක් කරන්නට උත්සාහ කරත් මේ මොහොතේ ඒක අසීරු කාරණාවක්. පොහොර ගැටලූව නිසාත් අධික වර්ෂාව නිසාත් එළවළු ලැබෙන ප‍්‍රමාණය අඩු වෙලා තියෙනවා. දිගින් දිගට ම මේ වර්ෂාව තිබුණොත් තවදුරටත් එළවළු සැපයුම අඩාල වෙනවා.”ලෙස ආර්ථික මධ්‍යස්ථාන වල තොග වෙළඳුන් පවසයි .

සියලූම ආර්ථික මධ්‍යස්ථානවල මෙන්ම ව්‍යාපාරික ස්ථානවල එළවළු ,පලතුරු මිල ගණන් ඉහළ ගොස් ඇති බවට ඒ පිළිබඳ නිරීක්ෂණය කිරීමේදී අපට ද අවබෝධ විය .

  • ලැබෙන එළවළුවල ගුණාත්මක බව ගැනත් ප‍්‍රශ්න

වෙනදා මෙන් එළවළු රැගෙන ගොස් කල් තබා ගත නොහැකි බවත්,ඇතැම් එළවළු පලතුරු කෘමි උවදුරුවලට ලක්වී ඇති බවත් ඇතැම් ඒවායේ වර්ධනය බාල වී ඇති බවටත් ආර්ථික මධ්‍යස්ථාන වලින් එළවළු පලතුරු තොග වශයෙන් ලබා ගන්නා කිහිපදෙනකුම පැවසීය.

මේ සම්බන්ධයෙන් ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳුන්ගෙන් තොරතුරු විමසූවිට ඔවුන් පැවසුවේ අධික වර්ෂාපතනය නිසා බොහෝ එළවළු නරක් වී ඉවත දමන්නට සිදු වන බවයි. එමෙන්ම රසායනික පොහොර සහ කෘමි නාශක දියර හිඟය නිසා වෙනදාමෙන් සරු අස්වැන්නක් ලබන්නට නොහැකි බව ඇතැම් ගොවියන් පවසයි. කැරට්, ලීක්ස්, ගර්කින්, ගෝවා, අල වැනි එළවළුවල වර්ධනය බාල වී ඇති බවත් බෝංචි වැනි එළවළු කෘමි උවදුරුවලට ලක්වී ඇති බවත් වෙළෙඳුන් පෙන්වා දුන්නේය.

  • කාබනික වගා ක‍්‍රමය සාර්ථක වෙනකම්වත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන්න. ජනතාව ඉල්ලයි.
සොබා දහමත් එරෙහි වුණා… බේත්, පොහොරත් නෑ… මෙන්න අපේ අස්වනු

කාබනික පොහොර භාවිතයෙන් වගා කිරීම සාර්ථක වැඩපිළිවෙළක් වුවත් එයින් ඉක්මන් ප‍්‍රතිඵල ලබාගත නොහැකි නිසා කාලයක් යනතුරු එළවළු පලතුරු හිඟයට හා මිල වැඩි වීමට පිළියමක් ලෙසින් අත්‍යවශ්‍ය භාණ්ඩවලවත් මිල ගණන් අඩු විය යුතු බවට පාරිභෝගිකයන් පවසයි .

‘‘ දැන් සම්බෝලයි බතුයි කන්නත් සෑහෙන වත්කමක් තියෙන්න ඕනේ . එළවළු, පලතුරු මිල වැඩි වෙනවා නම් ඒවා හිඟ වෙනවා නම් මිනිස්සුන්ට කන්න බොන්න අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලවත් අඩු වෙන්න ඕන. පරිප්පු , හාල්, සීනි ,පිටි හැමදේමත් ගිනි ගණන්. අත්‍යවශ්‍යම භාණ්ඩ සමහර කඩවල හොයාගන්නත් නෑ . කාබනික පොහොර යොදාගෙන වගා කළහොත් කන්න දෙකක්වත් යනකම් හොඳ අස්වැන්නක් ලබන්න බෑ. මොකද මේ පොළොව වස විසවලට හුරු වෙලා තියෙන්නේ . ඒ නිසා කාබනික පොහොර වගාව සාර්ථක කර ගන්නකම් මිනිස්සුන්ට කාලා බීලා ඉන්නවත් සහන ලබා දිය යුතුයි” ලෙස චමින්ද කුමාර මහතා පවසයි.

ආදී මුතුන් මිත්තන්ද කාබනික පොහොර යොදා ගනිමින් සාර්ථකව වගා කටයුතු කළ බවත්, අද වනවිටද ඇතැම් පුද්ගලයින් කාබනික වගාවන් සාර්ථකව කරන බවත් කුමාර මහතා වැඩි දුරටත් කියා සිටියේය. කාබනික පොහොර භාවිත කිරීමේ යෝජනාව සාර්ථක වුවද එය කළ යුතු ක‍්‍රමවේද පිළිබඳව ගොවියන් දැනුම්වත්කර නොමැති කමෙන් ගැටලූ ඇති වන බව ඇතැම් පිරිස් පෙන්වාදෙයි. මේ අතර පනහට පනහ ලෙස කාබනික පොහොර හා රසායනික පොහොර භාවිතයට ඉඩ දිය යුතු බවට තවත් පිරිසක් යෝජනා කරයි.

‘‘ සෑම වසරකම අවසන් මාස දෙක තුනේ සාමාන්‍යයෙන් එළවළු මිල ඉහළ යනවා. වැස්සොත් වගාවන් විනාශ වෙනවා. ඒක සාමාන්‍යය සිදුවීමක්. එළවළු මිල වැඩි වෙලා තියන එක ඇත්ත. ඒත් එක එළවළුව ම මිල ගණන් කිහිපයකින් තියනවා. මිනිස්සුන්ට කැමැති විදියට තෝරා ගන්න පුළුවන්. පොහොර ගැටලූවත් තියනවා. හැබැයි මේ ගැටලූ වලට විසඳුම් ලබා දෙන්න ඕනි දේශපාලන මති මතාන්තර අනුව නෙමෙයි.” මැනිං වෙළෙඳ සංකීර්ණයේ සභාපති අපේක්ෂක චමින්ද සිල්වා මහතා පවසයි.

කවුරුන් කුමන මත ඉදිරිපත් කළද වෙනදා මෙන් වගාවන් සරු නොවන බවට නුවරඑළිය සහ වැලිමඩ ප‍්‍රදේශවල බොහෝ ගොවියෝ පවසති. රසායනික පොහොර හා කෘමි නාශක හිඟය සමඟම අස්වැන්න බාල වූ බවත් වර්ෂාව නිසා බොහෝ වගාවන් විනාශ වූ බවත් ඔවුන් පෙන්වා දෙයි.

‘‘ නුවරඑළිය වැලිමඩ එළවළු වෙනදාට බලන්න ලස්සනයි. ඒත් දැන් කොච්චර කාලයක් ගියත් පිරුණු එළවළු ඵලදාවක් නෑ. ගෝවාගෙඩි තිබුණට වඩා භාගයයි. අලවල ප‍්‍රමාණය දැක්කාම හිතා ගන්න පුළුවන් වර්ධනය අඩාල වෙලා කියලා. ඒ මදිවට වැස්සට වගා හේදිලා ගියා. ඒ හින්දා විකුණගන්න බැරිව සමහර ගොවියෝ අස්වැන්න අතෑරලා දැම්මා” වැලිමඩ එළවළු ගොවියකුවන බණ්ඩාර මහතා අදහස් දක්වයි.

‘‘මේ වෙද්දි නුවරඑළියේ ගොවීන්ගෙන් සීයට දහයක් වගේ ප‍්‍රමාණයක් තමයි වගාවල යෙදෙන්නේ. ඉදිරියේදී එම සියයට දහයක පිරිසත් වගාවලින් අයින් වුණොත් නුවරඑළියෙන් එළවළු සැපයීම සම්පූර්ණයෙන්ම නතර වෙනවා . වෙනදාට නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් රටේ ජනතාවගේ පරිභෝජනය එළවළු කිලෝ ලක්ෂ දෙකකට ආසන්න ප‍්‍රමාණයක් සැපයුව ද මේ වනවිට සපයන්නේ කිලෝ පනස්දහසක් වැනි ප‍්‍රමාණයක්.

නත්තල් මාසයේ රටේ ජනතාවට දැඩි එළවළු හිඟයකට මුහුණ පෑමට සිදුවෙනවා” ලෙස මහා පරිමාණ එළවළු ගොවියකු මෙන්ම නුවරඑළිය අප වාර්තාකරුවන නාලක රත්නායක මහතා පවසයි.

  • ගොවිජන සේවා ආයතන, කෘෂිකර්ම නිලධාරීන් නමට විතරයි.
සොබා දහමත් එරෙහි වුණා… බේත්, පොහොරත් නෑ… මෙන්න අපේ අස්වනු

කාබනික පොහොර භාවිතයට ගත් තීරණයෙහි වරදක් නොමැති වුවද කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරීන් හෝ බලධාරීන් මෙතෙක් ගොවියන්ව දැනුම්වත්කර නොමැති බවට එළවළු, පලතුරු ගොවියෝ පවසති.

සාමාන්‍යයෙන් නුවරඑළියේ බොහෝ වගාවන්වලට අවුරුදු ගණනක් තිස්සේ 80%ක පමණ ප‍්‍රමාණයක් යොදාගන්නේ කාබනික පොහොර බවත් රසායනික පොහොර යොදා ගත්තේ සීයට විස්සක වැනි සුළු ප‍්‍රමාණයක් බවත් නාලක රත්නායක මහතා පෙන්වාදෙයි. නමුත් අද වන තුරුත් කිසිදු ගොවිජන සේවා නිලධාරියෙකු පැමිණ වගාවන් පිළිබඳව විමසා බලා හෝ පස පරීක්ෂාකර බලා ගොවියන්ට උපදෙස් දී නැතැයි ද ඒ මහතා කියා සිටී.

රට පුරා ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් හා කෘෂිකර්ම නිලධාරීන්ගෙන් නිසි අයුරින් සේවය සැපයෙනවා නම් කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් මේ තරම් ගැටලූ නිර්මාණය නොවන බව ගොවියෝ පෙන්වා දෙති. එලෙසම වගාව සම්බන්ධයෙන් තීරණ ගන්නාවිට ගොවියන් සමඟ එකතු වී සාකච්ඡාකර තීරණ ගත යුතු බවද ඔවුන් අවධාරණය කරයි.

එළවළු හිඟය සහ මිල වැඩි වීම සම්බන්ධයෙන් ගොවියන් සහ වෙළෙන්දන් එලෙසින් අදහස් දක්වයි. තොග මිල ගණන් ඉහළ යෑමත් සමඟ සිල්ලර මිල ගණන්ද සියයට සියයකින්ම ඉහළ ගොස් ඇත. ඇතැම් වෙළෙඳුන් අත්තනෝමතික ලෙස මිල ගණන් ඉහළ දමන බවට ජනතාව චෝදනා කරයි.

‘‘ අපි සමහර වෙලාවට කුලියට වාහන අරගෙන ගිහින් මේ එළවළු ගේන්නේ. කඩ කුලී ගෙවාගෙන බිස්නස් කරන්නෙ. මේ වෙලේ සහන මිලට මේවා අලෙවි කරන්න අපිට පුළුවන්කමක් නෑ. මාර්කට් එකෙන් ගේන මිලටම එළවළු විකිණුවොත් අපට ලාභයක් නෑ. ජනතාව වගේම අපිත් අසරණයි.” කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ එළවළු පලතුරු අලෙවිසැල් හිමියෙකු වන ප‍්‍රියන්ත මහතා එලෙස පවසයි.

කෙසේ වෙතත් ඉන්ධන මිල තවත් වැඩි වුවහොත් ප‍්‍රවාහනය සඳහා වැය වන මුදලට සාපේක්ෂව සියලූම භාණ්ඩ හා සේවා මිල මීටත් වඩ ඉහළ යන බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එළවළු මිල අධික නම් මිනිසුන් ඒවා පරිභෝජනය අවමකර මස් ,මාළු, බිත්තර අනුභවයට නැඹුරු වීම සාමාන්‍යය සිදුවීම වුවද අධික වර්ෂාපතනය නිසා ධීවර කර්මාන්තයට බාධා පැමිණීමත් සමඟ මාළු මිලද ඉහළ ගොස් ඇත. ඒ නිසා විකල්ප භාවිතයට ද ඇති අවස්ථාව ගිලිහී ගොසිනි.

මේ වනවිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ද ඉහළ ගොස් ඇත. හෝටල් සහ ආපනශාලාවල ආහාර මිල ගණන් ද සැලකිය යුතු ප‍්‍රමාණවලින් ඉහළ ගොස් තිබේ.

මෙලෙස දිනෙන් දින භාණ්ඩ හා සේවා මිල ඉහළ යෑම සියලූමදෙනාට සෘජුව සහ වක‍්‍රව බලපාන කාරණාවකි. සංචරණ සීමා ඉවත්ව ක‍්‍රමයෙන් නැවතත් යථාතත්ත්වයට පත් වන්නට උත්සාහ දරද්දී දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවීම සියලූදෙනාට ම දරාගත නොහැකි ගැටලූවකි.

ගෑස් ,කිරිපිටි ,ඉන්ධන පෝලිම්වල තවමත් අඩුවක් නැත. මේ අතර එදා වේල පිරිමසා ගන්නට කීයක් හෝ උපයාගන්නා බොහෝ දෙනකුට කොවිඞ් නිසා මෙන්ම වර්ෂාව නිසා ද ආදායම් මාර්ග පවා අහිමිවී ගොස් ය.

සොබා දහමත් එරෙහි වුණා… බේත්, පොහොරත් නෑ… මෙන්න අපේ අස්වනු

‘‘ බඩු මිල වැඩි වුණාට ,අපේ ජොබ් නැති වුණාට බැංකු ටික වෙලාවට සල්ලි වැටෙනකම් බලන් ඉන්නවා. බිස්නස් කරන්න ගත්ත ණය පියවගන්න ක‍්‍රමයක් නැතිව අපි බලන් ඉන්නවා. කොවිඞ්වලට කලින් බිස්නස් එකක් කරන්න ගත්ත ලෝන් එක ගෙවා ගන්න විදියක් නෑ.ඒ සල්ලිත් කන්න බොන්නම වියදම් වෙලා ගියා. කීයක් හරි පොතට වැටුණොත් බැංකු ඊළඟ මොහොතේ ඒ සල්ලි කපා ගන්නවා” කනකර පවා උකස් කරමින් එදිනෙදා ජීවිතය ගැට ගසන්නට උත්සාහ දරන මිනිසුන් තවමත් උකස් මධ්‍යස්ථාන අසල අඩුවක් නැතිව පෝලිම් ගැසෙයි.

ලංකා ඉතිහාසයේ කවරදාවත් නොවූ ලෙස ආනයනකරුවන්, තොග වෙළෙඳුන්, සිල්ලර වෙළෙඳුන් සහ අතරමැදියන් මෙන්ම පාරිභෝගික ජනතාව ද දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව ඔවුන්ගේ අදහස්වලින් අවබෝධ විය.

කුමන නීති හා ප‍්‍රතිපත්ති ඉදිරිපත් වුවද භාණ්ඩ සහ ආහාර මිල ගණන් සම්බන්ධයෙන් ඇති ගැටලූවලට තවමත් විසඳුම් ලැබී නැති බවට පාරිභෝගිකයන් පවසයි. පාලන මිලක් නියම කළ ද මේ අවස්ථාවේ දී බොහෝ ව්‍යාපාරිකයන් තම වෙළෙඳාම කළු කඩයක් කරගෙන ඇති නිසා ඒ සම්බන්ධව සොයා බලා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා මෙන් පාරිභෝගික ජනතාව රජයෙන් ඉල්ලා සිටිති. එමෙන්ම භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමේදී හා බෙදාහැරීමේදී ගැටලූ රාශියක් ඇතිවන බවත් ඒවාට තවමත් විසඳුම් නැති බවටත් වෙළෙඳුන් කියයි. ගොවියන්ගේ ගැටලූවලට පිළිතුරු නොලැබුණහොත් හා වර්ෂාව දිගට ම පැවතුණොත් ඉදිරියේදී දැනටත් වඩා එළවළු පලතුරු හිඟ වීමට ඉඩ ඇති බවට ගොවියෝ අනතුරු අඟවති. දරු පවුල් නඩත්තු කරමින්, බෙහෙත් හේත්වලට වියදම් කරමින්, දවසේ වියදම පවා අසීරුවෙන් ගෙවන මිනිසුන්ට හෙට දවස වෙනුවෙන් කීයක් හෝ ඉතිරි කිරීම සිහිනයක් වී ගොසිනි. කොවිඞ්වලින් වැළකීමට විසඳුම් සෙවීම පසෙකලා බොහෝ මිනිසුන් හෙට දවස ගෙවා ගන්නේ කෙසේද යන ප‍්‍රශ්නයට පිළිතුරු සොයයි.

නිරෝෂා වාසල
(විශේෂ ස්තුතිය නුවරඑළිය වාර්තාකරු
නාලක රත්නායක මහතාට )
ඡායාරූප – සුජාතා ජයරත්න සහ නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment