සොබා සොඳුරු  සිරි මෙලොවේ ඔබේ ඇසෙනි අප දුටුවේ

187

සැප්තැම්බර් 19 දිනට යෙදුන ප්‍රවීණ කලාකරු ධර්මසිරි ගමගේ සූරීන්ගේ 18 වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි.

2004 වසරේ සැප්තැම්බර් මස 19 වැනි දින ලොව කලාතුරකින් අපට හමුවන උතුම් මිනිසෙක් හදිසියේ අපගෙන් සමුගත්තේ ය. 1939 ඔක්තෝබර් මස 04 වැනි දින අපගේ පිනට මෙලොව එළිය දුටු ඔහු මිනිසුනට බොහෝ සේ ආදරය කළ අයෙකි. ඔහුගේ එම ආදරය ඔහුට ආදරය කළ පුද්ගලයන්ට පමණක් සීමා නොවී ය. ඔහු තමාට වෛර කළ, එසේ ම තමාගේ ගමන් මග නිබඳ අවහිර කළ නොමිනිසුනට පවා එකසේ ආදරය කළේ ය.

සොබා සොඳුරු  සිරි මෙලොවේ ඔබේ ඇසෙනි අප දුටුවේ
ගාමිණි ෆොන්සේකා සමග එදා සම්මාන උළෙලකදී

එසේ ම, හය හතර තේරුණු දා පටන් පොත්-පත්වලට දැඩිසේ ආදරය කරන්නට පටන් ගත් ඔහු, අවසන ගස් වැල් සතා සීපාවුන් ඇතුළු මුළුමහත් පරිසරයට ම ආදරය කරන්නට පටන් ගත්තේ ය.

ඔහු අප කවුරුත් දන්නා හඳුනන ධර්මසිරි ගමගේ නම් වූ උතුම් මිනිසා ය. කෘතහස්ත පුවත්පත් කලාවේදියා ය. ප්‍රවීණ ගීත රචකයා ය. නිර්මාණශීලී සිනමාවේදියා ය. හෘදයංගම සංනිවේදකයා ය. දුනුනන් බොහෝ දෙනකුට නිර්ලෝභීව අත හිත දුන් දයාබර ගුරුවරයාණන් ය.

සොබා සොඳුරු  සිරි මෙලොවේ ඔබේ ඇසෙනි අප දුටුවේ
විජය, ජෝ “පූජා” හි රූප රාමුවක

1956 වර්ෂයේ දී ‘ජනතා’ පුවත්පත පැවැත්වූ සමස්ත ලංකා කෙටිකතා තරගයට ඔහු ඉදිරිපත් කළ ‘ආදර සුවඳ’ නම් කෙටිකතාවට ප්‍රථම ස්ථානය හිමිවීමෙන් සාහිත්‍ය ක්ෂේත්‍රයේ අත්පොත් තබන්නට වාසනා ලද ඔහුගේ ජීවිතයේ ගමන් මග අනපේක්ෂිත ලෙස වෙනස් කරනු ලැබුවේ එම නමින් ම පසුව පළ වූ ඔහුගේ පළමු කෙටිකතා සංග්‍රහය නිසාවෙනි. පුවත්පත් වාර්තාකරුවෙකු ලෙස ‘ලංකාදීප’ පුවත්පතට බැඳෙන්නට 1960 දී ඔහුට හැකි වූයේ, එම ප්‍රථම කෙටිකතා සංග්‍රහයෙන් ඔහු දැක්වූ ප්‍රතිභාව හඳුනාගෙන එය ආරක්ෂා කරන්නට එකල ලංකාදීපයට ‘ජයදේව’ නමින් විචාර ලිපි සම්පාදනය කළ කේ. එම්. සිරිසේන වන් උතුම් මිනිසුන් එවක පුවත්පත් ක්ෂේත්‍රයේ සිටි හෙයිනි.

සොබා සොඳුරු  සිරි මෙලොවේ ඔබේ ඇසෙනි අප දුටුවේ
ධර්මසිරි ගමගේ අධ්‍යක්‍ෂණය කළ “යස ඉසුරු” හි විජය මාලනී

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මඩවල එස්. රත්නායක, රත්න දේශප්‍රිය සේනානායක, කරුණාසේන ජයලත් වැනි කෘතහස්ත පුවත්පත් කලාවේදීන්ගෙන් සුසැදි ‘ලංකාදීප’ කර්තෘ මණ්ඩලය එවකට ඔහුට පුංචි විශ්වවිද්‍යාලයක් බඳු වී ය. 1960 සිට 1977 දක්වා වසර දාහතක් ‘ලංකාදීප’ කර්තෘ මණ්ඩලයේ සේවය කළ ධර්මසිරි ගමගේ සූරීහු කලක් ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතේ සංස්කාරකවරයා ලෙස ද කටයුතු කළෝ ය.

1977 වර්ෂයේ ‘දිණමිණ’ පුවත්පතට එක්වූ ධර්මසිරි ගමගේ සූරීන්ගේ පුවත්පත් කලා ජීවිතයේ ස්වර්ණමය යුගය ආරම්භ වන්නේ ‘යොවුන් ජනතා’ පුවත්පත සංස්කරණය කිරීම ඇරඹීමත් සමඟ ය. දිවයිනේ සිව්දෙස විසිරී-පැතිරී සිටි ආධුනික ලේඛක-ලේඛිකාවන් හට තම නිර්මාණ ඉදිරිපත් කරන්නට තෝතැන්නක් බවට ‘යොවුන් ජනතා’ පුවත්පත පත්කළෝ ධර්මසිරි ගමගේ සූරීහු ය. ඔහු තමාට එල්ලවන සියලු අභියෝගයන්ට මුහුණ දෙන්නට සූදානම්ව ‘හදවත ඇඳි ගී’ නමින් ආධුනික කවීන්ගේ නිර්මාණ ඇතුළත් නිර්මාණ පිටුවක් සංස්කරණය කළේ ය. ඉන්පසුව ආධුනික කෙටිකතාකරුවෙකුගේ කෙටිකතාවකින් ‘යොවුන් ජනතා’ පුවත්පතේ කෙටිකතා පිටුව හැඩගැසිණි. ආධුනික චිත්‍ර ශිල්පියකුගේ සිතුවමකින් එහි පිටකවරය සැරසිණි.

1982 වසරේ දී ‘යොවුන් ජනතා’ පුවත්පතත්, ජාතික තරුණ සේවා සභාවත් එක්ව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වන්නට යෙදුණු ‘යොවුන් පහන්වැට’ නම් වූ ශ්‍රී ලංකාවේ ‘ප්‍රථම යොවුන් ලේඛක හමුව’ ධර්මසිරි ගමගේ සූරීන්ගේ අගනා සංකල්පයකි. යොවුන් ජනතා පුවත්පතින් එතෙක් නමින් සහ නිර්මාණවලින් පමණක් දැන හඳුනාගෙන සිටි ආධුනික ලේඛක-ලේඛිකාවන් හට එකිනෙකා හඳුනාගන්නට අවස්ථාව ලැබීමත්, ඔවුනොවුන් සහ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර අත්දැකීම් හුවමාරු කරගන්නට අවස්ථාව සැලසීමත් ඔවුන්ගේ නිර්මාණ ජීවිතයට ප්‍රබල උත්තේජනයක් වූවා නිසැක ය. අද වන විට විවිධ ක්‍ෂේත්‍රවල ප්‍රවීණයන් බවට පත්ව සිටින්නේ එදා එලෙස ‘යොවුන් පහන් වැට’ තුළින් පන්නරය ලද නිර්මාණකරුවන් වීම ඒ බව මනාව පසක් කරනු ලබයි.

එම වකවානුවේ යොවුන් පහන් වැටේ දීප්තිමත් ආලෝක ප්‍රභාව ලබමින් විශ්වවිද්‍යාලවලත්, ඈත ගම්දනව්වලත් බොහෝ කලා සංවිධාන බිහිවන්නට වූයේ නිතැතිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ‘ප්‍රතිභා පදනම’ත්, කැලණිය විශ්වවිද්‍යාලයේ ‘ආධුනික ලේඛක සංවිධානය’ත්, කොළඹ විශ්වවිද්‍යාලයේ ‘වින්දන කලා කේන්ද්‍රය’ත් ආරම්භ කරන්නට පුරෝගාමී වූවෝ අන් කවරකුවත් නොව, එවකට යොවුන් පහන් වැටට සම්බන්ධව සිටි සරසවි ශිෂ්‍ය-ශිෂාවෝ ම ය.

එවන් මානව දයාවකින් පිරි නිර්මාණශීලී යොවුන් පරපුරක් බිහිවෙමින් තිබූ අවදියක අප සැමගේ අවාසනාවට ‘යොවුන් ජනතා’ සංස්කාරකත්වය ධර්මසිරි ගමගේ සූරීන් වෙතින් නින්දිත ලෙස සහ තුච්ඡ ලෙස පැහැර ගැනිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ධර්මසිරි ගමගේ සූරීන් ලේක්හවුසියේ සයිබීරියාවට පිටුවහල් කළ බලධාරීහු ‘යොවුන් ජනතා’ පුවත්පත ‘අතිශයින් වැඩිහිටියන්ට පමණයි !’ යන ලේබලය යටතේ නිකුත්වන ඊනියා කුණුහරුප ප්‍රකාශනයක් බවට පත්කළේ ඔහු මහත් කැපවීමෙන් යුතුව එතෙක් ගොඩනගන ලද ප්‍රබුද්ධ තරුණ රසිකත්වය ඇස් පනා පිට විනාශ කර දමමිනි.

ධර්මසේන ගමගේ ශූරීහු සිය ජීවිතයේ විසිවැනි වියේ දී ග්‍රන්ථකරණයට පිළිපන්නේ 1959 වසරේ දී මාලා ඇම්. පෙරේරා නම් කිවිඳිය සමඟ සම කර්තෘත්වයෙන් ප්‍රකාශිත ‘කුරුළු ගීතිකා’ නම් කාව්‍ය සංග්‍රහයෙනි. ඉන් අනතුරුව, ‘ආදර සුවඳ’ (1960), ‘සිත්තර සිතක්’ (1963), ‘දවල් හීන’ (1965), ‘අළුයට ගිනි’ (1967), ‘සංසාර දර්ශන’ (1976), ‘සිත නිවෙන තැන්’ (1978), ‘මරුසිරා’ (1978), ‘සිරිපාල සහ රන්මැණිකා’ (1980), ‘වැලිකඩ හිරගෙදර සුජානිගේ කතාව’ (1988), ‘සුළං කුරුල්ලෝ’ (1988), ‘ජාතික නාමල් උයන සහ රෝස තිරුවානා කඳුපෙළ’ (1998), ‘චාරිකා සටහන්’ (1999), ‘භාරත චාරිකා’ (2000) සහ ‘පියාපතක් පිරිනමන්න අවසර’ (2000) යන කෘතීන් ඔහු අතින් බිහිවී ය.

ගමගේ සූරීන්ගේ දායකත්වය සිනමා ක්ෂේත්‍රයට ලැබුණේ තුන් ආකාරයකිනි. ‘අම්බපාලී’ චිත්‍රපටයට ගීත රචනා කිරීමෙන් ආරම්භ කළ චිත්‍රපට ගීත රචනය චිත්‍රපට දෙසිය පනහක් දක්වා නිර්මාණශීලී දුරක් ගමන් කළේ ය. ඔහු චිත්‍රපට තිර රචනය ආරම්භ කරන ලද්දේ, ‘ආදරවන්තයෝ’ චිත්‍රපටයෙනි. ඉන් අනතුරුව ඔහු වාණිජ හා කලාත්මක චිත්‍රපට ගණනාවකට ම තිර රචනයෙන් සම්මාදම් වුව ද, ඔහුගේ විශිෂ්ටතම තිරරචනා ලෙස අදටත් සැලකෙන්නේ අමරනාත් ජයතිලකයන් විසින් 1977 වසරේ අධ්‍යක්ෂණය කළ ‘සිරිපාල හා රන්මැණිකා’, ධර්මසේන පතිරාජයන්ගේ ‘එයා දැන් ලොකු ළමයෙක්’ (1977) සහ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා විශිෂ්ට ලෙස රංගනයෙන් දායක වූ සුනිල් ආරියරත්නයන්ගේ ‘සරුංගලය’ යන චිත්‍රපටවල තිර පිටපත් ය.

ධර්මසිරි ගමගේ සූරීන් සිංහල සිනමාවට දායකවන්නේ ගීත රචනයෙන් හා තිර රචනයෙන් පමණක් නොවේ. ‘යස ඉසුරු’ සහ ‘පූජා’ යන චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස ද ඔහු සිය ප්‍රතිභාව ප්‍රදර්ශනය කරන්නට සමත් වී ය. වසර හැට පහක් තරම් කෙටි කාලයක් ජීවත් වූ පුද්ගලයෙකුට එතරම් කෙටි කාලයක් තුළ කවියෙන්, කෙටිකතාවෙන්, ගීතයෙන්, තිර රචනයෙන්, සිනමා අධ්‍යක්ෂණයෙන්, ලිපි රචනාවලින්, ග්‍රන්ථකරණයෙන්, ගවේෂණයෙන්, දුහුනනට කරන ලද විවිධ අතහිතදීම්වලින් පමණක් නොව, උත්තරීතර පතිනි පෙමින් යුතුව මේ සා විශාල වැඩ කොටසක් කළ හැකි වේ යැයි සිතීම පවා විස්මයජනක ය.

ඔහු විසින් සිය ජීවිත කාලය තුළ වරින්-වර පුවත්පත් සඟරාවලට සිංහල බසින් සම්පාදනය කරන ලද ලිපි ප්‍රමාණය 585ක් පමණ වන බවත්, ඉංග්‍රීසි බසින් ලියන ලද ලිපි ප්‍රමාණය 87ක් පමණ වන බවත්, ඔහු විසින් ගුවන් විදුලියට සහ චිත්‍රපටවලට රචනා කරන ලද ගීත ප්‍රමාණය 222ක් පමණ වන බවත් රංජිත් අමරකීර්ති පලිහපිටිය විසින් සංස්කරණය කරන ලද ‘ධර්මසිරි ගමගේ නිර්මාණ සංදීපනී’ ග්‍රන්ථයට ‘ධර්මසිරි ගමගේ ලිපි හා ගීත නාමාවලිය’ මැයෙන් ලිපියක් සපයන යොවුන් පහන් වැටෙන් බිහිවූ ප්‍රවීණ ලේඛිකාවක වන සුජීවා නිරංජනී රත්නායක සඳහන් කරන්නී ය. තව ද, ඔහුගේ නිර්මාණ පිළිබඳ සමහර තොරතුරු අප්‍රකට හෙයින්, මෙය ඔහුගේ ලිපි සහ ගීත පිළිබඳ සම්පූර්ණ නාමාවලියක් නොවන බව පවසන ඇය ඉහත සංඛ්‍යාලේඛන ඊට වඩා වැඩිවිය යුතු බව ද අවධාරණය කරන්නී ය.

නිර්මාණකරුවකු ලෙස ඔහු අප සමාජයට නිර්මාණ පමණක් ඉතිරිකොට තබා ගිය පුද්ගලයකු නොවේ. මහඟු බෝසත් ගුණ සම්භාරයක් ද ඔහු අපට ඉතිරිකොට තබා ගොස් ඇත්තේ ජීවිතය පිළිබඳව අපට යළි වරක් සිතන්නට අවස්ථාව සලසමිනි. ධර්මසේන ගමගේ සූරීන්ගේ අවමඟුල් උළෙලේ දී පවත්වන ලද එක ම එක ගිහි කතාවේ දී මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පැවසුවාක් මෙන් ‘විවාපත් වී වසරකින් දෙකකින් ස්නායු ආබාධයකට ලක්ව ඔත්පල වන තම බිරිඳ රෝහලට ගෙනවිත් දමා ඉන්පසුව පැත්ත පළාතේ නොඑන ස්වාමිපුරුෂයන් වෙසෙන රටක වසර දහයක් තිස්සේ රෝගීව ඔත්පලව සයනයේ වැතිර සිටි සීතා ගමගේ නම් වූ තම ආදරණීය බිරිඳ නහවා කවා පොවා තම මෑණියන්ට මෙන් උවටැන් කරමින් මුළුමහත් සමාජයට ම ඔහු ලබාදුන්නේ උතුම් ආදර්ශයකි’. ඔහු විසින් නිරුත්සාහයෙන් පානා ලද එම බෝසත් ගුණයෙන් අපේ හදවත් දැනුදු කරුණාවෙන් පිරීතිරී යයි.

වසර ගණනාවකට පෙර තමන්ගෙන් ගුරුහරුකම් ලැබ සමාජයේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් බවට පත්ව සිටින එහෙත්, කටපුරා හිතපුරා ‘සර්’ යන ආරණීය නාමයෙන් ඉතාමත් නිහතමානීව තමන් අමතන දූ පුතුන් හා මෙරට ප්‍රවීණ කලාකරුවන් හා විද්වතුන් රැසක් මැද එදා ඔහු විඳි නිරාමිස සුවය දැනුදු අපට අමතක නැත. එම හරසර උළෙලින් ආස්වාදය සහ ආදර්ශය ලැබ ඉන් අනතුරුව මෙරට කලාකරුවන් කී දෙනකු වෙනුවෙන් නම් එවන් හරසර උපහාර උළෙල පැවැත්විණි ද? ධර්මසිරි ගමගේ මහතාගේ ‘පහන්වැට නිර්මාණ කේන්ද්‍රයේ’ දූ පුතුන් විසින් එවන් ආදර්ශයක් සමාජයට දීම පමණක් ම ඔහු ලැබූ උත්තරීතර උපහාරයකි. එවන් උදාර බෝසත් ගුණයෙන් පිරිපුන් ධර්මසිරි ගමගේ ගුරුපියාණන් නිවන් දක්නා ජාති දක්වා යළි යළිත් අප අතර ම ඉපදේවා යි අප ප්‍රාර්ථනා කරන්නේ ඔහුගේ ගුණ සුවඳට කාව්‍ය පුෂ්පෝපහාරයක් ද පුදකරමිනි.

අනුර බී. සෙනෙවිරත්න

සංස්කරණය – රුවන් ජයවර්ධන







advertistmentadvertistment
advertistmentadvertistment