සොරගුණේ…සොර ගුහාවක්

64

කුඩා කතරගම දේවාලයේ නින්දගම රටටම විනාශයක්….

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් සොරගුණේ ඓතිහාසික කුඩා කතරගම දේවාලයට අයත් බෝගහපැලැස්සේ පිහිටි අක්කර 6245 ක් වන එහි “නින්දගම” ප්‍රදේශයටම දැන් වණයක් වී ඇති බවත්, එතෙකින් නොනැවතී රටටම හෙණයක් වීගෙන එන බවත් ඉතා සංවේගයෙන් යුතුව පවසන්නට අපට සිදුව ඇත. එසේ එම නින්දගම වණයක් වී එතැනින් නොනැවතී හෙණයක් වන්නේ ඇයිද යන්න පිළිබඳව අප පහතින් සඳහන් කරන කරුණු කාරණා පිළිබඳව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හපුතලේ අඩවි වන නිලධාරීන් වහාම පරීක්ෂණයක් කර රටට නිවැරදි කරුණු වාර්තා කරන ලෙසද මේ මොහොතේ අප ඉල්ලා සිටින්නට කැමතිය. ඊට හේතුව සොරගුණේ නින්දගම් ඉඩම අද රටටම හෙණයක් වීගෙන එන්නේ මේ නිලධාරීන් රජයේ වනාන්තර ආරක්ෂා නොකර ඇස්, කන් පියාගෙන සිටින නිසා එම නින්දගම් ඉඩම් යැයි කියමින් අදාළ පුද්ගලයින් විසින් බෝගහපැලැස්ස රක්ෂිත වනාන්තර ඉඩම් ද තොග ගාණට සමාගම් ඇතුළු පුද්ගලයන්ට විකිණීම හා බදුදීම සිදුකරනු ලබන බවට අප විසින් හඳුනාගනු ලැබ තිබීම නිසාය.

මේ පිළිබඳව දීර්ඝ කාලීනව අධ්‍යයනයේ යෙදී සිටින පරිසර යුක්ති කේන්ද්‍රය, ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ඇතුළු පරිසර සංවිධාන සහ පරිසරවේදීන් පවසන ආකාරයට මේ වන විටත් සොරගුණේ නින්දගමේ අක්කර 6245 ක ඉඩම් ප්‍රමාණය බදු දී හෝ විකුණා අවසන් කර ඇත. දැන් ඔවුන් විසින් බදු දෙන්නේ හෝ විකුණා දමන්නේ රජයේ වනාන්තරය. මන්ද, මේ සියල්ලම පවතින්නේ කිසිදු මායිමක් නැතිව එකම වනාන්තර පද්ධතියක් තුළ එකටමය. ඉතින්, ඉබ්බා දියේ දැම්මාම ඇන්නාවේ යයි කියන්නා වගේ අද කොම්පැනිකාරයින්, දේශපාලකයින් ඇතුළු සල්ලිකාරයින්ට සොරගුණේ නින්දගම කියා හිතේ හැටියට රජයේ (වනාන්තර) ඉඩම් තොග පිටින් ලබාදෙමින් සිටින බව හඳුනාගන්නට ලැබී තිබේ. මේ සඳහා රජයේ නිලධාරීන් හා දේශපාලකයින් කිහිපදෙනකු දේවාලයේ පාලනාධිකාරියට සහය දෙන බව වාර්තා වේ.

ඒ අනුව, කලක් කම්කරු ඇමැති පදවිය පවා දැරූ රත්නපුර ප්‍රදේශයේ ප්‍රකට දේශපාලකයකුට සම්පූර්ණ කඳු ගැටයක් සහිතවම බෝගහපැලැස්සෙන් විශාල ඉඩම් ප්‍රමාණයක් ලබාදීමක් සිදු කර තිබේ. ඊට අදාළ නිරීක්ෂණ කටයුතු අප විසින් පසුගියදා කරන්නට යෙදිණි. මීට පෙර විදෙස් රටක තම ව්‍යාපාර කරගෙන යන ශ්‍රී ලාංකික ද්‍රවිඩ ව්‍යාපාරිකයකුට ගොල්ෆ් ක්‍රීඩාංගනයක් ඉඳිකිරීම සඳහා අක්කර 628 ක් ලබාදී ඇති අතර, මෙම ව්‍යාපෘතිය (තාවකාලිකව) නැවතී ඇත්තේ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් සිදුකරන ලද නඩු පැවරීමක් නිසාය. එසේම, මේ ඊයේ පෙරේදා කුරුඳු වවන්නට යැයි කියමින් එක්තරා ප්‍රකට වැවිලි සමාගමක් මගින් තවත් අක්කර 2000 ක් මේ නින්දගමෙන් ලබාගෙන ඇති බවට තොරතුරු ඇත. එම භූමිය හෝ තවත් සමාගම් සඳහා මේ නින්දගමෙන් යැයි පවසා ලබාදී ඇති ඉඩම් පරීක්ෂා කර බලන්නට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරියට, හපුතලේ වන නිලධාරීන්ට හෝ තවත් අවශ්‍ය ඕනෑම බලධාරියකුට අවශ්‍ය නම් අපට ඒ සඳහා මග පෙන්වාදීමට හැකිය. නොහොත්, මැනේජ්මන්ට් එල්ටී ප්‍රයිවෙට් ලිමිටඩ් නමැති සමාගමක් මගින් පතහ ප්‍රදේශයේ අධි සංවේදී බෑවුම් (සවානා) වනාන්තර ඉඩම් විශාල ප්‍රමාණයක් මේ වන විට තම සන්තකයට ලබාගෙන ඇත. එම සමාගම මගින් තම හිතේ හැටියට සීමා වෙන්කරගෙන ඇත්තේ “මෙය පෞද්ගලික ඉඩමකි. ඇතුල්වීම තහනම්” ලෙස තැනින් තැන අහඹු ලෙස තෝරාගත් ගස් මත රතු පැහැති වර්ණයෙන් බෝඩ් දමා සීමාව සලකුණු කරමිනි. ගම්මාළු ශාකය ප්‍රමුඛ මෙම වනාන්තර එක අතකින් ඉතා ඉහළ හරිතාවරණයක් දරණ අතර, අනෙක් අතින් වේලිඔය සහ උඩවලව ජලාශයේ ඍජු ජලපෝෂක ලෙස ක්‍රියාකරයි. එසේම, තද බෑවුම් සහිත වනාන්තර බැවින් ඉහත ජලාශවල පාංශු සංරක්ෂණ පද්ධතිය ලෙස ද කටයුතු කරමින් රටේ පරිසර තුල්‍යතාවට මේ මගින් ලබාදෙන්නේ අමිල මෙහෙයකි.

සොරගුණේ…සොර ගුහාවක්

මේ සියල්ල අතරතුර මෙසේ හානියට ලක්වන බෝගහපැලැස්ස යනු වන අලි ඇතුළු වන සතුන්ගේ පුළුල් වාස භූමියකි. නොහොත් අලි-ඇතුන්ගේ සංක්‍රමණික වනාන්තර පද්ධතියකි. හෙක්ටයාර් 17,159 ක් පමණ වන බෝගහපැලැස්ස යනු රක්ෂිත වනාන්තරයකි. එය බෝගහපට්ටිය නමැති යෝජිත අභයභූමියේම කොටසකි. බෝගහපට්ටිය යනු යහමින් අලි-ඇතුන් ගැවසෙන වනාන්තරයක් නම්, බෝගහපැලැස්ස ගැන ඉතිං තවත් කතා කරන්නට ඇත්තේ කුමක්ද…? ඒ සියලු සත්තු මෙහිද යහමින් ගැවසෙති. මෙම වනාන්තර හෙළි පෙහෙළි කරන්නට සමාගම් ඇතුළු පුද්ගලයින්ට ලබාදෙන්නේ නම් අලි-මිනිස් ගැටුම ගැන තවත් කතා කරන්නට ඇත්තේ කුමන කතාද…? ඒ අනුව රටටම ප්‍රශ්න වැලක් ඇති කරන මේ සොරගුණේ නින්දගම “සොරගුහාවක්” ලෙස හඳුන්වා දෙන්නට අපට සිදුවේ.

තත්ත්වය මෙසේ තිබියදී සොරගුණේ, බෝගහපැලැස්ස වනාන්තර පද්ධතියේ දැව හෙළීම, ඉඩම් ඩෝසර් කිරීම හා ඉඩම් හෙළි- පෙහෙළි කිරීම ඇරඹී ඇත. ඉකුත්දා අප එහි යනවිටත් යාන්ත්‍රික කියත් මගින් දැව හෙළීම් සිදුකරන අයුරු නිරීක්ෂණය කළ අතර, වනය කපා හෙළි-පෙහෙළි කරන ලද ඉඩම් ඉතා හොඳින් දැකබලාගන්නට හැකිවිය. ඒ සොරගුණේ, පතහ ප්‍රදේශයේ ය.

ඒ නිසා අප නැවත නැවතත් කියා සිටින්නේ මේ වනාන්තර සංහාරය පිළිබඳව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරිය, හපුතලේ වන අඩවිය හා අනෙකුත් බලධාරීන් ඇස්, කන් පියාගෙන සිටින බවය. මේ නිලධාරීන්ට හා අපටද ඇතැම් විට සොරගුණේ දේවාලයේ ඉඩම් පිටට ලබාදෙන පුද්ගලයින්ට ද ඇති එක පොදු ප්‍රශ්නයක් ඇත. එනම් ඒ වන සංරක්ෂණ භූමිය, ප්‍රාදේශීය ලේකම්ට අයත් ඉඩම් අයත් භූමිය හා සොරගුණේ නින්දගමට අයත් භූමිය වෙන්කර දැක්වෙන මායිම් හා සිතියම් නොමැති වීමය. එනිසා මෙවන් ගැටලු සිදුවන බව කෙනෙකුට නිදහසට කාරණා ලෙස කියන්නට පුළුවන. නමුත්, සීමා මායිම් දැමීම හෝ සිතියම් ඇඳීම අපට අයිති, අපට අදාළ කාරණයක් නොවේ. ඒවා කළ යුත්තේ වනාන්තරවල අයිතිය පෙන්වන ආයතන විසිනි. ඒ කියා රජයේ (වනාන්තර) ඉඩම් මහා දවාලේ කොල්ලකන්නට දෙනවා නම් මොකක්ද මේ රට…? ඒවා ගැන සොයාබලා රටේ සම්පත් සුරක්ෂිත කරන්නට රජයේ නිලධාරීන්ට නොහැකිද..? මේ වන විනාශය ජනාධිපතිවරයාගේ 32% ක් වන ආවරණය වැඩි කිරීමේ වැඩපිළිවෙළට සම්පූර්ණයෙන්ම එරෙහි වූවකි. එසේ හෙයින් ජනාධිපති කාර්යාලයේ හෝ ඍජුවම ජනාධිපතිවරයාගේ අවධානය මේ සඳහා යොමුවිය යුතුව ඇති බව අපගේ පිළිගැනීමයි.

සොරගුණේ…සොර ගුහාවක්

එසේම, අප ඉල්ලා සිටින්නේ වහාම මේ අනවසර, අවිධිමත් වනාන්තර ඉඩම් වෙන්දේසිය නවතා සොරගුණේ නින්දගම, වන සංරක්ෂණ භූමිය, ප්‍රාදේශීය ලේකම් සතු ඉඩම් යන තුන් කොටස පැහැදිලි වනසේ ඉඩම් සඳහා මායිම් සලකුණු කරන ලෙසය. ඉන්පසු දේවාලයේ ඉඩම්වලින් පිට ඉඩම් ලබාදී ඇත්නම් ඒ කටයුත්ත සිදුකළ චූදිතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසය. එසේම, කාලයක් තිස්සේ වනගත වූ ඉඩම් නිසා සහ එහි වන සතුන් ගැවසෙන නිසා එසේම, අධික බෑවුම් සහිත සංවේදී ඉඩම්, ජල උල්පත් පිහිටීම, වනාන්තර තත්ත්වයට කැලෑව වර්ධනය වීම නිසා දේවාලය සතු ඉඩම් වුවත් ඒවා සංවර්ධන කටයුතු සඳහා ලබාදීමට නම් පරිසර ඇගයීම් වාර්තා සකසා අනුමැතිය ගත යුතුවේ. එසේ නොවී දිගින් දිගටම මෙසේ වනාන්තර විනාශය සිදුවුවහොත් බරපතල තත්ත්වයකට පහළ හල්දුම්මුල්ල අධි සංවේදී බෑවුම ලක්වනු නියතය. මේ නිසා බෝගහපැලැස්ස රක්ෂිතය විනාශවීමෙන් උඩවලව- දහයියාගල අභයභූමිය ඔස්සේ මෙම බෝගහපට්ටිය යෝජිත අභයභූමියට පැමිණෙන සිය ගණනක් අලි-ඇතුන්ට වනාන්තර පරිසරය අහිමිවීමෙන් අලි-මිනිස් ගැටුම තව තවත් උග්‍ර වීම වැළැක්විය නොහැකි වනු ඇති. මේ බව කියන්නේ පරිසරවේදී, උඩවලව අලි පර්යේෂණ ව්‍යාපෘතියේ වන අලි පර්යේෂක සමීර වීරතුංග මහතාය. එසේම, හල්දුම්මුල්ල ජල පෝෂක සිඳී යෑමෙන් හෝ තර්ජනයට ලක්වීමෙන් වේලිඔය හා උඩවලව ජලාශ ඍජුව පරිහරණය කරන ගොවි පවුල් 5000 ක් ඇතුළු පවුල් 30,000 ක් මෙම විනාශය උග්‍ර වුවහොත් බලපෑමට ලක්වන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රතිපත්ති හා දැනුවත් කිරීමේ නිලධාරී ජනක විතානගේ මහතා සඳහන් කරයි. ඒ අනුව තත්ත්වය බරපතලය. මේ නිසා වේලිඔය ව්‍යාපෘතියේ වේලිඔය, කල්තොට, පොකුණුතැන්න, මහපැලැස්ස, නෙතුල, අලුත්වැව ගොවි ජනපදය, හම්බෙගමුව, වටමඩ, කුකුල්කටුව, රතඹලාගම, කහකුරුල්ලන්පැලැස්ස, කණ්ඩියපිට ගොවි ජනපදය ඍජුවම ජල හිඟකමෙන් හා අලි- මිනිස් ගැටුම උග්‍ර වීමෙන් ප්‍රශ්න රැසකට මැදිහත් වනු ඇති බව ජනක විතානගේ, සමීර වීරතුංග මහත්වරුන් හා හල්දුම්මුල්ල ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ටී.එම්.එස්. තෙන්නකෝන් මහත්වරු පැවසුවේ පසුගියදා සොරගුණේ ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂණයකට එක්වෙමිනි. තත්ත්වය මෙසේ හෙයින් මෙම විනාශයට උඩ ගෙඩි දෙන සියල්ලන්ට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කිරීමට තමන් පසුබට නොවන බවද ඔවුහු මෙහිදී පැවසූහ.

එම ක්ෂේත්‍ර චාරිකාවේදී හල්දුම්මුල්ල පහළ බෑවුම් වනාන්තර පද්ධතිය පත්ව තිබෙන අති භයංකාර තත්ත්වය පිළිබඳව ඉතා හොඳින් තේරුම් ගන්නට ද අපට හැකිවිය.

පරිසර යුක්ති කේන්ද්‍රය සංවිධානය කළ ක්ෂේත්‍ර චාරිකාවක් ඇසුරෙනි.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment