සෝභිත හිමියන්ගේ දැක්ම තුළ ඇති සමාජ වගකීම

103

(අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මා හිමියන්ගේ අදට යෙදෙන සත්වැනි ගුණ සමරුව නිමිත්තෙනි)

මෙරට පහළ වූ අති උදාර මහා යතිවරයාණන් වහන්සේ නමක් වූ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් දැයට සමුදී අදට වසර හතකි. ගෙවුණ වසර හතක කාලය තුළ මේ රටේ නිර්මාණය වූ දැවැන්ත සමාජ දේශපාලන හා ආර්ථික අර්බුද තුළ අද පවා එයින් ගැලවීමක් නොමැතිව හසරක් නොමැතිව ළතවන ජාතියකට, සෝභිත හිමි නොමැති වීමේ පාඩුව අන් කවර කාලයකටද වඩා බරපතළ ලෙස දැනෙමින් පවතී. තම පටු අපේක්ෂාවන්ගෙන් තොරව රටේ යහපත පමණක් අරමුණු කරගනිමින් කටයුතු කරන ජාතික නායකත්වයන්හි රික්තයක් මේ රටේ පවතින තාක්කල් සෝභිත හිමියන් අප අතර නොවීමේ අඩුව වඩ වඩාත් අපට දැනෙනු ඇත.

අද අප රටක් ලෙස මුහුණ දෙමින් සිටින දැවැන්ත අර්බුදයට තිරසාර විසඳුමක් ලබාගැනීමට නම් අප; සෝභිත හිමි අපට පෙන්වා දුන් සමාජ ප්‍රතිසංස්කරණ කරා යොමුවිය යුතුමය. එහිදී ජාතියක් ලෙස අපට තවදුරටත් නිරර්ථක ලෙස දියසෙන් කෙනෙක් පහළ වන තෙක් බලා සිටිය නොහැකිය. එහිදී මේ රටේ පොදු සමාජය අන් සියල්ලටම පෙර වර්තමානයේ රට මුහුණ දී ඇති අර්බුදයේ ගැඹුර මෙන්ම සෝභිත හිමියන්ගේ දර්ශනය තේරුම් කරගැනීම ඉතා වැදගත්ය. සෝභිත හිමියන් ඉතාමත් පැහැදිලි ලෙස රටට පෙන්වාදුන්නේ මේ රටේ අනාගත යහපත රඳාපවතිනු ඇත්තේ ජනතාවට වගකියන, පාලනයේදී වගවීමට බැඳී සිටින, ශිෂ්ට සම්පන්න දේශපාලන සම්ප්‍රදායක් තහවුරු කරගැනීම මත පමණක්ම බවය. උන්වහන්සේ නිරතුරුවම ඒ වග අවධාරණය කළා පමණක් නොව අන් සියල්ලටම පෙර ඒ සඳහා ගත යුතු පළමු පියවරද පෙන්වා දුන්නේය.

“මේ රටේ අපේ හාමුදුරුවරු එකතු වෙලා කළ යුතු මහා මෙහෙවරක් තියෙනවා. ඒක තමයි විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් ඇති. මේ ව්‍යවස්ථාවට තව යන්න බෑ. මේක තමයි විනාශයට මුල. මේකෙ තියෙන ඡන්ද ක්‍රමය, මන්ත්‍රීවරු පත්කරන ක්‍රමය, ඔක්කොම වැරදියි. ඒක මහ විනාශයක් වෙලා තියෙනවා. ඒ නිසා මේ රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න අවශ්‍යයි” ඉන් පෙර අන් අවස්ථාවලට ද වඩා සෝභිත හිමියන් ඉතාමත් තදින් මේ ආකාරයට අවධාරණය කරන ලද්දේ උන්වහනේගේ හැත්තෑ වෙනි ජන්ම දිනය දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සව සභාවේදී ය. මාදුළුවාවේ සෝභිත හිමියන් පක්ෂ දේශපාලනයෙහි නිරත වූ අයෙක් නොවේ. උන්වහන්සේ පක්ෂ දේශපාලනයට සම්බන්ධ නොවූවා පමණක් නොව භික්ෂුව බල දේශපාලනයට යොමුවීම කිසිවිටක අනුමත නොකළ අයෙකි. ‘වාදීභසිංහයාණෝ’ කෘතියෙහි ද ඒ බව උන්වහන්සේ මැනැවින් ප්‍රකාශ කර තිබේ. “මටත් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග වදින්න ඇරයුම් ලැබුණා. ඒත් මම ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි භික්ෂූන් වහන්සේ පක්ෂ දේශපාලනයට නොයා යුතුයි කියන එක. අපට ඊට වඩා පුළුල් දේශපාලනයක් තියෙනවා. ඒ තමයි වල්පොළ රාහුල හාමුදුරුවෝ තමන්ගෙ භික්ෂුවකගෙ උරුමය කියන පොතින් පෙන්නපු, යක්කඩුවෙ හාමුදුරුවො විද්‍යාලංකාර ප්‍රකාශයෙන් පෙන්වා දීපු දේශපාලනය. අපේ දේශපාලනය තමයි පරාර්ථ චර්යාව.

පරාර්ථ චර්යාව ඒකායන ලෙසම ඉලක්ක කරගත් උන්වහන්සේගේ සමාජ මැදිහත්වීම පරාසයන් ගණනාවකට අයත් විය. එහි සමාරම්භක අවධිය උන්වහන්සේගේ විශ්වවිද්‍යාල ජීවිතය තුළින් හඳුනාගත හැකිය. එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙහි මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස උන්වහන්සේ පත්ව ඇත්තේ 1965 වසරේදීය. විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසු පරිවෙනාචාර්යවරයෙකු හා අනතුරුව පරිවෙනාධිපතිවරයෙකු ලෙස කටයුතු කරන සමයේ සිටම මේ රටේ ප්‍රමුඛ ජාතික ප්‍රශ්න පිළිබඳව උන්වහන්සේ බලවත් අවධානයක් යොමු කර තිබේ.

ලංකේය තරුණ පරපුර මත්ද්‍රව්‍ය වසංගතයෙන් මුදාගැනීම අරමුණු කරගනිමින් උන්වහන්සේ ආරම්භ කළ අමද්‍යප තරුණ සංවිධානය වසර හතළිස් ගණනාවකට පසු අදටත් සක්‍රීය සංවිධානයකි. අප රට ත්‍රස්තවාදයේ ගොදුරක්ව පැවැති සමයේ රටත් ජනතාවත් ඉන් මුදා ගැනීමට ආරම්භ කළ ජාතික වීර පදනම, මව්බිම සුරැකීමේ ව්‍යාපාරය මගින් කළ මෙහෙය කිසිවෙකුට හෝ අමතක කල නොහැක. එහිදී උන්වහන්සේ සෘජුවම අභීතව එරෙහි වූයේ රට බෙදා වෙන් කිරීමට ගනිමින් සිටි උත්සාහයට හා ඒ සඳහා යොදාගත් ම්ලේච්ඡ ත්‍රස්තවාදයට පමණකි. දශක කිහිපයක් තිස්සේ රටක් වශයෙන් අප මුහුණ දුන් යුද තත්ත්වය මේ රටේ රාජ්‍ය බලය අත්පත් කරගත් පිරිස නොවිසඳූ ගැටලුවක්, දරුණු පිළිකාවක් බවට පත්වීමේ අවාසනාවන්ත ප්‍රතිඵලයක් බව මැනැවින් අවබෝධ කරගෙන සිටි උන්වහන්සේ කිසිවිටක ජාතිවාදය මුල් කරගෙන ඊට විසඳුම් නොපැතීය. එමෙන්ම යුද්ධය අවසන් වීමෙන් පසු ජාතික ප්‍රශ්නයද ඇතුළු රටේ මූලික ගැටලු සඳහා විසඳුම් ලබාගැනීමට සිදු කළ යුතුව තිබූ ප්‍රතිසංස්කරණ මගහැර එම අවස්ථාව තනි පවුල් පාලනයක් ස්ථාපිත කිරීමට ගනිමින් සිටි උත්සාහයට එරෙහි වෙමින් එමගින් ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව ද නිවැරැදිව රටට අනතුරු හැගවීය.

ඒ සමගම උන්වහන්සේ එහිදී තමන් වෙතින් ඉටුකළ යුතු යුතුකම හොඳින් අවබෝධ කරගනිමින් ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සංහිඳියාව උදෙසා තමන් වහන්සේට කළ හැකි උපරිමය කරන්නට පසුබට නොවීය. සියලු ජාතීන් හා ආගමික ප්‍රජාවන් එක්ව කටයුතු නොකරන රටකට යහපත් අනාගතයක් නොමැති බව පෙන්වා දෙමින් ඒ සඳහා පළල් සංවාදයකට මුල පිරූ ආගමික නායකයෙකු ලෙස උන්වහන්සේ අදටත් බුහුමන් ලබන්නේ ඒ නිසාය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් උන්වහන්සේ අපේක්ෂා කරන ලද්දේ ද මනුෂ්‍යත්වය ආරක්ෂා වන ශීලාචාර රටක් ලෙස ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමෙහි ඇති අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කිරීමට ය. පොදු ජනතාවට යුක්තිය ඉටු වන පරිසරයක් නිර්මාණය කරගැනීම ඒ මගින් අපේක්ෂිත ප්‍රධාන ඉලක්කය විය. සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් අරමුණු කර ගනිමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉදිරිපත් කළ දස වැදෑරුම් යෝජනාවලිය අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ දර්ශනයේ කැඩපත ලෙස සැලකිය.

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය, නීතියේ ආධිපත්‍යය, ජාතික හා ආගමික සංහිඳියාව, දේශීය ආර්ථිකය ශක්තිමත් වීම, අධ්‍යාපනය සෞඛ්‍යය ඇතුළු යටිතල පහසුකම් වර්ධනය කිරීම, මානව අයිතිවාසිකම් සහ නිදහස සහතික කිරීම, කාන්තාවන්ගේ හා දරුවන්ගේ ආරක්ෂාව, පරිසරය සුරැකීම වැනි මූලික ඉලක්කයන් එහි අන්තර්ගත විය. මෙම දස වැදෑරුම් යෝජනාවන් තුළ ජන විඤාණය අවදි කිරීමට යොදාගත යුතු ගැඹුරු දැක්මක් විදහා දැක්වේ. අනාගතයේ යම් හෝ දිනයක කවුරුන් විසින් හෝ මේ රට යහපත් ආකාරයට පරිවර්තනය කරනු ඇත්ද? එය සිදුවනු ඇත්තේ සෝභිත හිමියන් අපේක්ෂා කරන ලද ඉහත දස වැදෑරුම් යෝජනා මේ බිමෙහි යථාර්ථයක් බවට පත්වූ දිනකදීය.

කරු ජයසූරිය
සභාපති, සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය

advertistmentadvertistment
advertistmentadvertistment