සෝමහිමි මතකය යළි අවදිකිරීම!

119

ජීවිතයේ අවසානය කොතැනක කෙසේ සිදුවේදැයි කාහට කිව හැකිද? සසර මිදීම ගැන සිතා අප‍්‍රමාදීව කටයුතු කරන මෙන් සැම දෙනාගෙන් ඉල්ලා සිටිමි” යනුවෙන් සටහන් කර තිබුණේ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් 2003 ඔක්තෝබර් 20 වැනිදා රුසියාවේ සිට එවන ලද අවසන් ලිපියේය. මෙම ලිපිය සමඟ උන්වහන්සේගේ අන්තිම කැමති පත‍්‍රයක් වූ අතර එය 2004 වර්ෂයේදී විදේශ අමාත්‍යාංශය හරහා මහරගම ධර්මායතනයට ලැබී තිබිණි. 2003 ඔක්තෝබර් 11 රුසියාව බලා ගිය සෝම හිමියන් දෙසැම්බර් 12 වැනිදා වැනිදා ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී හදිසියේ මරණයට පත්වීම මෙරට සිංහල බෞද්ධයන්ට ඇදහිය නොහැකි විපතක් විය. හරියටම මීට වසර 18 කට පෙර අද වැනි දිනයකදී සෝම හිමියන් අප අතරින් වෙන්වූයේ උන්වහන්සේගේ අපවත් වීම සම්බන්ධව විශාල සැකයක්ද රඳවා තබමිනි. 2003 සැප්තැම්බර් 14 වැනිදා මහනුවර මහ මළුවේදී පැවැත්වූ බොදු සමුළුවක ප‍්‍රධාන දේශනය පවත්වමින් රහස් ලේඛනයක් ඉදිරිපත් කළ සෝම හිමියෝ ප‍්‍රකාශ කළේ තමන් ඝාතනය කරන්නට ක‍්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධානයක් මුදල් යොදවා ඇති බවයි. උන්වහන්සේ සහභාගි වූ අවසාන රැස්වීම එය විය. වර්තමාන සිංහල බෞද්ධ පුනරුදයේ මූලිකයා වූ සෝම හිමියන් මෙරට දෑහිතකාමී ජනතාවට ලෙහෙසියෙන් අමතක කළ නොහැකිය. වසර 18ක් නොව වසර 180 ගෙවුනද සෝම හිමි මතකය යළි අවදි කළ යුතුය. එසේ නොකරන්නේනම් අප ගුණමකු ජාතියක් වේ.

සුපින්වත් මිනිසුනි, යමෙක් ඔබට හොඳ මිනිහෙක් යැයි කියන්නේ නම් එසේ කියන්නේ ඔබ හිස කඳ කෙලින් තබාගෙන ඇවිදින්නකු නිසා නම් නොවේ. යහපත අයහපත වෙන්ව තෝරාගෙන අයහපතින් වැළකී යහපතෙහි යෙදීමට තරම් සුදුසු වූ මානසිකත්වයක් ඔබට ඇති බැවිනි. උසස් කළ හැකි මනසක් ඇති බැවින් ”මනස්ස උස්සන්තතා” යනුවෙන් අර්ථ විග‍්‍රහය දක්වා ඇත. මිනිසාට ආගම අවශ්‍ය වන්නේද ඔහු අයහපතින් වළකා යහපතෙහි යොදවා උසස් මානසිකත්වයක් ඇති මිනිසකු කිරීමට මිස සිතීමේ නිදහස වළකා මන්දබුද්ධිකයකු කිරීමට නොවේ.

ඉහතින් දැක්වූ සටහන රචනාකර ඇත්තේ අති පූජනීය ගංගොඩවිල සෝම හිමියන් විසිනි. උන්වහන්සේ සෑම විටම කටයුතු කළේ බෞද්ධයන්ගේ දහම් පවස නිවා සමාජ සුචරිතය ඇතිකිරීමටය. සදාචාරවත් දැහැමි සමාජයක් සඳහා නැවත නැවතත් සෝම හිමි මග ගත යුතුය. 2003 දෙසැම්බර් මාසයේදී අප දුටුවේ බෞද්ධ විප්ලවයකි. ජීවත්ව සිටි සෝම හිමියන්ට වඩා අපවත් වූ සෝම හිමි ප‍්‍රබල විය. සිදුවෙමින් පවතින ශාසනික සහ ජාතික විපත පිළිබඳව උන්වහන්සේ වඩා හොඳින් බෞද්ධයා දැනුවත් කළ නිසාම වෙනදා පැයක් බණ ඇසීමට නොඑන තරුණයෝ සෝම හිමියන්ගේ පැය තුනේ බණ අසන්නට පොරකමින් පැමිණියහ. ඉවැන්ජලිකල් ආක‍්‍රමණය ගැන මෑත කාලීනව ඉතා විශිෂ්ට අන්දමින් හෙළිකරනු ලැබුවේ සෝම හිමියන් විසිනි. එනිසාම මේ අදිසි නිහඬ ආක‍්‍රමණය ගැන බෞද්ධයෝ වඩා හොඳින් දැනුවත්ව සිටියහ. ඉවැන්ජලිකල් ආක‍්‍රමණය කෙසේ වෙතත් වර්තමානයේ සඳාහිරු සෑය ජාතියට දායාද කරන විට එය යුද ස්මාරකයක් ලෙසට දේශපාලන කෝණයෙන් බලා විවේචනය කරන මාහාචාර්ය හිමිවරුන් හා බෞද්ධයන් බිහිව ඇති සමයකි මෙය. ඔවුනගේ තර්කයට අනුව නම් රුවන්වැලිසෑයත් යුද ස්මාරකයකි. එසේම සමාජ මාධ්‍ය හරහා වැඩියෙන්ම බෞද්ධ භික්ෂූන් විවේචනය වන යුගයක් බිහිව ඇත.

ගංගොඩවිල සෝම හිමියන් කහ විප්ලවයට මූලික අඩිතාලම දැමූ ආකාරය යළි සිහිකළ යුතුය. දිනය 2001 දෙසැම්බර් 25 වැනිදාය. මහරගම සිරි වජිරඥන ධර්මායතනය මහජන ගඟකින් පිරී පැවතියේය. ධර්මායතනයේ තරුණ ශීල සමාදානය පමණක් නොව මුළු විහාර භූමියම සුදුවතින් සැරසුණු සිංහල බෞද්ධයන්ගෙන් පිරී පැවතියේ ගංගොඩවිල සෝම හිමියන් විසින් ආරම්භ කිරීමට යෙදුණු ”ජනවිජය” සංවිධානයේ පළමු රැස්?වීමට සහභාගි වීමේ අටියෙනි. සිංහලකම බෞද්ධකම නොසලකා හැර තිබූ යුගයක එය නැවත ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට සෝම හිමියන්ට හැකිවිය.

බුදු දහමේ අත්තිවාරම පරාර්ථ සේවයයි. දීපංකර මූලයේදී සුමේධ තාපසතුමාට නිවන් සැප ලබා ගැනීමට හැකියාව තිබුණද ලෝකයාගේ හිත සුව වෙනුවෙන් සේවය කිරීම සඳහා අධිෂ්ඨාන කර මතු බුදු බව පැතූහ. සෑම බෞද්ධයකුටම තමන්ගේ නිවන් සැපය අනුන් වෙනුවෙන් අත්හැරීමට ශක්තිය තිබිය යුතු බව මහාචාර්ය වල්පොල රාහුල හිමියන් විසින් රචිත භික්ෂුවගේ උරුමය ග‍්‍රන්ථයේ සඳහන් වේ. 1974 සැප්තැම්බර් මස 24 වැනිදා ප‍්‍රවෘජ්‍යා භූමියට ඇතුළු වූදා සිට සෝම හිමියෝ කැපවූයේ පරාර්ථ සේවය සඳහාමය. මහඔය වේරගල ආරණ්‍යයේ වැඩ විසූ කාලයේ සිට බුද්ධ වචනය නිවැරැදිව උපුටා දක්වමින් බොදු ජනයා යහමගට ගැනීමට උන්වහන්සේට හැකිවිණි. රූපවාහිනිය හරහා සෝම හිමි නාමය දස දෙස පැතිරෙන්නට වූයේ කිසිවකු නොසිතූ ආකාරයටය. දීඝවාපිය මුස්ලිම් අන්තවාදයට නතුව තිබියදී සියලූ සිංහල බෞද්ධ නායකයන් ඒ ගැන මුනිවත රකිද්දී එවක පොදු පෙරමුණු රජයේ ප‍්‍රබලයකු වූ ඒ. එච්. එම්. අෂ්රොෆ් ඇමැති සමඟ ප‍්‍රසිද්ධ විවාදයකට එළඹියේද අප යතිවරයාණන් වහන්සේ පමණි. මේ ගැන අද බොහෝ දෙනකුට අමතකය. වර්තමානයේ දීඝවාපි සෑය වේගයෙන් ප‍්‍රතිසංස්කරණය වෙද්දී අපට සෝම හිමියන් එදා නැගු හඬ සිහියට නැෙ`ග්. සෝම හිමි විවාදාත්මක භික්ෂුවකැයි සමහර මාධ්‍ය ප‍්‍රකාශ කළේ මීට බොහෝ කලකට පෙරය. නමුත් උන්වහන්සේ ඉටුකළේ සිංහල භික්ෂුවට උරුම වූ ජාතික කාර්යභාරයයි. සිංහල භික්ෂූන් වහන්සේ වසර දෙදහස් පන්සියයක සිට ජාතියේත් බුද්ධ ශාසනයේත් දියුණුව පිණිස පුරෝගාමීව ක‍්‍රියාකරමින් භික්ෂු ජීවිතය ගතකළ බවත් රට වැසියාගේ දියුණුවට බාධාවන කරුණුවලට එරෙහිව ක‍්‍රියා කිරීමේ බලයක් සංඝයා සතු වූ බව 1946 නිකුත් වූ විද්‍යාලංකාර පිරිවෙන් ප‍්‍රකාශයේ සඳහන් වේ.

අනතිමානී ගුණයෙන් යුතු සෝම හිමියන් පිළිබඳ මේ සටහන නිමා කිරීමට උන්වහන්සේගේ ප‍්‍රකාශයක් මෙලෙස උපුටා දක්වමි.

ඔය ඇත්තෝ මට ගරු කරනවා නම් එය කළ හැක්කේ මම කියන දෙය අනුගමනය කර ඒ අනුව කටයුතු කරනවා නම් පමණයි. එහෙම නැතිව මා පසුපස යමින් මුහුණ පෙන්වනවා නොවෙයි. මම දේශනා කරන්නේ අමුතු බණක් නොවෙයි. මීට ශත වර්ෂ 25 කට පෙර බිහිවූ ලොව ශ්‍රේෂ්ඨතම ආගමික නායකයාණන් වූ ගෞතම බුදුන් වහන්සේ දේශනා කරන දහමයි. එම නිසා මම දෙවියෙක්වත් භූත ආත්මයක්වත් කියලා හිතන්න එපා. මා ගැන එහෙම හිතනවා නම් එය තමයි මට කරන ලොකුම අගෞරවය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment