සෝවියට් ජනරජයක්… සියවසක සටහන්

256
  • 43 වැනි කොටස

චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්‍ෂය) පිහිටුවලා 2021 ජූලි මාසයට අවුරුදු සීයක් සම්පූර්ණ වුණා. ගතවුණු අවුරුදු සීයක කාලය තුළ මේ දේශපාලන සංවිධානය විසින් කරපු කියපු දේවල්වලින් අපිටත් යමක් ඉගෙන ගන්න පුළුවන්. යෝධ චරිත, විශේෂිත සිදුවීම්, විවිධාකාර අත්හදා බැලීම්, වැරැදීම් සහ වැරැදි හදාගැනීම් කියන විදිහට ඒ හා සම්බන්ධ පාඩම් දේශපාලන ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. ඒ ඉතිහාසයේ සටහන් වී තිබෙන මූලික කරුණු කීපයක් මේ ලිපි පෙළින් ඉදිරිපත් කරනවා. මේ ලිපියෙන් කියන්නේ පක්‍ෂය විසින් මුලින්ම ජනරජයක් පිහිටු වූ ආකාරය ගැනයි.

මධ්‍යම සෝවියට් ප‍්‍රදේශය විනාශ කිරීමේ අදහසින් චියං කායි-ෂෙක් විසින් දියත් කරපු තුන්වැනි වැටලීමත් 1931 සැප්තැම්බර් 15 වැනිදා වෙද්දි පරද්දන්න මා ඕ ත්ස-තුං ප‍්‍රමුඛ රතු හමුදාවට පුළුවන් වුණා. රතු හමුදාවේ මේ ජයග‍්‍රහණයට මග පෑදුවේ මා ඕ ත්ස-තුං විසින් හඳුන්වාදීපු උපක‍්‍රමත් ඔහුගේ නායකත්වයත් කියලා හැම දෙනෙක්ම තේරුම් ගත්තා.

ඒත් මේ වෙද්දි මධ්‍යම සෝවියට් ප‍්‍රදේශය තුළ ආගන්තුක පිරිසක් ඉස්සරහට ආවා. මේ අතර හිටිය බහුතරයක් ”බෝල්ෂෙවික්වරු විසි අටදෙනා සහ භාගයට’’ අයත් අය. කූ ෂුන්-චං කරපු මහා පාවාදීමෙන් පස්සේ පක්‍ෂයේ නායකයන්ට තවදුරටත් ෂං-හයි නගරයේ හැංගිලා වැඩකරන්න අමාරුවුණා. ඉතින් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට සම්බන්ධ පිරිස් සහ මධ්‍යම කාරක සභාව විසින් පත්කරපු විශේෂ නියෝජිතයෝ විශාල වශයෙන් මධ්‍යම සෝවියට් ප‍්‍රදේශයට එන්න පටන්ගත්තා. මේ පිරිසගෙන් තමයි ඒ ආගන්තුක බලය සමන්විත වුණේ.

ඒ, ඉතාමත් හොඳින් මාක්ස්වාදී පොත් පාඩම් කරපු පිරිසක්. සෝවියට් දේශයේ කාලයක් රැඳිලා හිටිය හින්දා කොමියුනිස්ට් ජාත්‍යන්තරය එක්ක ඉතාමත් ළඟ සම්බන්ධයකුත් ඒ අයට තිබුණා. ජෝෂප් ස්ටාලින් ප‍්‍රමුඛ සෝවියට් නායකත්වයේ අනුග‍්‍රහයත් ඒ අයට ලැබුණා. ඒ වෙද්දිත් මා ඕ ත්ස-තුං පරිහරණය කරලා තිබුණේ මාක්ස්වාදී පොත්පත් කීපයක් විතරයි. ඊට අමතරව, ඔහු තමන්ගේම අදහස් සහ න්‍යාය ගොඩනඟමින් හිටියා. මේ අදහස් මාක්ස්වාදී පොත්වලින් තහවුරු කරන්න බෑ. ඉතින් මේ කාරණය මුල් කරගෙන මා ඕ ත්ස-තුං සහ පොතේගුරුවාදීන් අතර ගැටුම් ඇතිවෙන්න පටන්ගත්තා. අවුරුද්දකට විතර කලින් (1930 මැයි මාසයේ දී), මා ඕ ත්ස-තුං විසින් ලියපු ”පොතේගුරුවාදයට එරෙහිව’’ ලේඛනයෙනුත් (මේ ලිපි මාලාවේ 38 වැනි කොටස බලන්න). ප‍්‍රකාශ කෙරුණේ මේ ගැටුමේ එක අවස්ථාවක්.

සෝවියට් ජනරජයක්... සියවසක සටහන්
ජනරජයේ මුදල් නෝට්ටුවක්

තුන්වැනි වැටලීම අවසන් වෙද්දිම වගේ ජපන් හමුදා ආක‍්‍රමණයේ මුල් අදියර දියත්වෙච්ච හින්දා ඉතා ඉක්මනින්ම තමන්ට විරුද්ධය තවත් වටලෑමක් ක‍්‍රියාත්මක කරන්න අමාරු බව මධ්‍යම සෝවියට් ප‍්‍රදේශයේ හිටිය හැම කෙනෙක්ටම තේරුණා. ඉතින් මේ ලැබිච්ච අවසරයෙන් ප‍්‍රයෝජන ඇරගෙන තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න පොතේගුරුවාදී කණ්ඩායම තීරණය කළා. ඒත් මා ඕ ත්ස-තුංට තිබුණු විශාල පිළිගැනීම හින්දා ඔහුත් එක්ක කෙළින්ම ගැටීමේ අමාරුව ඒ පිරිස තේරුම් ඇරගෙනයි හිටියේ. ඉතින් සෝවියට් ජනරජයක් පිහිටුවීමේ යෝජනාව මාර්ගයෙන් මා ඕ ත්ස-තුං අක‍්‍රීයකරන්න පුළුවන් ක‍්‍රමයක් ඒ අය හඳුනාගත්තා.

රට පුරා තියෙන සියලූම සෝවියට් ප‍්‍රදේශවලට නායකත්වය දෙන ජනරජයක් පිහිටුවන්න ඕන කියන යෝජනාව ඉදිරිපත් කළේ කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින්. ඒ වෙද්දි කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ චීන අංශය භාරව හිටියේ වං මිං. ඔහු තමයි පොතේගුරුවාදී කණ්ඩායමේ නායකයා. ඒ වගේම, පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ නායකත්වයත් ඔහු හිමිකරගෙන හිටියා. 1931 සැප්තැම්බර් මාසයේ දී ඔහු ආපහු සෝවියට් දේශයට ගියේ ඒ තනතුරුවල වැඩබැලීමේ වගකීම පෝ කු කියන 24 හැවිරිදි තරුණයාට පවරලා. බොල්ෂෙවික් කණ්ඩායම ඇතුළේ ඊට වඩා මෝරපු අය හිටියත් වං මිංගේ විශ්වාසය දිනාගෙන හිටියේ පෝ කු විතරයි. පෝ කු තුළ වං මිං කෙරෙහි තිබුණු සැළකිල්ලත් කිසිම හේතුවක් නිසාවත් කොමියුනිස්ට් ජාත්‍යන්තරය ප‍්‍රශ්න නොකිරීමේ ස්ථාවරයත් හින්දා ඔහුට මේ තනතුරු පැවැරීම තේරුම්ගන්න පුළුවන්.

කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ උපදෙස් සහ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ නිර්දේශ අනුව 1931 නොවැම්බර් 7 වැනිදා චීන සෝවියට් ජනරජය පිහිටුවනු ලැබුවා. මේ ජනරජයේ නායක තනතුරත් අගමැති තනතුරත් මා ඕ ත්ස-තුංට හිමිවුණා. ජනරජයේ අගනුවර විදිහට තෝරගත්තේ රුයි-චිං නගරය. හමුදා නායකත්වය චූ ත සෙනෙවියාට පැවරුවා. ජනරජය වෙනුවෙන් ජාතික බැංකුවකුත් පිහිටුවනු ලැබුවා. 1932 පෙබරවාරි 1 වැනි දා පිහිටුවපු මේ බැංකුවේ අධිපති තනතුර පැවරුවේ මා ඕ ත්ස-මින්ට.

මා ඕ ත්ස-මින් කියන්නේ මා ඕ ත්ස-තුංගේ ලොකු මල්ලි. ඔහු කුඩා කාලයේ ඉඳලාම මුදල් සහ ගිණුම් කටයුතු පිළිබඳ පරිචයක් ඇති කරගෙන තිබුණු කෙනෙක්. 1922 සැප්තැම්බර් 14 වැනි දා ආරම්භ කරපු අන්-යුවන් පතල් සහ දුම්රිය මාර්ග කම්කරු වැඩවර්ජනය (මේ ලිපි මාලාවේ 10 සහ 11 කොටස්වලින් ඒ ගැන කියලා තියෙනවා) අවස්ථාවේත් එයින් පසුවත් ඒ ප‍්‍රදේශයේ ආර්ථික සහ වෙළෙඳ කටයුතු මෙහෙයවන්නත් මා ඕ ත්ස-මින්ගේ නායකත්වය ලැබුණා. එයින් පස්සේ ෂං-හයි නගරයේ දී පක්‍ෂයට සම්බන්ධ ආර්ථික කටයුතු විශාල ප‍්‍රමාණයක් රහසිගතව මෙහෙයවන්නත් ඔහුගේ දායකත්වය ලැබුණා. ඉතින් ජනරජයේ මහ බැංකුවේ ප‍්‍රධානියා විදිහට පත්වෙන්න ඔහුට පුළුවන් වුණේ මේ අත්දැකීම් සහ ඒ අනුව දිනාගත්ත විශ්වාසය පදනම් කරගෙනයි.

ජනරජයේ ජාතික බැංකුව විසින් මුදල් නෝට්ටු සහ කාසි නිකුත් කළා. මුදල් නෝට්ටුවල ඇඳලා තිබුණේ ලෙනින්ගේ රූපයක්. මුලින් ම තඹ කාසි නිකුත් කළත් ඒ සඳහා අවශ්‍ය තඹ හිඟවෙච්ච හින්දා පස්සේ නිකුත් කළේ රිදී කාසි විශේෂයක්. රජයේ බැඳුම්කර, ණය, උකස් පහසුකම්, ඉතිරිකිරීම් පහසුකම් ඇතුළත් බැංකු සේවා විශාල ප‍්‍රමාණයක් මේ බැංකුවෙන් ලබාදුන්නා. කලින් කලට චීනයේ බොහෝ ප‍්‍රදේශ විවිධ හමුදා ලොක්කන්ගේ පාලනයට යටත්වෙලා තිබුණත් මේ තරම් විධිමත් විදිහට ආර්ථික කටයුතු මෙහෙයවන්න පුළුවන්කමක් ඒ අයට තිබුණේ නෑ.

ජනරජයේ විවිධ වියදම් වෙනුවෙන් අවශ්‍ය මුදල් සොයාගැනීමට බදු අයකිරීමේ වැඩපිළිවෙළකුත් ක‍්‍රියාත්මක කෙරුණා. ඒ වෙනුවෙන් කැපවුණු බදු කාර්යාංශයක් පිහිටුවනු ලැබුවේ ජනරජය පිහිටුවපු මුල් දවස්වලමයි. ඊට අමතරව ජනරජය තුළ තැපැල් කටයුතු මෙහෙයවීමේ වැඩපිළිවෙලකුත් දියත් කෙරුණා. ඒ වෙනුවෙන් මුද්දර පවා හඳුන්වාදෙනු ලැබුවා. මේ හැම වැඩපිළිවෙළක් හරහාම ජනරජය වෙනුවෙන් ඉතාමත් විධිමත් රාජ්‍ය පාලන ක‍්‍රමයක් හඳුන්වාදීමට පක්‍ෂයට පුළුවන් වුණා.

රාජ්‍ය නායකත්වයත් අගමැති ධුරයත් ලබාදුන්නත් මා ඕ ත්ස-තුංට නිශ්චිත වගකීම් පැවැරුවේ නෑ. ජනරජයේ එදිනෙදා කටයුතු මෙහෙයවීම පවරලා තිබුණේ ශියං යිංට. ඔහු වං මිංට අවනත පුද්ගලයෙක්. (මේ ලිපි මාලාවේ 41 වැනි කොටසින් ඔහු ගැන කියලා තියෙනවා). විශේෂ නියෝජිතයෙක් විදිහට මධ්‍යම කාරක සභාව විසින් පත් කරලා තිබුණු හින්දා ශියං යිංට විශාල බලයක් තිබුණා. ඒ වෙද්දි මධ්‍යම සෝවියට් ප‍්‍රදේශයට (සෝවියට් ජනරජයට) ඇවිල්ලා හිටිය බොල්ෂෙවික්වරුන්ගේ සහායත් ඔහුට ලැබුණා. පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේත් කොමියුනිස්ට් ජාත්‍යන්තරයේත් වුවමනා එපාකම් අනුව සිද්දවෙන මේ දේවල් පිළිගන්නවා ඇරෙන්න වෙනත් කරන්න පුළුවන් දෙයක් චූ ත ඇතුළු පිරිසට තිබුණේ නෑ.

සෝවියට් ජනරජයක්... සියවසක සටහන්
චෝ අන්-ලයි

කූ ෂුන්-චං කරපු මහා පාවාදීම මුල් කරගෙන ෂං-හයි නගරයේ ඇතිවෙච්ච අනතුරුදායක තත්ත්වය හින්දා චෝ අන්-ලයි ඇතුළු හැම නායකයෙක්ම සෝවියට් ජනරජ ප‍්‍රදේශයට යා යුතු බව මධ්‍යම කාරක සභාව තීරණය කළා. මේ තීරණය අනුව චෝ අන්-ලයි ෂං-හයි නගරයෙන් සමුගත්තේ 1931 දෙසැම්බර් මාසයේ මුල දවසක. ඔහු වෙස්වලාගෙන හිටියේ ව්‍යාපාරිකයෙක් සහ චිත‍්‍ර ශිල්පියෙක් විදිහට. තරමක් දිග රැවුලකුත් ඔහු වවාගෙන හිටියා. මුලින් නැවකට නැගලා දකුණු චීනයේ ෂන්- ථෝ ප‍්‍රදේශයට ආපු ඔහු ඒ හරහා සෝවියට් ප‍්‍රදේශයට යන ගමන ආරම්භ කළා. 1931 දෙසැම්බර් 21 වැනි දා වෙද්දි ඔහු ෆු-චියැන් පළාතේ ඡං-ථිං ප‍්‍රදේශයට පැමිණියා. සෝවියට් ජනරජයේ ආර්ථික සහ මූල්‍ය මධ්‍යස්ථානය විදිහට සැළකුණෙත් මේ ඡං-ථිං ප‍්‍රදේශය.

ඡං-ථිං ප‍්‍රදේශයේ දවස් තුනක් ගතකරපු චෝ අන්-ලයි 1931 දෙසැම්බර් 25 වැනි දා රුයි-චින් නගරයට පැමිණියා. ඒ තමයි සෝවියට් ජනරජයේ අගනුවර. ඔහු ඒ නගරයේ දී මා ඕ ත්ස-තුං, චූ ත, ශියං යිං, රන් පී-ෂි, වං චියා-ශියං ඇතුළු නායකයෝ මුණගැහුණා.

චෝ අන්-ලයි කියන්නේ ඒ වෙද්දි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරපු ඉතාමත් ජ්‍යෙෂ්ඨ නායකයෙක්. කු ඕ-මින්-තං එක්ක එකතුවෙලා ”ජාතික – පොදු හවුල’’ පවත්වාගෙන යන කාලයේ දී පවා ඔහු ඉතා ඉහළ තනතුරු හෙබෙව්වා. හුවං-පු හමුදා පාසලේ දේශපාලන අංශ ප‍්‍රධානියා විදිහටත් ඔහු කටයුතු කළා.

”ජාතික – පොදු හවුල’’ බිඳවැටුණාට පස්සේ මෙහෙයවපු මුල් ම හමුදා
නැගිටීමට නායකත්වය දුන්නෙත් චෝ අන්-ලයි. (මේ ලිපි මාලාවේ 23 සහ 24 කොටස් බලන්න). චූ ත ඇතුළු සෙනෙවියෝ විශාල පිරිසක් ඔහු යටතේ ඒ නැගිටීමට සම්බන්ධ වුණා.

පළමු හමුදා නැ`ගිටීමෙන් පස්සේ දකුණේ ෂන්-ථෝ ප‍්‍රදේශයටත්, එතැනින් හොං-කොං නගරයටත් ගිය ඔහු 1927 නොවැම්බර් මාසය වෙද්දි ඉතාමත් රහසිගත විදිහට ෂං-හයි නගරයට පැමිණියා. (මේ ලිපි මාලාවේ 30 වැනි කොටසින් ඒ ගැන කියලා තියෙනවා). එයින් පස්සේ පක්‍ෂයේ මානව සම්පත් කටයුතු, බුද්ධි අංශය, නායකයන්ට ආරක්‍ෂාව සැළසීම ඇතුළු වැඩ විශාල ප‍්‍රමාණයක් ඔහුට පැවරුණා. ඒ වගේම, පක්‍ෂයට අනුබද්ධ සිවිල් සංවිධාන සෑහෙන ප‍්‍රමාණයක් හදන්නත් ඔහු මුල්වුණා. මේ ලිපි මාලාවේ 41 වැනි කොටසින් විස්තර කරපු වාමාංශික ලේඛක සංගමයත් ඒ විදිහේ සංවිධානයක්.

1927 දී පත්කෙරුණු පක්‍ෂයේ 5 වැනි මධ්‍යම කාරක සභාවටත්, 1928 දී පත්කෙරුණු 6 වැනි මධ්‍යම කාරක සභාවටත් චෝ අන්-ලයි තේරීපත්වුණා. හැමෝටම ඇහුම්කන්දෙන, ලොකු ඉවසීමක් තියෙන පුද්ගලයෙක් වීමත් දවල් රෑ නැතුව වැඩකරන කෙනෙක් වීමත් නිසා ඔහු පක්‍ෂයේ මෙහෙයුම් කටයුතුවලට නැතුවම බැරි නියමුවෙක් බවට පත්වෙලා හිටියා. පක්‍ෂයේ අභ්‍යන්තර ගැටුම් නිරාකරණය කරන්න මහන්සි වුණු ඔහු සෝවියට් දේශයේ සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ උපදෙස්වලටත් අවනත වුණා.

ශියං චුං-ෆා මරාදැමීමෙන් පස්සේ හිස්වුණු මහ ලේකම් තනතුරට පත්වීමට තරම් ජ්‍යෙෂ්ඨත්වයක් සහ සුදුසුකමක් චෝ අන්-ලයිට තිබුණා. ඒත් ඒ තනතුරට පත්කෙරුණේ ”බොල්ෂෙවික්වරු විසි අට දෙනා සහ භාගය’’ නියෝජනය කරපු වං මිං. ඒ තනතුර භාරගැනීමෙන් පස්සේ වං මිං ආපහු සෝවියට් දේශයට ගියේ පක්‍ෂය මෙහෙයවීමේ වගකීම පෝ කු කියන 24 හැවිරිදි තරුණයාට පවරලා. ඒ වෙනස ඉවසීමේ හැකියාවත් චෝ අන්-ලයිට තිබුණා. ඉහළම තනතුර පැබුණේ නැතත් ඒ වෙද්දි පක්‍ෂයේ හිටිය ඉතාමත් ජ්‍යෙෂ්ඨ නායකයෙක් බවට චෝ අන්-ලයි පත්වෙලා තිබුණා.

මේ වතාවේ චෝ අන්-ලයිට මා ඕ ත්ස-තුං මුණගැහුණේ අවුරුදු හතරකටත් වැඩි කාලයකට පස්සේ. මා ඕ ත්ස-තුං ගැන ඉතා හොඳ ඇගැයීමක් චෝ අන්-ලයිට තිබුණා. ඒ කොහොම වුණත් පක්‍ෂයේ පැවතුණු පිළිිවෙළ තුළ චෝ අන්-ලයි හිටියේ මා ඕ ත්ස-තුංට ඉහළින්. ඉතින් සෝවියට් ජනරජ ප‍්‍රදේශයට චෝ අන්-ලයි පැමිණීමත් සමඟම පළමුවැනි පෙරමුණු හමුදාවේ දේශපාලන නායකත්වය (ලේකම් තනතුර) මා ඕ ත්ස-තුංට අහිමිවුනා. චෝ අන්-ලයි ඒ තනතුර භාරගත්තා.

එදිනෙදා මෙහෙයුම් කටයුතු ශියං යින්ටත්, දේශපාලන නායකත්වය චෝ අන්-ලයිටත්, හමුදා නායකත්වය චූ ත සෙනෙවියාටත් හිමිවෙද්දි මා ඕ ත්ස-තුංගේ ජනරජ නායක තනතුරට හිමිවුණේ නාමික වටිනාකමක් විතරයි. 1932 ඔක්තෝබර් 3 වැනි දා ඉඳලා 8 වැනිදා වෙනකල් පැවැත්වුණු නිං-තු සම්මේලනයේ දී, මේ වෙනස්කම් නිල වශයෙන්ම තහවුරු කෙරුණා. ඒ සම්මේලනයේ මුලසුන දැරුවේත් චෝ අන්-ලයි විසින්.

මා ඕ ත්ස-තුං විසින් අනුගමනය කරපු ආරක්‍ෂාකාරී යුද ප‍්‍රතිපත්තිය වැරැදි බවත් රතු හමුදාව ආක‍්‍රමණකාරී පිළිවෙතකට මාරු වී සතුරාට පහරදීම ආරම්භ කළ යුතු බවත් ඒ සම්මේලනයේ දී යෝජනා කෙරුණා. රතු හමුදාවේ සහ සතුරාගේ තත්ත්වය සසඳමින් තමන්ගේ පිළිවෙතේ නිවැරැුදි බව තහවුරු කරන්න මා ඕ ත්ස-තුං උත්සාහ කළා. ඒත් සම්මේලනයට සහභාගි වෙච්ච බහුතරයක් කතා කළේ ඔහුට විරුද්ධව. හතුරා විසින් ක‍්‍රියාත්මක කරපු වටලෑම් තුනම පරද්දලා සෝවියට් ප‍්‍රදේශය ආරක්‍ෂා කරගන්න මා ඕ ත්ස-තුං දක්වපු දායකත්වය චෝ අන්-ලයි අගය කළා. ඒ නිසා ඔහු තවදුරටත් පළමු පෙරමුණු හමුදාවේ මෙහෙයවීම් කටයුතුවලට දායක කරගත යුතු බව චෝ අන්-ලයි කිව්වා. ඒත් ඒ යෝජනාවට එකඟවෙන්න ඔහුගේ විරුද්ධවාදියෝ කැමැති වුණේ නෑ.

මේ හින්දා අතරමැදි යෝජනාවක් ඉදිරිපත් කරන්න චෝ අන්-ලයිට සිද්දවුණා. මා ඕ ත්ස-තුං තවදුරටත් නිල වශයෙන් හමුදා මෙහෙයවීම් කාර්යයේ නිරතවිය යුතු බවත් ඒ දවස්වල අසනීපයෙන් සිටි නිසා ඔහු ලෙඩ නිවාඩු ලබාගෙන සටන් පෙරමුණින් ඉවත්විය යුතු බවත් ඒ යෝජනාවෙන් කියැවුණා. අවශ්‍යතාව අනුව මා ඕ ත්ස-තුං නැවතත් සටන් පෙරමුණට කැඳවීමේ ඉඩක් ඉතිරිවුණා. මේ විදිහට මා ඕ ත්ස-තුං සටන් පෙරමුණින් ඉවත් කරලා වං මිංගේ ආක‍්‍රමණකාරී යුද ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමේ යෝජනාව නිං-තු සම්මේලනයේ දී තහවුරු කෙරුණා. මේ විදිහට සටන් පෙරමුණින් ඉවත්වුණු සෝවියට් ජනරජයේ රාජ්‍ය නායකයා සියලූ නිල කටයුතුවලින් ඈත් කෙරුණු පුද්ගලයෙක් බවට පත්වුණා.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment