සෝවියට් දේශයේ නැඟීම මාහැඟි ග්‍රන්ථයක්

162

මාර්ටින් වික්‍රමසිංහ 46 වැනි සැමරුම නිමිත්තෙන් පැවැත්වෙන උළෙල අගෝස්තු 04 බ්‍රහස්පතින්දා (අද) පෙරවරු 9-00 කොළඹ 7 රුසියානු කේන්ද්‍රයේදී මුළුදෙයි මේ ලිපිය ඒ නිමිත්තෙනි-

සෝවියට් දේශයේ නැඟීම මාහැඟි ග්‍රන්ථයක්


ග්‍රන්ථයක් හඳුන්වන නාමය (Title) එහි අන්තර්ගතයේ පිළිබිඹුවක් නොවන බවට දිය හැකි හොඳම උදාහරණය මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් මීට හැට වසරකට පෙර ලියා පළ කරන ලද ‘සෝවියට් දේශයේ නැඟීම’ නම් වූ ග්‍රන්ථය යැයි කිය හැකි ය- ලෝකයේ මේ තාක් බිහි වූ සියලු මානව සංස්කෘතීන්ගේ උතුම් ආධ්‍යාත්ම ලක්ෂණ ඉස්මතු කොට පෙන්වා දෙන පිටු තුන්සිය හතකින් යුතු එම මාහැඟි ග්‍රන්ථය රචනා කිරීමේ දී ලොව ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ග්‍රන්ථ මෙන්ම මානව විද්‍යාත්මක දාර්ශනික ග්‍රන්ථ එකසිය පහළොවකට වැඩි සංඛ්‍යාවකගේ ආශ්‍රය ලබා තිබීමෙන් එහි ශාස්ත්‍රීය වටිනාකම කවරේද යනු වටහාගත හැකි ය- මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ලෝක දෘෂ්ටිය හඳුනාගත හැකි හොඳම නිබන්ධ ය ‘සෝවියට් දේශයේ නැඟීම’ යි- ග්‍රන්ථ නාමය අනුව එය දේශපාලනය නැතහොත් සෝවියට් දේශය ගැන ලියූවක් බව උපකල්පනය කිරීම නිසා එය බොහෝ පාඨකයන්ගේ අවධානයෙන් ගිලිහෙන්නට ඇතැයි සිතෙයි- එසේ වුවද එම ග්‍රන්ථය සාහිත්‍යමය වූත් සංස්කෘතිකමය වූත් මානව විද්‍යාත්මක වූත් අගයෙන් යුතු මාහැඟී ශාස්ත්‍රීය ග්‍රන්ථයක් වන අතර එය කියවීමෙන් උත්තර මානව සංස්කෘතියක හැඩරුව කවරේදැයි හඳුනාගත හැකි වනු ඇත-

 ලංකාවේ ජනයාත් රුසියන් ජනයාත් දේශ හා ජාති විසින් වෙනස් වුවත් අධ්‍යාත්ම වශයෙන් නෑ සබඳකමින් වෙළුණවුන් ලෙස වික්‍රමසිංහට හැඟුණේ ගැමි දරුවකු වශයෙන් තරුණ විය ගත කරද්දී බව මෙම කෘතියේත් වෙනත් ලේඛනවලත් ලියා තිබේ- ටෝල්ස්ටෝයිගේ හා වෙනත් රුසියානු ලේඛකයන්ගේ නවකථා කියවූ ඔහු තුළ රුසියන් ජනයා පිළිබඳ ඇති වූ ඇල්ම හා දයාව සිංහල ගැමියන් හා පීඩිත කම්කරුවන් නිසා ඇති වූ ඇල්මටත් දයාවටත් සමාන වූ බව පවසයි- ටෝල්ස්ටෝයි පිළිබඳව ලංකාවේ පුවත්පතකට හාපුරා කියා ලිපියක් ලියුවේ ද මාර්ටින් වික්‍රමසිංහ ය- ඒ 1918 දී සිළුමිණ පුවත් පතට ඔහු සැපයූ ලිපියයි-

 මනුෂ්‍ය වර්ගයා පිළිබඳව මාර්ටින් වික්‍රමසිංහයන් තුළ පැවති අප්‍රමාණ දයාව හා කරුණාව මෙම ග්‍රන්ථයෙහි මුල සිට අග දක්වා දිවයන්නේ කාන්දම් රේඛාපටක් පරිද්දෙනි- රටක් – දේශයක් ගැන වර්ණනා කිරීමකට වඩා උතුම් අරමුණක් ‘සෝවියට් දේශයේ නැඟීම’ පොත රචනා කිරීමේ දී වික්‍රමසිංහයන් තුළ පැවති බැව් එහි පෙරවදනේ සඳහන් වෙයි-

 ලක්වැසි ජනතාවල ඔවුන්ගේ සංස්කෘතිය හා පෙරදිග රටවල ජනකායන්ගේ සංස්කෘතීන් රුසියන් සංස්කෘතිය තුළ දක්නට ඇති අයුරු නිදසුන් මඟින් පැහැදිලි කෙරෙයි- අපරට ගැමි දරුවන් අතරින් පවා අතුරුදන් ඔන්චිල්ලාව මොස්කව් නුවර විනෝද උද්‍යානවලින් බැහැර නොකර තිබීමල අප රට දිළිඳු ගැමියකුගේ සොහොන සිහිපත් කරවන ටොල්ස්ටෝයි ගේ බතල පාත්තියක ස්වරූපගත් සොහොන ආදියෙන් පිළිබිඹු වන්නේ රුසියන් ජනකායගේ සරල අධ්‍යාත්මය බව මෙම ග්‍රන්ථයෙහි පෙන්වා දී තිබේ- රුසියන් කටුගෙයි නරවංශ විද්‍යා අංශයෙහි අධ්‍යක්‍ෂ ඒ- ඩී- අවධියෙෆ් විසින් රුසියන් බසින් ලියන ලද පොතක දැක්වෙන වෙස්මුහුණු රූප අරභයා වික්‍රමසිංහයන් කියූ කියුමකින් සෝවියට් කලාංග අපට කොතරම් සමීප වී දැයි වටහාගත හැකි ය-

 මැක්සිම් ගෝර්කිගේ චරිතයත් මාර්ටින් වික්‍රමසිංහ චරිතයත් කුඩා වියේ සිටම එක හා සමාන ගති ලක්ෂණ පිළිබිඹු කරන චරිත ද්වයක් බව මෙම ග්‍රන්ථයෙහි ගෝර්කි චරිතය පිළිබඳව දක්වා ඇති තොරතුරුවලින් අනාවරණය වෙයි- මාර්ටින් වික්‍රමසිංහ විධිමත් අධ්‍යාපනයක් ලැබුවේ තුන්වැනි පන්තිය දක්වා පමණක් වන අතර ගොර්කි උගතුන්ගේ පාසල් දෙවැනි පන්තිය දක්වා පමණි-

 තමා විසිවැනි වියේ සිටිය දී ටොලස්ටෝයිගේ සහ වෙනත් රුසියන් ලේඛකයන්ගේ කෘති ද ප්‍රංශ නවකථාද කියවීමෙන් සියක් අවුරුද්දක් ජීවත් වීමෙන් ලබන අත්දැකීමත් නුවණත් ලැබූ බව කියන වික්‍රමසිංහ ගිහි ජීවිතයත් මනුෂ්‍යාත්ම භාවයත් අරභයා ලත් ජීවිත පරිඥානයටත් මානව භක්තියටත් සමකළ හැකි අත්දැකීමක් ලැබුවේ ජාතක කථාවලින් බව පවසයි- ජාතක කථාවලට ඔහුගේ ඇල්ම වැඩි වූයේ ද රුසියන් නවකථා නිසා බව ‘සෝවියට් දේශයේ නැඟීම’ ග්‍රන්ථයෙහි ‘පැරණි සාහිත්‍යය හා රුසියාව’ යන හිසින් යුත් පරිච්ඡේදයෙහි දක්වා තිබේ-

 ලියෝ ටොලස්ටෝයි මියයන්ට මාස කිහිපයකට පෙර කුඩා දරුවන් උදෙසා ලියූ වස්තුව (Riches) නමැති නාටකය ගැන විවරණයක යෙදෙන වික්‍රමසිංහ පවසන්නේ එම නාටකයෙන් මතු කරන උපන්ගෙයි සමාජවාදියා බෞද්ධ දෘෂ්ටියට නෑකම් කියන බවයි- බුදු සමයෙන් ධ්වනිත වන සමාජවාදය දේශපාලන දහමක් කරන්නට වෑයම් කළ බෞද්ධ රජුත් අතර අග්‍රතමයා ධර්මාශෝක රජතුමා බව ඔහුගේ ගිරි ලිපි දෙකකින් නිදසුන් පාඨ දක්වමින් පැහැදිලි කරන වික්‍රමසිංහ අනතුරුව මෙසේ ද පවසයි:

 රුසියානු සංස්කෘතිය හා පෙරදිග සංස්කෘතිය අරභයා එඩ්වඩ් සැපීර් නම් ඇමෙරිකානු මානව විද්‍යාඥයා ලියූ ‘Culture Language Religion and Personality’ නමැති ග්‍රන්ථය පිළිබඳ ගැඹුරු විමර්ශනයක යෙදෙන වික්‍රමසිංහල රුසියන් සංස්කෘතියෙහි ඇතැයි පවසන අංග සමහරක්ල බුදු සමයත් හින්දු සමයත් විසින් හික්මවන ලද ඉන්දියාවේත් ලංකාවේත් සංස්කෘතීන් තුළ අන්තර්ගතව ඇති බැව් පෙන්වා දෙයි- බටහිර සංස්කෘතිය තර්කවාදය හා විද්‍යාව ගුරු කොට ගෙන දියුණු වුව ද පෙරදිග සංස්කෘතිය තර්කය නොව අන්තර්ඥානය ගුරුකොට ගෙන දියුණු වූ අයුරුල ඇමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ දර්ශනවාදය පිළිබඳ මහාචාර්ය ඇෆ්- එස්- සී- නොර්ත්රොප්ගේ මතද එළවමින් පෙන්වා දී තිබේ-

 පෙර’පර දෙදිග ආගම් හා සංස්කෘතිකාංග හදාරන්නකුට ‘සෝවියට් දේශයේ නැඟීම’ ග්‍රන්ථය සාරගර්භ මූලාශ්‍රයක් ලෙස හඳුන්වා දිය හැකිය-

 ● දයාපාල ජයනෙත්ති

advertistmentadvertistment
advertistmentadvertistment