ලංකාවේ රෝහල්වල බෙහෙත් ගැන ඉන්දියාව තීරණ ගන්නේ කොහොමද?
රාජ්‍ය ඖෂධ සංස්ථාව විනාශ කර ඖෂධ සැපයුම ඉන්දියානු සමාගමක් සතු කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.
එම පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.
ජනාධිපතිවරණ ප්‍රචාරක සංදර්ශනයකින් ජනතාවගේ ඇස් නිලංකාර කරලා ජනතාවගේ අයිතීන් එකින් එක ආණ්ඩුව විසින් උදුරා ගනිමින් සිටිනවා. මේ සඳහා ළඟම උදාහරණය වන්නේ ලංකාවේ රජයේ රෝහල්වල ඖෂධ සැපයුම ඉන්දියානු සමාගමකට පවරන්න ගත් කැබිනට් තීරණය.
මගේ ළඟ කැබිනට් පත්‍රිකා දෙකක් තියෙනවා. දෙකම ඉදිරිපත් කර තිබෙන්නේ වර්තමාන සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ. එකක් 2024 අගෝස්තු 13 වැනිදා. මේකේ තියෙන විදියට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 37ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව හදිසි මිලදී ගැනීම් ලෙස ඉන්දියානු සමාගමකින් මිලදී ගන්න යනවා. මීට පෙරත් සියලු වංචා දූෂණ සිදුවුණේ හදිසි මිලදී ගැනීම්වල නාමයෙන්. අද හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය හිරේ ඉන්නෙත් හදිසි මිලදී ගැනීම් කියලා කළ වංචනික වැඩවලට චෝදනා ලබලා.
සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ කියන්නේ ඖෂධ හිඟයක් තියෙනවා, ලන්සු තැබීමට සමාගම් ඉදිරිපත් වුණේ නෑ කියලා. සියවසක් පමණ කාලයක් තිස්සේ නොතිබුණු ප්‍රශ්නයක් එක පාරටම මේ අවුරුද්දේ ආවේ කොහොමද? කෙහෙළියත් ඒ දවස්වල අපි කළ චෝදනාවලට උත්තර විදියට ඔහොම කතා කිව්වා. අද අධිකරණයේ ඔප්පු වෙමින් තියෙනවා අපි කිව්ව කරුණු හරි කියලා. ලංකාවේ ප්‍රසම්පාදන නීතියට අනුව මිලදී ගැනීම්වල මූලධර්ම දෙකක් තියෙනවා. එකක් තරගකාරී මිල ගණන් කැඳවීම. අනෙක අවම මිල ඉදිරිපත් කරන්නාට ටෙන්ඩරය ලබාදීම. මේ මූලධර්ම දෙකම උල්ලංඝනය කරන්න යන්නේ.
දෙවන කැබිනට් පත්‍රිකාව වඩාත් භයානකයි. 2024 අගෝස්තු 15 ඉදිරිපත් වූ මෙම කැබිනට් පත්‍රිකාවට අනුව රජයේ රෝහල්වලට ඖෂධ සැපයීමේ වගකීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඉවත් කර ඉන්දියානු සමාගමකට ලබා දෙනවා. රජයේ රෝහල්වලට ඖෂධ වර්ග 862ක් අවශ්‍ය වෙනවා. ඒවායෙන් 214 ක් රෝගියාටම විශේෂ ඖෂධ, ප්‍රවර්ධන ඖෂධ ආදිය. ඒ හැරුණාම නිතර අවශ්‍ය ඖෂධ වර්ග 648 ක් තිබෙනවා. ඒවායෙන් වර්ග 14 ක් ජීවිතාරක්ෂක ඖෂධ. 474ක් අත්‍යවශ්‍ය ඖෂධ. 160ක් එතරම් අත්‍යවශ්‍ය නොවන නමුත් භාවිත වන ඖෂධ. මේවා දැනට රජයේ රෝහල්වලට සපයන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය. එයට ඖෂධ සැපයීම ප්‍රධාන වශයෙන්ම කරන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. දැනට රජයේ රෝහල්වල තිබෙන ඖෂධවලින් 90%ක්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් සපයන ඒවා.
මේ අලුත් තීරණයත් සමග රාජ්‍ය ඖෂධ සංස්ථාව ස්වභාවික මරණයකට ලක් කරන්න යන්නේ. අඩ සියවසකටත් අධික කාලයක් 1971 සැප්තැම්බරයේ සිට ඖෂධ සංස්ථාව මේ වගකීම ඉටු කළා නම් අනාගතයේදී ඒක කරන්න බැරි වෙන්න හේතුවක් නෑ. ඖෂධ සංස්ථාව පටන් ගත්තේ මහාචාර්ය සේනක බිබිලේ. ලංකාවේ ජනතාව ඖෂධ සමාගම් මාෆියාවෙන් බේරා ගැනීමට ඔහු කළ වැඩකොටස නිසා ඖෂධ මාෆියාව ඔහුව මරා දැමුවා. දැන් ඔහු නිර්මාණය කළ ඖෂධ සංස්ථාවත් මරා දමලා ලංකාවේ ජනතාව මාෆියාවකට ගොදුරු කරන්න යන්නේ.
ඉන්දියානු සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ ඖෂධ ප්‍රමිතියෙන් යුතුයි කියනවා නම් ඒක පිළිගනිමු කියලා රමේෂ් පතිරණ කියන්නේ. ලංකාවේ සෞඛ්‍ය ඇමැති ඉන්දියාවේ සෞඛ්‍ය ඇමැතිගේ ලේකම් හෝ කාර්යාල කාර්ය සහායක නෙවෙයිනේ. ලංකාවට ගෙන්වන ඖෂධවල ප්‍රමිතියට ලංකාවේ රජය වග කියන්න ඕන. අනෙක ප්‍රමිතිය පරීක්ෂා නොකර ඖෂධ ගෙන්වන්න අනෙක් රටවල සමාගම්වලටත් දෙනවාද? ඇයි ඉන්දියාවට විතරක් විශේෂයක්. අඩුම ගාණේ ලංකාවේ ඖෂධ නිෂ්පාදකයන්ටවත් එහෙම විශේෂයක් නෑනේ. ඒ වගේම ඉන්දියානු රජයේ ඖෂධ යෝජනා ක්‍රමය සහ මේ හිල් ලයිෆ්කෙයාර් සමාගම අතර සම්බන්ධය මොකක්ද? අන්තර්ජාලයට ගිහින් මේ සමාගම ගැන හෙව්වාම ඒක ඖෂධ නිෂ්පාදන සමාගමක් කියලාවත් නෑ. ඔසප් ආරක්ෂක උපකරණ සහ උපත්පාලන කොපු හදනවා කියලා විතරයි දන්නේ. මේක ලොකු ජාවාරමක් වෙන්න පුළුවන්. කෙහෙළිය හිරේ වැටුණු හියුමන් ඉමියුනොග්බියුලින් ප්‍රශ්නයේදී ඒ බෙහෙත ඉන්දියානු සමාගමකින් ගෙන්වනවා කියලා.
මේ කැබිනට් තීරණය නිසා රටේ මහජන සෞඛ්‍යය, ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව අවදානමට ලක් වෙනවා. රටේ දේශපාලන ස්වාධිපත්‍යයත් අනතුරේ වැටෙනවා. මේ වගේ ජනතා විරෝධී ක්‍රියාවන් අරගල බිමේදී පරාජය කරන්න ජනතාව පෙළ ගැසෙන්න ඕනෑ. මැතිවරණ සටන් බිමේදී සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණයට එරෙහිව, සේනක බිබිලේ ප්‍රතිපත්තිය මත සෞඛ්‍ය ප්‍රතිපත්තිය නිර්මාණය කරන්න එක් විය යුතුයි.