සෞඛ්‍ය වෘත්තීය සමිති ඉල්ලීම් ගැන කමිටුවෙන් අද තීරණයක්

48

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ ඉල්ලීම් සලකා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ මහතා ඊයේ (19 දා) පියවර ගත් අතර එම කමිටුව අද (20 දා) සවස 3.00 ට රැස්වී වෘත්තීය සමිති ඉල්ලීම් පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතය.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුලියල් 35,000 ක දීමනාව ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක සාමාජිකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවූ අතර ඔවුන්ගේ ඉල්ලම් ගැන සලකා බැලීමට සෞඛ්‍ය ඇමැතිවරයා හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්විණි.

මෙහිදී වෘත්තීය සමිති සන්ධානයේ ඉල්ලීම්වලට අදාළව යෝජනාවලියක් සකස්කර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන බවත් එය අධ්‍යයනයෙන් පසු ඊට උපරිම සාධාරණයක් ඉටුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවත් ඇමැතිවරයා කීය.

ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් සහ සෞඛ්‍ය ලේකම්වරයාගේ මූලිකත්වයෙන් මෙන්ම සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන්ගෙන්ද යුත් විශේෂ කමිටුවක් පත් කරන ලෙස සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් යෝජනා කර සිටි අතර ඊට එකඟතාව පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කඩිනමින් එම කමිටුව පිහිටුවා අද පස්වරු 3.00 ට කමිටුව රැස්වී ඉදිරි තීන්දු ගන්නා ලෙසයි.

වෘත්තීය සමිති නියෝජිතයන් කියා සිටියේ වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම වෘත්තීය සමිති ගැටලුව පිළිබඳව මැදිහත් පිළිවෙතක සිට කටයුතු කරන බවත්, එය ඉතා අගය කරන බවත්ය. සෑම වෘත්තියකටම වෘත්තීය අයිතිවාසිකම් ලබාගැනීමේ හිමිකමක් තිබෙන බවත්, වෘත්තීය අයිතිවාසිකම් ලබාගැනීමේදී අනෙකුත් වෘත්තීන්වල ගෞරවය අභිමානය රැකෙන පරිදි කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයන්ද අපහසුතාවයට පත්ව අති බවද ඒ නිසාවෙන් මෙම ඉල්ලීම්වල යම් සාධාරණත්වයක් තිබෙන බව ද පවසන ලදී.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, අතිරේක ලේකම්වරුන් වන ගීතාමනී කරුණාරත්න, වත්සලා ප්‍රියදර්ශනී, ප්‍රධාන මූල්‍ය නිලධාරී ජී. එස්. කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment