සෞඛ්‍ය බලධාරින්ට දේශපාලඥයෝ ගොරවති… එන්නත් ගෙනා හැටි ජනාධිපති විස්තර කරයි… මෛත‍්‍රී භාවනාව ගැන රණවීරගෙන් සජිත්ට පාඩමක්… විමලේගේ උපන්දිනයට නැගෙනහිර ගිය අමුත්තා

212

බුලිත ප‍්‍රදීප් කුමාර

සංචාරණ සීමා ලිහිල් කොට රට විවෘත කිරීම නිසා යළිත් සමාජය සාමාන්‍යකරණය වෙන්නට පටන් ගෙන තිබුණු සතියක් ලෙස පසුගිය සතිය හැඳින්විය හැකිය. රට සාමාන්‍යකරණය වීමත් සමගම අපේ දේශපාලන කරළිය ද සාමාන්‍යකරණය වෙන්නට පටන් ගත්තේය. පොදු ගමනාගමනය ඇතුළු අනෙකුත් සේවාවන් සක‍්‍රිය නොවූවත් අත්‍යාවශ්‍ය සේවාවන් හා සාමාන්‍ය වෙළෙඳාම හා වාණිජ කටයුතුවලට බාධාවක් නොවීය. රටේ ජනතාවගේ නොසන්සුන්කම ඒත් සමගම පහව යන ආකාරයක් දැකගත හැකි විය.

රජය මේ අතරතුර හැකි තරම් වේගයෙන් එන්නත්කරණය රට පුරා ප‍්‍රචලිත කිරීමට පියවර ගත්තේය. රජයෙහි ප‍්‍රතිපත්තිමය තීන්දුව වූයේ කොවිඞ් රෝගීන්ට ප‍්‍රතිකාර කරනවාට වඩා මෙන්ම නිරෝධායන කටයුතු තුළින් සමාජය පාලනය කරනවට වඩා සමාජය පුරා කොවිඞ් රෝගය පැතිරයෑම අවම කිරීමට ඉතා වේගයෙන් එන්නත්කරණය ප‍්‍රචලිත කිරීමයි. රජයේ ඒ සඳහා සෞඛ්‍ය අංශවල දැඩි අවධානය යොමු කරන්නට සෑම විටම උත්සාහ කළේය. සියලූ කටයුතු පාලනය කළේ කොවිඞ් මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය විසිනි.

පසුගිය සතියේ පැවති එම කාර්ය සාධක බළකායේ රැස්වීමේදී සෞඛ්‍ය අංශවලට දැඩි අපහසුතාවයකට ලක් වන්නට සිදු වූයේ මේ ඉලක්කය හරිහැටි ඉටු නොකළ යැයි කියමින් දේශපාලන අධිකාරිය ගෙන ආ බරපතළ විවේචනය නිසාය. පසුගිය 25 වැනි සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් පැවැති කොවිඞ් මර්දන කාර්ය සාධක බළකායේ රැස්වීමේදී මේ පිළිබඳව මුල්ම වෙඩි මුරය පත්තු කරන්නට වූයේ ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා විසිනි. ඒ සඳහා වෙනදා සහභාගී වන දේශපාලනඥයෝ සියලූම දෙනා පැමිණ සිටි අතර සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක අංශ, වෛද්‍යවරු හා නිලධාරීන් ද පැමිණ සිටියහ.

”මොනවද අලූත් නිව්ස්…” කියා අසමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කතාබහ ආරම්භ කළේය.

ආරම්භයේදී ම ප‍්‍රසන්න රණතුංග ලොකු ගෝරනාඩුවක් පටන් ගත්තේය. ඔහු කෙලින්ම සෞඛ්‍ය බලධාරීන්ට චෝදනා කරමින් කතා කළේ ඔවුන් එන්නත හරියාකාරව ජනතාව අතර බෙදා හරිමින් ඔවුන්ගේ වගකීම ඉටු කර නැතැයි කියා චෝදනා කරමිනි.

එන්නත් ගෙනා හැටි
ජනාධිපති විස්තර කරයි

”වයස අවුරුදු 60 ට වැඩි අයට ගහන්න කියලා තියෙන්නේ. එන්නත් ඇති තරම් ගෙනත් තියනවා. ඊයෙයි පෙරේදා යි දවස් දෙකටම මධ්‍යස්ථාන හතරක ගහලා තියෙන්නේ එන්නත් 3000 ගාණයි. මට නම් හිතෙන්නේ මේගොල්ලෝ මේක හිතාමතාම ප‍්‍රමාද කරනවා…”

සෞඛ්‍ය බලධාරින්ට දේශපාලඥයෝ ගොරවති... එන්නත් ගෙනා හැටි ජනාධිපති විස්තර කරයි... මෛත‍්‍රී භාවනාව ගැන රණවීරගෙන් සජිත්ට පාඩමක්... විමලේගේ උපන්දිනයට නැගෙනහිර ගිය අමුත්තා

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධනට ද මෙතැනදී උත්තරයක් නැති විය. ප‍්‍රසන්න කතා කළේ ඇඟලූම් කර්මාන්ත ශාලා වැනි, රටට විදේශ විනිමය උපයන ආයතනවලට එන්නත ලබා දෙන්නට රජය ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබියදීත් සෞඛ්‍ය අංශ තවමත් ඒ කාර්ය පරක්කු කරන්නේ ඇයිද යනුවෙන් ප‍්‍රශ්න කරමිනි.

”මුලින් ප‍්‍රශ්නය තිබුණේ එන්නත නැතිකම. දැං රටට ඇති තරම් එන්නත් ගෙනල්ලා ගොඩ ගහලා. ඒත් එන්නත ලබාදීම ගැන කවුරුවත් සතුටු වෙන්නේ නෑ. ඇයි මෙහෙම උනේ. මම රට රටවල් ගානේ, සංවිධාන ගානේ පුද්ගලිකව කතා කරල මැදිහත් වෙලා ලොකු පරිශ‍්‍රමයක් දරලායි මේවා ලංකාවට ගෙනාවේ” ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් ලොකු විස්තරයක් කළේය.

”රට සාමාන්‍යකරණයට පත් කරන්න නං අපි පුළුවන් තරම් වේගයෙන් ජනතාවට එන්නත ලබා දෙන්න ඕන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කීය.

මේ වෙලාවේ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන ඉදිරියේ දී රටට ලැබීමට නියමිත එන්නත් ගැන පැහැදිලි කිරීමක් ද කළේය.

”අපි මේ එන්නත් ගෙන ඒමේ ගනුදෙනුවලදී ඉතාමත්ම හොඳ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම නිසා ලෝක බැංකුව අපට හොඳ අවස්ථාවක් දුන්නා. අපි එන්නත් ලබා ගන්නවා. ඒ වෙනුවෙන් ලෝක බැංකුව තමයි ඖෂධ සමාගමවලට මුදල් ගෙවන්නේ. ලෝක බැංකුව ඒ පහසුකම සලසා දුන්න ආසියාවේ පළමු රට අපි…” ප‍්‍රසන්න ගුණසේන පැහැදිලි කිරීමක් කළේය.

”ඔව් එහෙම වුණ එක හොඳයි… එතකොට කොමිෂන් ගන්නවා හොරකම් කරනවා කිය කිය විපක්ෂයට ආණ්ඩුවට බැණ බැණ ඉන්න වෙන්නෙත් නෑ…” ඇමැතිවරයෙක් කීවේය.

”හැටෙන් ඉහළ අයට එන්නත දෙනකොට ඒ අයට අවශ්‍ය නම් ප‍්‍රවාහන පහසුකම් එහෙම ඔයාලා සපයන්න…” ජනාධිපති ඇමැතිවරු දෙස බලමින් එසේ කියන විට ඇමැතිවරු වික්ෂිප්ත වී මූණෙන් මූණ බලන්නට වූහ.

”ඔයගොල්ල අර ඡන්ද කාලෙට මනාප ගන්න මිනිස්සු අදින්නේ… අන්න ඒ විදිහට වාහනයක් දෙකක් දාලා නැති බැරි අහිංසක මිනිසුන්ට උදව් කළාට කමක් නෑ…” ජනාධිපතිවරයා සිනහවෙමින් කීවේය.

”එන්නත්කරණය ප‍්‍රමාදවීම වළකන්න අපටත් පුළුවන් මැදිහත් වෙන්න… අපිත් තෝරගත්ත හොස්පිටල් කිහිපයක එන්නත්කරණයට සෙන්ටර්ස් දාල දෙන්නම්…” දොස්තර පාදෙණිය කීවේය.

මේ වෙලාවේ රමේෂ් පතිරණ කතා කළේය. එන්නත්කරණය සඳහා තොරතුරු පද්ධති සකස් කරගැනීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන අකාර්යක්ෂමතාවය ඉහළ සෞඛ්‍ය බලධාරීන්ගේ දුර්වලකමක් බව පෙන්වා දෙමින් ඔහු කතා කළේය.

”මේ ඉස්සර අපිත් එක්ක සාමාන්‍ය මට්ටමින් හොඳින් කතා කර කර හිටපු අය. මේ සබ්ජෙක්ට් එකට ආවම මේ ගොල්ලන්ගෙ තියෙන ආඩම්බර. තොරතුරක් ඇහුවට දෙන්නෙ නෑ. කතා කරන්නෙත් ඕනවට එපාවට. කිසි ටීම් වර්ක් එකක් නෑ…”

සෞඛ්‍ය සේවයේ ඉහළ බලධාරීන් පවත්වාගෙන යන ඒකාධිකාරිය හා ආඩම්බරය දේශපාලනඥයන්ගේ විවේචනයට ලක් විය.

මෙහිදී නාමල් රාජපක්ෂ ඇඟලූම් කර්මාන්තශාලා එන්නත්කරණය කිරීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් ඉදිරිපත් කළේය.

”ඔබතුමා මැදිහත් වෙලා ඒවා හොයලා බලලා අඩුපාඩු තියෙනව නම් මෙතනට වාර්තා කරන්න…” ජනාධිපති නාමල් ඇමැතිවරයාට කීවේය.

රෝගීන් හා එන්නත්කරණය සම්බන්ධයෙන් තොරතුරු පද්ධතියක් සකස් නොකිරීම ගැන සෞඛ්‍ය බලධාරීන්ට මෙහිදී දෝෂාරෝපණ එල්ල විය.

”අපි හිතන් ඉන්නේ සෞඛ්‍ය සේවයේ තමයි රටේ බුද්ධිමත්ම මිනිස්සු ඉන්නේ කියලා… ඒගොල්ලන්ට බැරි වුණා නම් database එකක් හරියට පවත්වාගෙන යන්න. අපි කොහොමද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඬේටාබේස් එකක් බලාපොරොත්තු වෙන්නේ” ජනාධිපතිතුමා ඔහුට තියෙන තවත් ප‍්‍රශ්නයක් ගැන එසේ අදහසක් පළ කළේය.

ඒ අයුරින් අවසන් වූයේ තවත් දිගු සාකච්ඡා වටයකි.

පසුගිය සතිඅන්තයේ වටිනා තෑගි බෝග රැසක්ම රැගෙන ජනාධිපතිතුමා හමුවන්නට අමුත්තෙකු පැමිණ සිටියේය. අමුත්තා කැලණිය මානෙල්වත්ත විහාරවාසී බෝදාගම චන්දිම හිමිපාණෝ ය. උන්වහන්සේ රැගෙනවිත් තිබුණේ කොවිඞ් වසංගතයේ ප‍්‍රතිකාර කටයුතුවලට අවශ්‍ය ඉතාම වටිනා නවීන සෞඛ්‍ය ආධාර උපකරණ තොගයකි.

ජනාධිපතිතුමන් වෙත මෙම සෞඛ්‍යාධාර තොගය භාර දෙන අවස්ථාව වෙනුවෙන් පැවැති උත්සව අවස්ථාවට සහභාගී වන්නට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, රජයේ වෛද්‍ය නිලධාරි සංගමය වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, වෛද්‍ය නවින් ද සොයිසා ඇතුළු වෛද්‍යවරු පිරිසක් ද පැමිණ සිටියහ. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හා ජනාධිපති විශේෂ උපදේශක ලලිත් වීරතුංග මහතා ද පැමිණ සිටියහ.

”මේවා ඉතාමත්ම හොඳ වැඩ අපේ හාමුදුරුවනේ. ආණ්ඩුව කොවිඞ් මර්දනය වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් අරගෙන යන්නේ ගොඩාක් අඩුපාඩු දුෂ්කරතා තියාගෙන. සමහර අය දේශපාලන කෝණයෙන් බල බල ඒ අඩුපාඩු දුෂ්කරතා බරපතළ විවේචනවලට ලක් කරනවා මිස රුපියලකින්වත් උදව්වක් කරන්නේ නෑ. එහෙම වාතාවරණයක් යටතේ ඔබ වහන්සේලා මේ වගේ කැපවීම් කරන එක මහා විශාල පින්කමක්. ඒ වගේම සේවයක්.”

”මේවා අපි අරගෙන එන්නේ ඒ රටවල්වල ඉන්න පරිත්‍යාගශීලී හිතවතුන්ගෙන්. අපට මීටත් වඩා දේවල් ගේන්න පුළුවන්. ඒ උනාට ඒවා මේ රට ඇතුළට ගන්න ගියාම පුදුමාකාර දුෂ්කරතා ගොඩකට මුහුණ පාන්න වෙනවා”… චන්දිම හිමියෝ තමන් වහන්සේට ගුවන්තොටුපොළවලදී, වරායේදී මුහුණ පාන්නට වූ දුෂ්කරතා පිළිබඳව ජනාධිපතිවරයාට පැහැදිලි කිරීමක් කළහ.

”දැන් අපේ හාමුදුරුවනේ මොනවද මෙතන තියෙන නූතනම උපකරණ. අපි බලමුද මේවා ටිකක්…” එතන සිටි වෛද්‍යවරයෙක් තරම් දැනුමැති අයෙක් ඒ උපකරණ තොගය පෙන්වමින් එකින් එක ජනාධිපතිවරයාට විස්තර කළේය.

”මේ උපකරණය අපට ඉතාම පහසුවෙන් කෙනෙක්ගේ ඩයබටික්, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් වගේ දේවල් බලන්න පුළුවන් මැෂින් එකක්. ඒ විතරක් නෙවෙයි, කෙනෙක්ට අරගන්න පුළුවන් ඔක්සිජන් ප‍්‍රමාණය, එයාගෙ හදගැස්මේ තරම වගේ හුඟාක් වැදගත් දේවල් මනින්න පුළුවන් උපකරණයක්…” ඔහු ජනාධිපතිවරයාට එම උපකරණය දක්වමින් පැහැදිලි කළේය.

”මගෙත් බලන්න පුළුවන්ද…” ඔහු එම උපකරණයෙන් ජනාධිපතිවරයා පරීක්ෂා කරන්නට පටන් ගත්තේය. සුළු මොහොතකින්…

”සර්ගෙ නම් ඔක්කොම දේවල් හොඳයි… හද ගැස්මත් තරුණයෙක්ගේ වගේයි…” ජනාධිපතිතුමා ඔහුට ස්තුති කළේය.

”අපෙ හාමුදුරුවන්ටත් ගොඩක් පින්. ඔබ වහන්සේ කොවිඞ් අරමුදලට මීට කලිනුත් උපකාර කළා මට මතකයි.”

”මේ වගේ ආධාර පරිත්‍යාග ලැබුණාම ඒවා කරදරයකින් තොරව රටට ගේන්න පුළුවන් ක‍්‍රමවේදයක් හදලා දෙන්න ජනාධිපතිතුමා…” උන්වහන්සේ ඉල්ලීමක් කළේය. ජනාධිපතිතුමා ඒ මොහොතේම ලලිත් වීරතුංග මහතාට කතා කොට රේගුව හා අනෙකුත් අංශ දැනුවත් කර මෙබඳු කටයුතුවලදී වැඩ කළ යුතු ආකාරය ගැන ක‍්‍රමවේදයක් සකසන්නට උපදෙස් දුන්නේය.

මේ අවස්ථාවේදී වස විස නැති ගොවිතැන ගැන ද පොඩි සංවාදයක් ඇති විය. ආහාර සුරක්ෂිතතාවය හා වස විස නැති ගොවිතැන ගැන දොස්තර පාදෙනිය මෙහිදී පුංචි විග‍්‍රහයක් කළේය.

”ඔබතුමන්ලා මැදිහත් වෙලා මේවා ජනතාවට කියලා දෙන්න..”

”අපි මේ දවස්වල ඒවම තමයි කරන්නේ ජනාධිපතිතුමා…” පාදෙනිය කීවේය.

රසායනික පොහොර හා
විපක්ෂයේ දෙපැත්ත

පසුගිය සතියෙත් රට පුරාම විවිධ මට්ටමේ උද්ඝෝෂණ පැවැත්වුණේ මේ රටේ පවතින කොවිඞ් සංචරණ නීති රීති පවා උල්ලංඝනය කරමිනි. එක් පැත්තකින් රසායනික පොහොර නොමැති වීම සම්බන්ධයෙන් විරෝධය පාමින් ගොවියෝ උද්ඝෝෂණය කරන්නට වූ අතර අනිත් පැත්තෙන් දක්නට ලැබුණේ ඉන්ධන මිල වැඩි වීම සම්බන්ධයෙන් පවත්වන ලද උද්ඝෝෂණ රැල්ලකි. ඉන්ධන මිල සම්බන්ධයෙන් පැවති පැවැති උද්ඝෝෂණවලට නායකත්වය දී තිබුණේ සමගි ජන බලවේගය වන අතර රටේ ගොවි ජනතාව බහුලව සිටින උතුරුමැද හා නැගෙනහිර පළාත්වල පැවැති උද්ඝෝෂණවලට සෘජුවම ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය සපයන බව හඳුනාගත හැකි විය. ජවිපෙ ප‍්‍රබල ක‍්‍රියාකාරිකයකු වූ නාමල් කරුණාරත්න ඒ සෑම තැනකදීම රසායනික පොහොර වෙනුවෙන් ලොකු හඬක් නගමින් කැපී පෙනෙන්නට විය. කාලයක් තිස්සේ වකුගඩු රෝගවලින් දුක් විඳින රජරට ගොවි ජනතාවගේ දුක වෙනුවෙන් හද නැඟූ පිරිස්ම මේ වන විට රසායනික පොහොර භාවිතය සම්බන්ධයෙන් පෙනී සිටිමින් රජයට විරෝධය පාන්නට වීම තුළ ඔවුන්ගේ සටන්වල තිබෙන ප‍්‍රතිවිරෝධය ජනතාව හමුවේ ඉස්මතු වන්නට වූහ.

මේ අතර සමාජය තුළ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රතිවිරෝධතා ගැන ද කතිකාවක් තිබිණි.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය විසින් අමාත්‍ය උදය ගම්මන්පිල එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙන ආවේ අමාත්‍යවරයා වශයෙන් ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහි විරෝධය පෑමක් වශයෙනි. ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධව ආණ්ඩුව අභ්‍යන්තරයෙන් ද කණ්ඩායමක් විරෝධය පළ කර සිටියහ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත‍්‍රීවරු බහුතරයක් සිටියේ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ගම්මන්පිලට දැඩි ප‍්‍රතිරෝධයක් එල්ල කරමිනි. එම ප‍්‍රතිරෝධය මත ඔවුන් සමගි ජන බලවේගය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාවට පක්ෂ වෙයිද නැතිනම් විපක්ෂව ඡන්දය ලබාදෙයි ද යන කාරණාව පසුගිය සතියේ දේශපාලන කරළියේ කතාබහට ලක්විය.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවී කරන ලද සාකච්ඡාවක දී ඔවුන් දාහතර දෙනා එක්ව තීන්දුවක් ගත්තේ ආණ්ඩු පක්ෂයේ තම සහෝදර ඇමැතිවරයා මේ වෙලාවේ තනි නොකළ යුතු බවටය. එවන් පසුබිමක බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් දේශපාලන තීන්දු තීරණ ගන්නා පොහොට්ටුවේ තරුණ මන්ත‍්‍රීවරු කුමක් කරයිද?. ගම්මන්පිලට වෙයිද, නැත්තං ගම්මන්පිල බේරාගැනීමට කටයුතු කරයිද යන කාරණාව පසුගිය සතියේ දේශපාලන කරළියේ කතාබහට ලොකු මාතෘකාවක් විය.

තත්ත්වය මෙසේ තිබියදී බැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනය සම්බන්ධයෙන්ද දේශපාලන කරළියේ විවිධ මත පළ වූහ.

ඇතැම්හු පෙන්වා දුන්නේ බැසිල්ගේ නිරෝධායන කාලය සම්පූර්ණ වූ වහාම මහාචාර්ය රංජිත් බණ්ඩාර පාර්ලිමේන්තුවෙන් ඉවත් වී එම පුරප්පාඩුවට බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණෙනු ඇතැයි කියාය. එහෙත් ඔහු තවමත් ඒ සම්බන්ධයෙන් ඉහළ පෙළේ නායකයන් හා සාකච්ඡා කර සෘජු තීන්දුවක් ගෙන නැතැයි යන කතාව දේශපාලන ලෝකයේ ඉහළ පෙළේ සාකච්ඡාවන්ට මාතෘකාවක් විය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයා ලෙස පාර්ලිමේන්තු පැමිණි රනිල් වික‍්‍රමසිංහ පසුගිය ඉරිදා වජිර අභයවර්ධනගේ නිවසේ දී එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබුවේ ය. එම හමුවට පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන්, මහලේකම් රංගේබණ්ඩාර, සභාපති වජිර, උපනායක අකිල ඇතුළු රනිල් ගේ සමීපතමයන් පිරිසක් පැමිණ සිටියහ. මන්ත‍්‍රී ධුරය භාරගෙන ඉන් අනතුරුව පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර ඉදිරියට යෑම සම්බන්ධයෙන් මූලික කාරණා රැසක් මෙහි දී සාකච්ඡාවට ලක්විය.

”මන්ත‍්‍රී ධුරය ලබා ගත්තට පස්සේ අපේ පාක්ෂිකයෝ දැන් අපිත් එක්ක විශාල වශයෙන් සම්බන්ධ වෙනවා. අලූත් සාමාජිකයෝ ලෙස බැඳෙන්න තරුණයෝ ඉදිරිපත් වෙනවා. ඒත් එක්කම පහුගිය කාලේ අපෙන් අනිත් පැත්තට ගියපු පළාත් පාලන මන්ත‍්‍රීවරු විශාල පිරිසක් දැන් අපිත් එක්ක එන්න කතා කරනවා…” වජිර ලොකු පැහැදිලි කිරීමක් කළේය.

”මේ වෙලාවේ සජබය එක්ක ගිය පිරිස නම් අපිත් එක්ක එන්න හදන්නේ අපිට ආදරේට නෙවෙයි. ඒගොල්ලන්ගෙ මන්ත‍්‍රී ධුරය ආරක්ෂා කරගන්න. අපි ඒ කපටිකමට අහුවුණොත් මෙච්චර දවසක් අපිත් එක්ක හිටපු අපේ නියෝජිතයෝ කලකිරෙනවා. ඒක පරිස්සමින් කළ යුතු වැඩක්…” රංගෙබණ්ඩාර පැහැදිලි කළේය.

”ඒ උනාට ඔවුන්ටත් නිවැරදි වෙන්න අවස්ථාවක් දිය යුතුයි… ඒ වෙලාවේ ඔවුන් සජිත් එක්ක එකතු වුණේ ආණ්ඩුවක් හදන්න. සජිත් ඒ තරම් දක්ෂයෙක් නෙවෙයි කියලා ඔප්පු උනාට පස්සේ ඔවුන්ට එතන ඉඳලා වැඩක් නෑ. ඔවුන් අනාගතය ගැන හිතලා තීන්දු තීරණ ගන්න එකේ වරදක් නෑ. එහෙම අය ආවම අපේ පිලට තරුණයින්ගේ අවධානය යොමු වෙනවා වැඩියි…” පාලිත රංගේ බණ්ඩාරගේ අදහස එය විය.

රනිල් මැදිහත් වෙලා
සියරටත් පටන් අරන්

මේ අයුරින් කරුණු කාරණා දක්වමින් වාදය ඉදිරියට ඇදී යද්දී එයට රනිල් මැදිහත් වූයේ මෙසේය.

”ඉස්සෙල්ලා මෙච්චර දවසක් අපිත් එක්ක හිටපු අයට වගකීම් පවරන්න. ඊට පස්සේ අපි ළඟට එන්න ඉන්න අය ගැන තීන්දුවක් ගන්න. වැඩිපුරම අවධානය යොමු කරලා බලාගෙන ඉන්න කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්න අය ගැන…”

”ඒගොල්ලො කකුල් දෙක දෙපැත්තේ තියන් හිටියත් ප‍්‍රසිද්ධියේ පෙනී ඉන්න වෙන්නේ එජාපයේ මන්ත‍්‍රීවරුන් විදිහට. එහෙම ඉන්න බැරි අය ඉන්නවා නම් ඒ අය ගැනත් අපි වෙනම බලාගමු…” රංගේ බණ්ඩාර කිව්වේය.

කොහොම හරි ආණ්ඩු පක්ෂයට පස්සේ එක්සත් ජාතික පක්ෂයට තමයි පළාත් පාලන ආයතනවල වැඩිම පිරිසක් ඉන්නේ. දැනටමත් අපි ළඟ 1500 කට වැඩි පිරිසක් මන්ත‍්‍රීවරු ඉන්නවා. ගම් මට්ටමෙන් බැලූවම ඒක ඉතාම හොඳ සංඛ්‍යාවක්” රුවන් විජයවර්ධන පැහැදිලි කළේය.

කොහොමටත් ප‍්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභාවල ඉන්න අපේ මන්ත‍්‍රීවරුන්ගේ සහයෝගය අපි ගන්න ඕන… ඔවුන්ව ගම්වල ජනතාවගේ ප‍්‍රශ්න ගැන හොයලා බලන්න උනන්දු කරවන්න… නායකයා සන්දිත් සමරසිංහට උපදෙස් දුන්නේය.

පසුගිය සඳුදා රනිල් සිරිකොත පක්ෂ මූලස්ථානයට ගියේය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු තනතුරු අහිමි වූ පළාත් පාලන ආයතන නියෝජිතයන් 69 දෙනෙකු වෙනුවෙන් වෙනම ම පත්කළ මන්ත‍්‍රීවරුන්ට පත්වීම් ලිපි භාර දීමේ උත්සවය එදා එතනදි සිදුවිය. ඔවුන් අමතා රනිල් හොඳ කතාවක් කළේය.

”අපේ රටේ හුඟක් ප‍්‍රශ්නවලට මුල වෙලා තියෙන්නේ අපිට ජාතික ප‍්‍රතිපත්තියක් නැතිකම. එක එක ආණ්ඩුව ඇවිල්ලා එක එක බහුබූත කරල යනවා. ඊළඟ ආණ්ඩුව ඒක වෙනස් කරනවා. එහෙම ගිහිල්ලා කවදාකවත් රටක් හදන්න බෑ. රටක් හදනවා නම් මේ රටට නිවැරදි දුරදක්නා නුවණින් යුතු රටේ ආර්ථිකයට ඔරොත්තු දෙන ලෝකයේ නව ප‍්‍රවණතාවන් ඔස්සේ යන ”යකඩ ප‍්‍රතිපත්තියක්” අවශ්‍යයි. එහෙම එකක් ආවම තමයි ඒක ඊළඟට එන කාටවත් වෙනස් කරන්න බැරි.

ඉන්පසු නායකයාගේ අවධානය යොමු වූයේ කලක් තිස්සේ වසා තබා පැවැති පක්ෂයේ මධ්‍යම පුවත්පත වන ”සියරට” පුවත්පත නැවතත් පටන් ගැනීම ගැනය.

”දැන් අපි මේක අලූත් පේ‍්‍රක්ෂක පිරිසකට හුරු කරන්න ඊ පුවත්පතක් විදිහට පටන් ගන්න තීරණය කළා. අපි අද එහි පළමු පිටපත එළිදක්වනවා…”

රනිල් එසේ කියමින් පුවත්පත එළිදැක්වූ අතර එම පුවත්පත පළ කිරීමේ වගකීම භාරගෙන තිබුණේ සමන් රත්නප‍්‍රිය හා නදීරා මඩුගල්ල විසින් වීම විශේෂත්වයක් විය.

මෛත‍්‍රී භාවනාව ගැන
රණවීරගෙන් සජිත්ට පාඩමක්

පසුගිය සතියේ කොවිඞ් එන්නත් කිරීමේ වැඩසටහනක් නිරීක්ෂණය කරන්නට ගිය ප‍්‍රසන්න රණවීර රාජ්‍ය ඇමැතිවරයා එහි සිටි තම ඡන්ද දායකයෙක් ප‍්‍රසිද්ධියේ ඇසූ ප‍්‍රශ්නයකට හරි අපූරු උත්තරයක් දුන්නේය. එය එතැන සිටි කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමේ එක්තරා ධාර්මික උත්තරයක් විය.

”ඇමැතිතුමා… ඔබතුමා අද මේ පැත්තේ ආවේ පෝලිමට පිටින් ගිහින් එන්නත විද ගන්න වද්ද…?”

”අනේ නැහැ… මම පෝලිං කඩං යන්නෙ නැහැ. මම අද ආවෙ ඕගොල්ලන්ට එන්නත ගහන්නේ කොහොමද කියලා නිරීක්ෂණය කරන්න…” රණවීර හිනාවෙමින් කීවේය.

”ඒ කියන්නේ ඔබතුමා තවම එන්නත විද ගෙන නැහැ…”

”හපොයි නෑ… ඔයගොල්ලා ඔක්කොටම කලින් අපි තමයි එන්නත් විද ගත්තේ… පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට විද්දනේ කලින් ම.”

”ඒ අතින් බලනකොට ඔබතුමාලා ඔක්කොටම වඩා සජිත් පේ‍්‍රමදාස මැතිතුමා උතුම්…”

”වෙන්නැති… හැබැයි එහෙම කියන්නේ මොකද කියලා මට දැනගන්න ඕන.”

”සජිත් මැතිතුමා හැබෑ ජනතා නායකයෙක් විදියට කිව්වා මේ රටේ අපේ ජනතාව ඔක්කොම බෙහෙත විදින කං මම බේත විද ගන්නේ නැහැ කියලා. ඔබතුමාලා ඔක්කොටම කලින් පැනලා ගිහින් එන්නත විදගෙන.” ප‍්‍රසන්න රණවීර ඒ පිළිබඳ මඳක් කල්පනා කර මෙසේ කීවේය.

”සජිත් නං එහෙම කිව්වා තමයි. හැබැයි එයා එහෙම කිව්වේ එයා හැබෑ බෞද්ධයෙක් නොවන නිසා. අඩුම තරමේ බුද්ධාගමේ එන මෛත‍්‍රී භාවනාව එයා දන්නේ නැති නිසා. පුංචි කාලේ දහම් පාසලකට හරි ගිහිල්ලා මෛත‍්‍රී භාවනාව ප‍්‍රගුණ කරල තිබුණ නම් එයා ඔය කතාව කියන්නේ නෑ…”

ඒ පුද්ගලයා විපිළිසර විය. ඒ කතාවේ තේරුම මොකක්ද යි ඇසීය.

”මේකනෙ අයියේ… ඔය මෛත‍්‍රී භාවනාවෙන් කියා දෙන දේ තමයි ඉස්සෙල්ලම තමන් නිරෝගී වෙන්න. ඊට පස්සේ මා මෙන්ම අනිත් අයගේ නිරෝගිකම ගැන හිතන්න කියන එක. මහජන නියෝජිතයෝ හැටියට අපි පළමුව නිරෝගී වෙලා ඉඳලා තමයි නිවැරදි සෞඛ්‍ය සම්පන්න මහජන සේවයක් ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් වෙන්නෙ… සජිත් ඒක දන්නේ නෑ. ඒකනේ ඔහොම යන්නම් වාලේ ගිහිල්ලා දෙන්නා එක්කම ලෙඬේ හදාගත්තේ…

එතනින් එහාට කිසිවෙකුත් ප‍්‍රසන්න රණවීර සමඟ ඒ ගැන තර්ක කරන්නට ගියේ නැත.

විමලේගේ උපන්දිනයට
නැගෙනහිර ගිය අමුත්තා

නැගෙනහිර පළාතේ සංචාරක නියෝජිතයින් සහ සංචාරක කර්මාන්තයේ නියුක්තිකයන් හමුවීම ඇතුළු සංචාරක ක්ෂේත‍්‍රයට අදාළ කාර්යයන් කීපයක් සඳහා සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග ඉකුත් බදාදාආරුගම්බේ ප‍්‍රදේශයට පැමිණියේය.

අමාත්‍යවරයා හමුවීම සඳහා නවාතැන් ගෙන සිටි ස්ථානයට අමුත්තෙක් පැමිණියේය. ඒ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායකයි. විමලවීර දිසානායකගේ උපන් දිනය යෙදි තිබුණෙත් එදාය. ඈතදීම ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා දුටු විමලවීර දිසානායක ”ආ… ලොක්කා කොහොමද” කීයේ සිය සුපුරුදු ගැමි වාග් විලාසයෙනි. විමලවීර දිසානායක මන්ත‍්‍රීවරයාට සිටින තැන අදාළ නැත. ගැමිකමට මුල්තැන දෙන හෙතෙම නිතරම බුලත් විටක් හපමින් සිටියි. මේ අවස්ථාවේ ද බුලත් විටක් හපමින් පැමිණෙන විමලවීර දිසානායක ඇමැතිවරයා හඳුනා ගන්නා ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයාට එක්වර ම සිහිපත් වූයේ විමලවීර දිසානායක ඇමැතිවරයාගේ උපන්දිනය එදිනට යෙදී තිබෙන බවයි.

”සුභ උපන්දිනයක් ඔබතුමාට, ඊළඟ වතාවේ උපන්දිනය කැබිනට් එකේ දි සමරමු” යි ප‍්‍රසන්න රණතුංග මහතා කියන විට විමලවීර දිසානායක ඇමැතිවරයා ” බලමුකෝ” කියා හඬනගමින් සිනහසුනේය.

අරුගම්බේ සංචාරක කලාපයක් කිරීම පිළිබඳවත්, නැගෙනහිර ප‍්‍රදේශය සංචාරක කර්මාන්තයට සූදානම් කිරීම පිළිබඳව මෙහිදී අමාත්‍යවරු දෙපළ සාකච්ඡා කළේය. ඒ අතරතුර හදිසියේ යමක් සිහිපත් වූවා සේ විමලවීර දිසානායක ඇමැතිවරයා ”බැසිල් ඇමැතිතුමා පාර්ලිමේන්තු එන වැඬේ දැන් හරි නේද”යි ඇසීය.

”ඒ වැඬේ සාර්ථකයි කියලා හිතෙනවා. බැසිල් මහත්තයා පාර්ලිමේන්තු එන එකට මම පෞද්ගලිකව කැමතියි.” ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා කීවේය.

”ඔව් ඒක ඇත්ත. පහුගිය කාලේ බැසිල් මහත්තයා සංවර්ධන වැඩපිළිවෙළ කරපු හැටි අපි දැක්කා” විමලවීර දිසානායක ඇමැතිවරයා පිළිතුරු දුන්නේ ය.

”අද කවුරු මොනවා කිව්වත් 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට ආපු වෙලාවෙ ගෝඨාභය මහත්තයා යුද්ධෙ කරන්න බාර ගන්න කොට, යුද්ධයෙන් රටේ ආර්ථිකය කඩා වැටෙන්න නොදී ආර්ථිකය ශක්තිමත් කළේ බැසිල් මහත්තයා.”

”ඒක අපි නොදන්නවද. ඒ කාලේ මේ පළාත්වල වැඩක් උනා නම් වුණේ බැසිල් මහත්තයගෙන්.”

”ඒ වගේම තමයි එතුමාගේ සංවිධාන ශක්තියත්. 2015 මහින්ද මහත්තයා පැරදුන වෙලාවේ මමත් හිටියේ මහින්ද සුළෙඟ් තමයි. ඒ වුණාට මහින්ද සුළඟත් එක්ක ආපු පාර්ලිමේන්තු මැතිවරණය එදා අපි පරාදයි.”

”ඒ ඡන්දෙදි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අපිව රැවැට්ටුවා.”

”එදා සිද්ධ වුණේ කබලෙන් ලිපට වැටුණා වගේ දෙයක්. ඊට පස්සේ මේ රටේ පළාත් පාලන මැතිවරණය ජයග‍්‍රහණය කරන්න, පාර්ලිමේන්තු මැතිවරණය ජයග‍්‍රහණය කරන්න ජනාධිපතිවරණය වැඩි බලයකින් ජයග‍්‍රහණය කරන්න නායකත්වය දුන්නේ පොහොට්ටුව නිර්මාණය කරලා බැසිල් මහත්තයා.”

”ඔව්. බැසිල් මහත්තයා තමයි මේ පළාත්වලත් පොහොට්ටුවේ ශාඛා සමිති හදලා බලගැන්නුවේ.”

”හොඳට වැඩ කරන්න පුළුවන් නායකයෙක්. ඉතිං එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කළොත් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ගෙන යන වැඩපිළිවෙළට ලොකු ශක්තියක් වෙනවා. මේ වසංගතය නැති කාලෙත් රටම විනාශ කරලා ආර්ථිකයත් විනාශ කරල රටේ ජාතික ආරක්ෂාත් විනාශ කරලා ගියපු යහපාලන ආණ්ඩුවෙ හිටපු අය තමයි අද ජනාධිපතිවරයායි අගමැතිවරයායි අසාර්ථකයි කියන්නේ. අද වෙනකොට ඒ අය ෆේල් වෙලා ජනතාව ඒ අයව අයින් කරලා තියෙනවා. අපිට තව අවුරුදු හතරක් ඉදිරියට තියෙනවා. මේ වසංගතයක් එක්ක අපි දැන් අවුරුදු එකහමාරක් ගැටෙනවා.”

”ඇත්තටම වසංගතේ ආවේ නැත්තං මේ වෙනකොට මිනිස්සුන්ට දැනෙන විදියට වෙනසක් රටේ සිද්ධ වෙලා.”

”2022 අවසාන වෙනකොට ලෝකයේම එන්නත්කරණය සාර්ථකව සිදු වුණාට පස්සේ රටේ ආර්ථිකය ගොඩ ගැනීමට පුළුවන් කියලා විශ්වාසයි. ජනාධිපතිතුමා මේ වෙනකොට කරලා තියෙන දේවල් ගැන අද කවුරුත් කතා කරන්නෙ නැහැ.

වසංගතයක් එක්ක අපේ රට විතරක් නෙමෙයි ලෝකයේම ආර්ථික වශයෙන් කඩා වැටිලා. අපි මේ වෙනකොට හිස ඔසවා ගෙන ඉන්නෙ රජය ගෙනියන වැඩ පිළිවෙළත් එක්ක. උපාධිධාරීන්ට රැකියා ලබා දුන්නා, තරුණයින් ලක්ෂයකට රැකියා දුන්නා, බදු සහන ලබා දුන්නා, රටේ දේශීය නිෂ්පාදනය වැඩි කරන්න අවශ්‍ය පසුබිම සකස් කරල දුන්නා. දැන් මේ වෙනකොට අවුරුදු ගාණකින් හැදුනේ නැති රටේම පාරවල් ටික හැදමින් පවතිනවා. ඒ වගේ වැඩ කොටසක් දැනට කෙරෙනවා. නමුත් ඊට වඩා කොරෝනා වසංගතයක් සමග ඇති වුණ ගැටලූ නිසා රටේ මිනිසුන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නෙ ඒ ගැනයි.”

මේ ආකාරයට අමාත්‍යවරු දෙදෙනා බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය ගැන දීර්ඝ සාකච්ඡාවක යෙදිණි.

සජිත් වැඩ කරන්නේ
නූතන විපක්ෂයකලූ

සජිත් ගැන සමාජයේ ඔය මොන කතා කිව්වත්, සජිත් කොවිඞ්වලට කිසිම උදව්වක් කර නැතැයි කියා යම් යම් දේශපාලනඥයෝ වේදිකාවල මොර ගෑවත් සමගි ජන බලවේගය විසින් ආරම්භ කරන ලද ”විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ඔස්සේ ද රටට ලොකු සෞඛ්‍ය සේවාවක් සිදුවිය. එමඟින් කරනු ලැබුවේ අඩු පහසුකම් ඇති රෝහල්වලට අත්‍යවශ්‍ය වූ වෛද්‍ය උපකරණ ලබාදීමේ සමාජ සත්කාරක වැඩපිළිවෙළක් දීප ව්‍යාප්තව පවත්වාගෙන යෑමය.

ඔහු මෙම වැඩසටහන ආරම්භ කර තිබුණේ පසුගිය අපේ‍්‍රල් 8 වැනිදා ය. පසුගිය සතිය වන විට එම වැඩපිළිවෙළේ අදියර දහනමයක් ම සම්පූර්ණ කර තිබිණි.

”මේ කාලය ඇතුළත අපි රුපියල් ලක්ෂ 500කටත් එහා ගිය රෝහල් උපකරණ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් රෝහල්වලට ලබාදීලා තියනවා.” සජිත් කීවේය.

”බලාගෙන ගියාම ඔබතුමාට හිතාගන්න බැරි වැඩකොටසක් කරලනේ….” රාජිත ප‍්‍රශංසා මුඛයෙන් කියා සිටියේය.

නෑ නෑ මේවා අපි තනියෙන් කරපුව නෙවෙයි. මේකට පරිත්‍යාගශීලීන් ගොඩක් උදව් කළා. හුඟක් අය මේවා සංවිධානය කරන්න මහන්සි වුණා. ඒ හැමෝටම මේකේ ගෞරවය හිමිවෙනවා. අපි මේ කරන්නේ ආණ්ඩුවක් කරන්න ඕන වැඩ.

මොනව උනත් ආණ්ඩුව කියන්නේ කොවිඞ් වැඩසටහනට අපි උදව් කරන්නේ නැහැ කියලා විතරයි. ඒ වුණාට අපි හැමදේකටම විරුද්ධ වෙන සාම්ප‍්‍රදායික විපක්ෂයක් නෙවෙයි. අපි නූතන විපක්ෂයක්. ඒකයි අපි ජනතාව ගැන ආණ්ඩුවක් හිතන විදියටම විපක්ෂයේ ඉඳන් හිතන්න පුරුදු වෙලා තියෙන්නේ…”

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියට පෙර සතියේ කරන ලද ජාතිය ඇමතීමේ කතාව ගැන ද රට තුළ නොයෙක් කතා බස් ඇති විය. විවේචන ද ඇති විය. මේ සම්බන්ධයෙන් වැඩිපුරම විවේචනය කරමින් කතා කරන්නට වූයේ සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණයි. සමගි ජන බලවේගය කණ්ඩායමක් එහි නායක සජිත් පේ‍්‍රමදාස හමුවී ඒ පිළිබඳව කතා බහ කරන්නට පටන් ගත්තේ මෙසේය.

”ජාතිය ඇමතීමේ කතාවෙන් පෙනුනේ ආණ්ඩුවේ නොහැකියාව විතරයි. රටේ අවධානයට යොමුවිය යුතු කරුණු කිසිවක් ගැන ඔහු අවධානය යොමු කළේ නෑ. සජිත් පැවසුවේය.

”අර කොහෙද යන්නේ මල්ලෙ පොල් කතාවක් තමයි ජනාධිපතිතුමා ඇවිත් කිව්වේ… රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.

”ජනාධිපතිවරයෙක්ට ජාතියක් අමතලා මේ විදියට බොරු තොගයක් කියන්න පුළුවන් වුණේ කොහොමද දන්නේ නෑ. අපේ ආණ්ඩුව කාලයේ ආරම්භ කරපු අධිවේගී මාර්ග තමන්ගේ එකක් වගේ විවෘත කරන හැටි ගැන කිව්වා. තවත් මාර්ග කිලෝමීටර් ලක්ෂයක් හදන හැටි ගැන කියනවා. මේවාට මුදල් වෙන් කරලා නැහැ. පට්ටපල් බොරු තොගයක් දෙසා බෑවා. කබීර් හෂීම් ජනාධිපතිවරයාගේ කතාවට ප‍්‍රතිචාර දැක්වූවේය.

”ආර්ථිකය ගැන කියපු කතාවල ඇත්තක් තියෙනවාද? ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා ඇසුවේ හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයාත් සාකච්ඡාවට එක්ව සිටි නිසාය.

”ආර්ථික වර්ධනය ගැන බොරු තොගයක් ඇවිත් කිව්වා. හර්ෂ ආර්ථිකය ගැන විග‍්‍රහයක් කළේය.

”ඉස්සර දවස් තුන අරගෙන ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාවේ තියෙන බොරු කතා ටික ජනගත කරන්න” සජිත් උපදෙස් දුන්නේය.

කාබනික වගාව ගැන
ගොවියෝ කියන කතා

සෞඛ්‍ය බලධාරින්ට දේශපාලඥයෝ ගොරවති... එන්නත් ගෙනා හැටි ජනාධිපති විස්තර කරයි... මෛත‍්‍රී භාවනාව ගැන රණවීරගෙන් සජිත්ට පාඩමක්... විමලේගේ උපන්දිනයට නැගෙනහිර ගිය අමුත්තා

කාබනික වගාවට රට හුරු කරවීම සම්බන්ධයෙන් අතිශයින් වැදගත් වූ තවත් හමුවක් පසුගිය බ‍්‍රහස්පතින්දා උදේ 11.00ට ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම රැස්වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අලූත්ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, සීතා අරඹේපොල, මොහාන් සිල්වා යන දේශපාලකයෝ ද මේ සඳහා පැමිණ සිටියහ. ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර ඇතුළු නිලධාරීන් පිරිසක් ද වූහ.

නියෝජිතයින් අමතමින් මුලින්ම කතා කළේ අමාත්‍ය මහින්දානන්දයි.

”ජනාධිපති තුමනි… අපේ රටේ ගොවියෝ ලක්ෂ 11 ක් පමණ මේ ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ සාමාජිකත්වය දරනවා. ගොවි සංවිධාන 17,000 ක් විතර තියෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථාන 350 කින් මේ ගොවියන් සම්බන්ධීකරණය කරනවා. ඒ සංවිධාන නියෝජනය කරමින් සෑම දිස්ත‍්‍රික්කයකින් ම අද මේ සමුළුවට ගොවි නියෝජිතයින් සහභාගී වෙනවා.

මේ අය ඔක්කොම අද ඇවිල්ලා ඉන්නේ ඔබතුමා ඉතාමත් නිර්භීතව ගනිපු තීන්දුව ගැන සාකච්ඡා කරන්න. ඒ වගේම මම මේ ගොවි මහතුන්ටත් කියන්න කැමතියි මෙච්චර කාලයක් ඔබතුමන්ලාගේ ඉල්ලීමක් වෙච්ච, පහුගිය යහපාලන ආණ්ඩුව විසින් ඔබට අහිමි කරපු ගොවි විශ‍්‍රාම වැටුප හා ගොවි රක්ෂණ අද ඉඳලා ආරම්භ කරන්න පියවර ගන්නවා. ගොවි විශ‍්‍රාම වැටුප වැඩි කරන්නත් මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්නවා.”

මහින්දානන්ද එසේ කියන විට ගොවි නියෝජිතයින් අත්පොළසන් දෙමින් සතුට පළ කරන්නට වූහ.

”ඒත් එක්කම මම කියන්න කැමතියි අපි තවත් මාස තුනක් යන්නට කලින් කෘෂිකර්මය පිළිබඳව ජාතික ප‍්‍රතිපත්තියක් මේ රටට හඳුන්වා දෙන්න පියවර අරන් තියෙනවා. ඒත් එක්කම මම කැමැතියි මේ වෙලාවේ ඔබතුමන්ලාට ස්තුති කරන්න. ඔබතුමන්ලාගේ සම්පූර්ණ සහයෝගය ජනාධිපතිතුමාගේ අලූත් වැඩපිළිවෙළ වෙත ලබාදෙන්න තීරණය කිරීම ගැන.”

මහින්දානන්දගේ කතාවෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙසේ කතා කරන්නට විය.

”සමහරු කියනවා මේක මම හදිසියේ ගත්ත තීන්දුවක් කියලා. මේක අපි හදිසියේ ගත්ත තීන්දුවක් නෙවෙයි. ඔබ දන්නවා අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ අපි මේක පැහැදිලිවම ඉදිරිපත් කරලා තිබුණා. හැටනව ලක්ෂයක් ජනතාව එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අනුමත කරමින් මා කෙරෙහි විශ්වාසය තැබුවා. ඒ අය මට ඒ සඳහා වරයක් දුන්නා.

ඔබට මතක ඇති අපේම ආණ්ඩු අපේම දේශපාලනඥයෝ කීප වරක්ම අපිට කලින් මේ වැඩසටහන ක‍්‍රියාත්මක කරන්න උත්සාහ කළා. හැමතැනම ඒක අසාර්ථක වුණා. අසාර්ථක වුණේ ඒ වැඬේ වැරදි හින්ද නෙවෙයි. ඒ වැඬේ හරි තැනින් හරි විදිහට පටන් ගත්තෙ නැති නිසා.

මම ඔය වැඬේ හරි තැනින් හරි විදිහට පටන් ගත්තා. දැන් අපි මේ වැඬේ කොහොමවත් ආපස්සට හරවන්න නෑ.

අපි මේ වැඬේ පටන් ගත්තට පස්සේ මුළු ලෝකය පුරාම රටවල් අපි දිහා බලාගෙන ඉඳලා අපට ප‍්‍රශංසා කරන්න පටන් ගත්තා.

ඕගොල්ලෝ දන්නවා ඇති. අපි අවුරුද්දකට රසායනික පොහොර පිටරටින් ගේන්න විතරක් රුපියල් බිලියන 80ක් විතර වියදමක් දරනවා. දැන් අපිට ඒ මුදල් ඉතුරු කරල ඕගොල්ලන්ට බෙදලා දෙන්න පුළුවන්. ඒ වගේම ගොවිතැනට යම්කිසි හානියක් වුණොත් අපි මේ මුදල් ඒ සඳහා ලබාදෙන්න සූදානම්.

සමහර අය උත්සාහ කරනවා අපි කෘෂිකර්මාන්තයේ ආපස්සට ගමනක් යනවා කියලා කියන්න. ඒගොල්ලො ලෝකය දකින්නෙ නෑ. ලෝකයේ අද මේක අලූත් ප‍්‍රවණතාවක්. අද මුළු ලෝකයම මේ ප‍්‍රවණතාවය ඔස්සේ ඉදිරියට ගමන් කරන්න සූදානම් වෙනවා. මේ තුළින් නව ආර්ථික මාවතක් හදන්න පුළුවන්. ඒ මොකද වස විසෙන් තොර ආහාරවලට මුළු ලෝකය පුරාම ලොකු ඉල්ලූමක් හැදිලා තියෙනවා.

මම තව දෙයක් කියන්න ඕන. සමහරු අපිට අභියෝග කරනවානේ මේක කරන්න බැරි වැඩක් කිය කිය. ඒ උනාට ඒගොල්ලො කන්නෙත් කාබනික පොහොර යොදා හදන ආහාර.

අපි මේක තුළින් අපේ අනාගත පරපුර භයානක ලෙඩ රෝගවලින් රැකගන්නවා. අනිත් පැත්තෙන් වසරක් පාසා පිට රටවල්වලට ඇදිලා යන අපේ මුදල් රැක ගන්නවා. මෙතෙන්දි අපිට විවිධ අභියෝග ඒවි. ඒත් ඒ අභියෝග එකකින්වත් අපිව ආපස්සට හරවන්න බැහැ. මම නැවත වරක් කියනවා. කොහොමවත් මම මේ වැඩපිළිවෙළ තුළ ගොවියාටවත් ව්‍යවසායකයාට වත් අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒක මම පොරොන්දු වෙනවා. ඔයගොල්ලෝ හොඳින් තේරුම් ගන්න. සමහර සමාගම් මේ කාබනික පොහොර ව්‍යාපෘතියට විරුද්ධව ගොවි ජනතාව උසිගන්වලා උද්ඝෝෂණ සංවිධානය කරනවා. ඒ උද්ඝෝෂණ තමන්ගෙම මාධ්‍යවලින් පෙන්වනවා. ඒ පෙන්නන මාධ්‍යයම මේ රටට රසායනික පොහොර ගෙන්වන බිස්නස් එකත් ජයටම කරනවා කියලා මේ රටේ ගොඩක් අය දන්නේ නැහැ. මේ තත්ත්වය ඔයගොල්ල හොඳින් තේරුම් ගන්න.”

ජනාධිපතිවරයාගේ දීර්ඝ පැහැදිලි කිරීම්වලින් පසුව ගොවි සංවිධාන නියෝජිතයෝ අදහස් ඉදිරිපත් කරන්නට වූහ. මුලින්ම කතා කළේ අනුරාධපුර ගොවි සංවිධානයේ නියෝජිතයෙකි.

”ඔබතුමා මේ තීන්දුව ගත්තේ මනුස්ස ජීවිත ආරක්ෂා කරන්න කියල අපි දන්නවා. මට මතකයි අපි රසායනික පොහොරවලට හුරු වනකොට මගේ වයස අවුරුදු 18යි. ඒ කාලේ අපේ ගම්වල ගොවියන්ට නොමිලේ දුන්නෙ පොහොර. මමත් කිලෝ 25 ක පෝර උරයක් කරතියන් ආවා.

ගෙනල්ලා ගොයමට ගැහුවා විතරයි… දවස් දෙකෙන් තුනෙන් කොළ පාටට සරුවට ගොයම හැදුනා. අපි අන්න එහෙමයි මේ පොහොරවලට හුරු උනේ.

අන්තිමේ ඒක අපිටම නරකට බලපෑවා. දැන් අපිට වතුර ටිකක් බොන්න නෑ. ඉස්සර අපි වක්කඩෙන් වතුර බිව්වා. අද අපිට ළිඳෙන්වත් වතුර බොන්න බෑ. ඒ නිසා ඔබතුමා ගත්ත මේ තීන්දුව ආපස්සට හරවන්න එපා. ඊළඟ කන්නෙවත් අපට වස විසෙන් තොර හාල් ටිකක් ජය සිරිමහා බෝ හාමුදුරුවන්ට පූජා කරන්න ඉඩ තියන්න…”

ඔක්කොටම ඉස්සරලා
දැණුම ගොවියට ඕනලූ

ඉන්පසුව කතා කළේ කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන සමිතියේ ගොවි මහතෙකි.

”ප‍්‍රශ්න නැතුව නෙවෙයි ජනාධිපතිතුමනි. ප‍්‍රශ්න තියනවා ඒත් ඒ කියන තරමට වඩා ප‍්‍රශ්න අද සමහරු උලූප්පලා පෙන්වනවා. ඒ සියල්ල වෙන්නේ ගොවියා අද දැනුවත් නැති නිසයි. මම කියන්නේ ඔක්කොටම කලින් මේ ගැන ගොවියා දැනුවත් කරන්න.”

”ඔබ කියන එක හරි… අපි මූලිකවම ගොවියා දැනුවත් කිරීමට මුල් තැන දෙන්න ඕන. ඒ වගේම හොඳ දත්ත පද්ධතියක් අපි සකස් කරන්ඩ ඕන.

ඉන් පසුව මාතර දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් ද ගොවි මහතෙක් අදහස් දක්වනු ලැබීය.

”ආණ්ඩුවෙන් පටන් ගන්න කලිනුත් අපි කාබනික වගාව කළා. දැනුත් අපි කරනවා. ඒකෙ ප‍්‍රතිඵලත් අපි දැන් හොඳට ගන්නවා. අපේ පළාත්වල ලෙඩරෝග

ගොඩක් අඩුයි… කිලිනොච්චිය නියෝජනය කරමින් පැමිණ සිටි ගොවි මහතා දෙමළ බසින් එසේ කීවේය.

”අපි කොම්පෝස්ට් පොහොර භාවිතයට එකඟයි. හැබැයි ජනාධිපතිතුමනි අපට ඒක හරි වෙලාවට හරි තැනට ලැබුණේ නැත්නම් වැඩක් නෑ… ඒ වගේම ගම් මට්ටමින් ඉන්න නිලධාරීන්ට ප‍්‍රායෝගික පුහුණුවක් නෑ… ඒත් එක්කම මේවට ගැලපෙන බීජ ටිකත් නිසි වෙලාවට අපට ලැබෙන්න සලස්වන්න…”

”ඔබතුමාගේ කතාව හරි… ඇත්තටම අපි මේ වෙනකොටත් මිලියන 2000ක බීජ ආනයනය කරලා තියෙනවා. ඉදිරියේ දී බීජ ගැන කිසි ගැටලූවක් නැති වේවි…” මහින්දානන්ද උත්තර දුන්නේය. ඉන්පසුව කතා කළේ අම්පාරෙන් පැමිණි නියෝජිතයාය.

”මේ වී වගාවේ ආදායම ගැන ලොකු ලොකු ප‍්‍රශ්න තියෙනවා ජනාධිපතිතුමා. අපි ගොවියෙක් අක්කර දෙකහමාරක වී ගැහුවොත් සාමාන්‍යයෙන් වී කිලෝ 5000ක් විතර ගන්න පුළුවන්. වී කිලෝවක් රු.50 ක සහතික මිලට විකුණ ගත්තොත් උපරිමයෙන් ලැබෙන්නේ රුපියල් 250,000යි. ඒකෙන් කන්නෙට රුපියල් 100,000 ක් විතර වියදමක් යනවා. එතකොට තියෙන්නෙ ලක්ෂ එකහමාරක්. ඒක මාස හයට බෙදිලා ගියාම මාසෙකට කීයද ඉතුරු වෙන්නේ. රුපියල් 25,000ට වඩා අඩුයි. ඒකෙන් ද ගොවියා ජීවත් වෙන්න ඕන. ඉතාම දුක්ඛිත ජීවිතයක් තමයි ගොවියා මේ විදියට ගෙවන්නේ.”

”අපි දන්නවා… ඔයගොල්ලා පොහොරවලට, තෙල් බේත්වලට අනවශ්‍ය විශාල වියදමක් දරනවා. ඒක තමයි අපේ රසායනික පොහොර භාවිතය නතර කරලා ඒකට යන මුදල් ටික ආපසු ඕගොල්ලන්ගේ අතට දෙන්න ක‍්‍රමයක් හැදුවේ.” ජනාධිපති කීවේය.

”අපේ පැත්තෙත් ඔය වගේ ප‍්‍රශ්න තියෙනවා.

ගොවියෝ මුදලාලිට ණයවෙලා පොහොර ටික තෙල් බේත් ටික ගන්නවා. අන්තිමේ අස්වැන්න දවසට මුදලාලි තරාදියයි ගෝනි මිටියයි අරගෙන වෙලට එනවා. මුදලාලිගේ ණය වීවලින් ගෙව්වහම අන්තිමේ ගොවියාට කන්න වී ගෝනියක් ඉතුරු වෙන්නේ නෑ…” මාතර දිස්ත‍්‍රික් නියෝජිතයා කීවේය.

”ඔව්නේ ඉතින්…. පෝරවලටයි තෙල් බේත්වලටයි මිනිස්සු අසාමාන්‍ය විදිහට ණය උනාම එහෙම තමයි… ඒක තමයි අපි එතනින් අපේ ගොවියාව ගලවගන්න මේ උත්සාහ කරන්නේ….”

”අම්පාරේ මම ආපු ගොවි සමිතියේ ගොවි පවුල් 97000ක් ඉන්නවා. ඒ ඔක්කොම මම මෙහේ එනකොට මට කියපු දෙයක් තමයි ඔය කාබනික පොහොර වැඬේට එකඟ වෙන්න එපා කියන එක. ඒ මොකද එහෙ මිනිස්සු ඒ තරමටම රසායනික පොහොරවලට හුරුවෙලා. මට දැන් තේරෙනවා ඒක මොනතරම් වැරදි වැඩක් ද කියලා. අපි ණයකාරයෝ වෙමින් අපි අපේ ආහාරවලට වස විස එකතු කරලා නිකරුනේ ලෙඞ්ඩු වෙනවා. අපි මෙතනින්වත් මේක නවත්තමු ජනාධිපතිතුමා. මම ගිහිල්ලා මගේ මිනිස්සුන්ට මේක අවබෝධ කරල දෙන්නම්…” අම්පාරේ නියෝජිතයා එසේ කී කතාවට බොහෝ දෙනෙක් ඔහුට ප‍්‍රශංසා කරන්නට වූහ.

ඉන් පසුව උතුරු නැගෙනහිර පළාත්වලට කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන්ගේ හිඟයක් ගැන ප‍්‍රශ්නයක් කතා බහට ලක් විය. ඒ හිඟය පියවීම සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.

උදේ 11ට පමණ පටන් ගත් මේ රැස්වීම අවසන් වන විට හවස 2.00ට ද ආසන්න වී තිබිණි.

මහින්දානන්ද නිතර වෙලාව මතක් කරන්නට වූයේ ජනාධිපතිවරයාට මහන්සි ඇතැයි යන සිතුවිල්ලෙනි. එහෙත් ජනාධිපතිවරයා වෙනසක් පෙන්නුම් කළේ නැත.

”එහෙමනං ඔබතුමන්ලාට බොහොම ස්තූතියි මේ වැඬේට සහභාගි වෙලා මේ ජාතික වැඩපිළිවෙළ ඉහළ නංවන්න කොටස්කාරයෝ වෙන්න එකඟ උනාට. අපි නැවත හමු වෙනවා. අද එහෙනම් කෑම ටිකක් කාලාම ගම් පළාත්වලට යන්න…” කියමින් ජනාධිපතිවරයා ඔවුන්ගෙන් සමුගෙන ගියේ බොහෝ සෙයින් සතුටට පත්වූ මුහුණින් යුතුවය.

advertistmentadvertistment