සෞදි අරාබියේ දහදුක් විඳින බිරිඳ ගෙන්වා දෙන්න – සැමියා

35

දුක කිව්වත් දුකට පිළියමක් නැතිලු – විදේශ සේවා නියුක්ති කාර්යාංශයට චෝදනා

කුරුණෑගල රැකියා ඒජන්සියේ නියෝජිතගෙන් අපූරු කොන්දේසි 2 ක්

සෞදි අරාබියේ නිවෙසක මෙහෙකාර සේවයට ගොස් දහදුක් විඳින සිය බිරිඳ ආපසු මෙරටට ගෙන්වා දෙන ලෙසට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කිරීමෙන් පසු, දින දෙකක් තමා එම කාර්යාංශයට කැඳවා පරීක්ෂණයක් පැවැත්වුව ද විසඳුමක් ලබා නොදුන් බව රුවන්වැල්ල, එකේ කණුව, නව ගම්මානයේ පදිංචි පී. සන්දනම් මහතා පවසයි. කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන යන විදේශ රැකියා නියෝජිත ආයතනයක් හරහා එස්. කාලිකා දේවි නමැති ඔහුගේ බිරිඳ 2024.07.26 දින මෙසේ ගෘහ සේවිකා රැකියාවකට ගොස් තිබේ.

ලෑලි ගසා තාවකාලිකව සාදාගෙන ඇති නිවෙස ස්ථීර ලෙස කුඩාවට හෝ ඉදිකර ගැනීමට හා දරු පවුල නඩත්තු කර ගැනීම සඳහා ඇය මෙසේ රට රැකියාවට ගොස් ඇත.

මෙහිදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇගේ සැමියා වන සන්දනම් මහතා පවසා සිටියේ, බිරිඳට එම නිවසේ නිමක් නොමැතිව සිදුකිරීමට තිබූ අධික වැඩසම්භාරයක් හා නිවැසියන්ගෙන් එල්ල වූ ඇනුම් බැනුම් ආදී දැඩි පීඩාවන් පිළිබඳව ඒජන්සිය දැනුවත් කිරීමෙන් පසු වෙනත් නිවසකට මාරු කිරීමට කටයුතු කළ බවය. එහෙත් එම නිවසේහිමිකාරිය ද නපුරු තැනැත්තියක් වෙමින් ඔරොත්තු නොදෙන වැඩ රාශියක් කිරීමට බිරිඳට අණ කරන බවද ඊට අමතරව පිරිමි කරන වැඩ පවා ඇයට පවරන බවද ඒවා කළ නොහැකි වූ විට පහරදීම් සිදුකිරීමට තැත් කරන බවද බිරිඳ ඒ සියල්ල හැඬූ කඳුළෙන් තමන් සමග පවසන බවද සන්දනම් මහතා පැවසීය. එසේම වැඩ වැඩිකමට මේ වනවිට බිරිඳගේ දෑත්වල තුවාල හටගෙන ඇතැයි ද දිනකට නිදාගැනීමට පවා දී ඇත්තේ පැය දෙකක පමණ කාලයක් යැයි ද ඒ මහතා කීය. දවසින් දවස කරදර වැඩිවන බවත් වැටුප් ගෙවා ඇත්තේ එක මාසයක පමණක් බවත් ඒ අනුව ජීවිතය බේරා ගැනීම සඳහා හැකි ඉක්මනින් තමා ආපසු ගෙන්වා ගන්නා ලෙසට බිරිඳ ආයාචනා කරන බවත් සන්දනම් මහතා පවසා සිටියේය.

ඒ අනුව බිරිඳට අත්වී ඇති ඉරණම සඳහන් කරමින් ඇය මෙරටට ගෙන්වා දෙන ලෙස 2024.10.02 දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් කළ බවද සන්දනම් මහතා පැවසීය. අනතුරුව තමන් කැඳවා පැමිණිල්ල විභාග කළ නිලධාරියකු බිරිඳ මෙරටට ගෙන්වා දීමට නම් රුපියල් ලක්ෂ හතක් අවශ්‍ය බවද පැමිණිල්ල ඉල්ලා අස්කර ගතයුතු බව තමා හා පැවසූ බවද එහෙත් ඊට තමන් එකඟ නොවූ බවද සන්දනම් මහතා පැවසීය.

මේ සිදුවීම මත කළ යුත්තේ කුමක්ද කියා සිතාගත නොහැකිව අසරණ වී සිටියදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් 2025.01.08 දින යළි බත්තරමුල්ල කාර්යාලයට කැඳවා දෙවැනි වරටත් පරීක්ෂණයක් සිදුකළ බවද ඔහු කීය. සන්දනම් මහතා පවසා සිටියේ, එම පරීක්ෂණය සිදුකරන විට රැකියා ඒජන්සියේ නියෝජිතයකු ද එහි සිටි බවය. එසේම එහි සිටි නිලධාරිනියන් දෙදෙනකුගෙන් එක් අයකු බිරිඳ ආපසු ගෙන්වා ගැනීමට නම් තක්සේරු කරන මුදලක් ඇති බවත් එම මුදල ගෙවිය යුතු බවත් තමා සමග පවසා සිටි බවය. එසේම පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා බවට ලියුමක් දියයුතු බවද ඇය විසින් කියා සිටි බවය. එවෙලෙහි එහි සිටි අනෙක් නිලධාරිනිය ඉල්ලා අස්කර ගන්නා ලියුම සකස්කර ඊට අත්සන් කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවද තමා ඊට අකැමැති වීමෙන් පසු නිවසට ගොස් දරුවන් සමග කතාකර තීරණයක් ගන්නා ලෙස ඇය තමාට කී බවද සන්දනම් මහතා පැවසීය.

මා, රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ අනියම් සෞඛ්‍ය කම්කරුවෙක්. ලැබෙන සොච්චම් පඩියකින් තමයි දරු පවුල නඩත්තු කරන්නෙ. එසේම ආර්ථික අහේනියෙන් ගොඩඑන්න තමයි බිරිඳ රට රැකියාවට ගියේ. එනිසා බිරිඳ ආපසු ගෙන්වා ගැනීමට අවශ්‍ය මුදල් සොයාගැනීම කෙසේවත්ම කළ නොහැකියි.

මා, ඒ බව අර නිලධාරිනියට ද පැහැදිලි කර දුන්නා. රැකියා ඒජන්සියෙනුත් එහි සිටි නිසා මට සිතෙන්නෙ මේක කුමන්ත්‍රණයක් වගේ කියලයි.

රට ගිහින් කරදර වෙන අය මෙරටට ගෙන්වා ගන්නා ලෙසට ජනාධිපතිතුමා ද පවසා තිබෙනවා. එනිසා මෙකී කරුණු ගැන සිතා මගේ බිරිඳ ද නිරුපද්‍රිතව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර දෙන මෙන් මා වගකිවයුත්තන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටින බව සන්දනම් මහතා වැඩිදුරටත් පැවසීය.

රුවන්වැල්ල – විමලරත්න සමරක්කොඩි


advertistmentadvertistment