හංගන්න හැදුවට විගණනයෙන් එළියට ආ ආර්.එම්.වියේ අක්‍රමිකතා

169

ඉන්ධන අර්බුදය නිසා මේ වනවිට මෝටර් රථ විශාල සංඛ්‍යාවක් නිවෙස්වල ගාල්කොට තිබෙන අතර තවත් මෝටර් රථ විශාල සංඛ්‍යාවක් ඉන්ධන පෝලිම්වල දින ගණනාවක සිට නතරකොට ඇත. තම මෝටර් රථවලට ඉන්ධන ලබාගැනීම සඳහා මෝටර් රථ හිමියන්ට දැඩි අරගලයක නිරතව සිටීමට සිදුවී ඇත. ඉන්ධන අර්බුදයක් පැවතියද සුඛෝපභෝගී මෝටර් රථ මාර්ගවල ධාවනය කරන අයුරු අපිට දැක ගත හැකිය. මෙරටට ගෙන්වනු ලබන මෝටර් රථ සහ එක්ලස් කරනු ලබන මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරනු ලබන්නේ මෝටර් රථ දෙපාර්තමේන්තුව මගිනි. මෝටර් රථ දෙපාර්තමේන්තුව ගැන සඳහන් කරන විටම අපගේ මතකයට එන්නේ එතරම් හොඳ චිත්‍රයක් නොවේ. මක්නිසාදයත් මෙකී ආයතනය තුළ විශාල වංචා හා දූෂණ සිදුවී ඇති බව පසුගිය කාලයේදී සමාජය තුළ කථාබහට ලක්විය.

ඒ විතරක් නොව වාහනයක් ලියාපදිංචිකර ගැනීමේදී අතයට මුදලක් ලබාදිය යුතුය. මෙකී දෙපාර්තමේන්තුව අවට මුදල් ගරා ගන්නා කපුටන්ගෙන් පිරීගොස් ඇත. මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2020 වර්ෂයේ නිකුත් කොට ඇති විගණන වාර්තාවේ මූල්‍ය අක්‍රමිකතා ස්වරූපයේ ගනුදෙනු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කොට ඇත. මෙම ලිපිය දිග හැරෙන්නේ එම තොරතුරු පදනම් කරගෙනය.

රේගු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරනු ලැබූ හෝ මෙරටදී නීති විරෝධී ලෙස එක්ලස් කරනු ලැබූ වාහන 33ක දත්ත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කරමින් එම වාහන නීති්‍යානුකූල වාහන ලෙස මෙරට භාවිතයට මුදා හැරීම නිසා රජයට බදු මුදල් වශයෙන් රුපියල් පනස්පන්කෝටි අසූහය ලක්ෂ හතළිස්දහස් හයසිය විසිහතක මුදලක් ( රු. 558,640 ,627) අහිමි වී ඇත.

මෙය මූල්‍ය අක්‍රමිකතා ස්වරූපයේ ගනුදෙනුවක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙසේ නීති්‍යානුකූල නොවන අයුරින් මුදාහැර තිබූ වාහන 21ක් සඳහා දළ වශයෙන් නිෂ්පාදන බදු, සුඛෝපභෝගී බදු සහ අනිකුත් රජයේ අය කිරීම් ලෙස රජයට ලැබිය යුතු රුපියල් පනස්පන්කෝටි අසූහය ලක්ෂ හතළිස්දහස් හයසිය විසිහතක මුදලක් අහිමි වී තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම මෙම වාහන සම්බන්ධයෙන් මුල් ලිපිගොනු නඩත්තු කිරීමට ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පියවර ගෙන නොතිබුණි. මෙසේ අවිධිමත් ලෙස ලියාපදිංචි වාහන 17කින් වාහන 09ක් සඳහා පමණක් දළ වශයෙන් නිෂ්පාදන බදු, සුඛෝපභෝගී බදු හා අනිකුත් රජයේ ගාස්තු හා ආදායම් ලෙස රුපියල් විසිනම කෝටිහැත්තෑලක්ෂ පනස්හත්දහස් හත්සිය අසූඅටක මුදලක් (297,057,788) රජයට අහිමි වී තිබුණි.

එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් අනුපිළිවෙළින් ලියාපදිංචි අංක නිකුත් නොකර, යම් අංක ප්‍රමාණයක් හිස්ව තැබීම පසුව එම හිස් අංක යොදාගනිමින් වාහන ලියාපදිංචිකොට ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. ඇතැම් වාහන සඳහා වසර 27, 23 හා 18 ආදී අතීත වර්ෂයන් සඳහා එකවර ආදයම් බලපත්‍ර ලබාගෙන තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

හංගන්න හැදුවට විගණනයෙන් එළියට ආ ආර්.එම්.වියේ අක්‍රමිකතා

මර්සිඩීස් බෙන්ස් රථයක් ලියාපදිංචි කිරීම සඳහා දැනට භාවිතයේ නොමැති 302 අංක කාණ්ඩය යටතේ පැවති අංක කාණ්ඩය මගහැර තිබූ අංකයක් භාවිතයට ගෙන තිබුණි. කෙසේ වූවද මෙවැනි පැරණි අංකයක් නව අංකයක් ලෙස ලියාපදිංචි කළ නොහැකි බැවින් 2000 වර්ෂයේ ලියාපදිංචි කරනු ලැබූ ටොයටා කරිනා මාදිලියේ මෝටර රථයක දත්ත එම බෙන්ස් රථයේ දත්ත ලෙස පරිගණක ගතකොට තිබුණි. ඒ විතරක් නොව එම රථය සඳහා අතීත වර්ෂ 16ක් සඳහා එකවර ආදායම් බලපත්‍ර ලබාගෙන තිබුණි. මෙකී සුඛෝපභෝගී රථයට බදු නොගෙවීම නිසා රජයට සිදුවූ පාඩුව රුපියල් 307.500 කි.

එමෙන්ම අංක 302 කාණ්ඩයේ මෝටර් රථ දෙකක පළමු ලියාපදිංචිය පිළිබඳ දත්ත අදාළ රේගු සටහන් කර ඒ පිළිබඳ තොරතුරු කිසිවක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ නොතිබුණි. ඒ විතරක් නොව බරවාහන දෙකක් හා බර එසවුම් උපකරණ දෙකක් මෙරටට ආනයනය කරනු ලැබූ රේගු සටහන් කර උපයෝගී කරගෙන ටොයොටා, ලැන්ඩ් කෘෂර්, ප්‍රාඩෝ වර්ගයේ අධිසුඛෝපභෝගී මෝටර් රථ 03ක් ලියාපදිංචි කිරීමට දෙපාර්තමේන්තුව මගින් පියවර ගෙන තිබුණි. මේ නිසා රජයට අහිමි වූ ආනයනික තීරුබදු හා සුඛෝපභෝගී බදු ආදායම රුපියල් 141,174,339කි. මෙකී වාහන රේගුව මගින් වෙන්දේසි කළ වාහන බවට පරිගණක පද්ධතියේ සටහන් කර තිබුණද ඒ කිසිවක් රේගු වෙන්දේසියකට යොමුවී නොතිබුණි.

එමෙන්ම රේගු සම්බන්ධතාවයක් නොතිබූ මිට්සුබිසි ජීප් රථයක් 2022 නොවැම්බර් මස 22 වැනි දින ලියාපදිංචිකොට තිබුණි. එම ලියාපදිංචි අංකයට පෙර හා පසු අංක පිළිවෙළින් 2002 වර්ෂයේ නොවැම්බර් මස 22 හා 25 දෙදින තුළ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ දෙකක් වන අතර ඊට අදාළ රේගු සබඳතා දෙපාර්තමේන්තු පරිගණක වැඩසටහන තුළ පැවතුණි. මෙම වාහනය සඳහා 2002 වර්ෂයේ සිට වර්ෂ 17ක ආදායම් බලපත්‍ර ගාස්තු එකවර ගෙවා ආදායම් බලපත්‍ර ලබාගෙන තිබුණි. ඒ විතරක් නොව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාහන තුනක් අවිධිමත් ලෙස ලියපදිංචිකොට තිබුණි. මේ නිසා දළ වශයෙන් නිෂ්පාදන හා සුඛෝපභෝගී බදු ලෙස රු.114,597, 000ක ආදායමක් රජයට අහිමිව තිබුණි. එකී වාහනවලට අදාළ රේගු සටහන් කර දත්ත කිසිවක් පරිගණක පද්ධතියට ඇතුළත් කොට නොතිබුණි. එමෙන්ම චැසි අංක සම්බන්ධයෙන් කිසිදු ආනයන වාර්තාවක් රේගු දත්ත තුළ නොමැති බවට රේගුව විසින් දැනුම්දී තිබුණි. මෙහි පළමු ලියාපදිංචිය 2002 වර්ෂය ලෙස සඳහන් වුවද ආදායම් බලපත්‍ර ලබාගෙන තිබුණේ 2018 වර්ෂයේ දීය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකොට ඇත්තේ හරි අපූරු දේවල් බව මෙකී විගණන වාර්තාව අධ්‍යයනය කිරීමේදී ඉතා හොඳින් පැහැදිලිවේ. 92 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාලය තුළ මග හැරුණු දත්ත භාවිතයෙන් පරිගණක පද්ධතියට නිවැරදි නොවන දත්ත ඇතුළත් කොට නව වාහන 05ක් ලියාපදිංචි කොට තිබුණි. ඉන් එක් වාහනයක් වෙනුවෙන් රුපියල් 424,9600ක පමණ නිෂ්පාදන බදු ආදායමක් රජයට අහිමි වී තිබුණි. ඒ විතරක නොව මෙකී වාහන 05 සඳහා නව ලියාපදිංචි ගාස්තුද අයකර නොතිබුණි. එක් වාහනයක් වෙනුවෙන් අයවිය යුතු සුඛෝපභෝගී බදු මුදල රුපියල් 2,95000කි.

එමෙන්ම වාහන 14ක පළමු ලියාපදිංචිය 92 වර්ෂයේ සිට 97 වර්ෂය දක්වා කාලය තුළ සිදුකර ඇතත් දත්ත පරිගණක ගත කොට ඇත්තේ ඉන් වසර 08ක හෝ 25ක කාලයකට පසුවයි. මෙකී දත්ත පරිගණක ගත කිරීමෙන් පසු ඉන් වසර 10ක් සඳහා පළමු ආදායම් බලපත්‍රය ලබාගැනීම හා ඉන් වාහන 04ක් ඇතුළුව වාහන 05ක් සඳහා වසර 23 සිට 27 දක්වා දීර්ඝ කාලයකට එකවර ආදායම් බලපත්‍ර ලබාගෙන ඇත. එමෙන්ම අතීත වර්ෂ 18ක් වෙනුවෙන් 2018 වර්ෂයේ දී එකවර ආදායම් බලපත්‍ර ලබාගත් 302 කාණ්ඩයේ මෝටර රථයක මුල් ලියාපදිංචිය 2006 වර්ෂය ලෙස පරිගණක පද්ධතියේ අවිධිමත් ලෙස සටහන් කර තිබුණි. මේ නිසා රුපියල් 652,500ක සුඛෝපභෝගි බදු මුදලක් රජයට අහිමිවී තිබුණි. රජය සතු කැබ් රථයක ලියාපදිංචි අයිතිය පසුකාලීනව යම්කිසි පුද්ගලයකු වෙත පවරා තිබුණි. රජය වෙනුවෙන් ආනයනය කරනු ලැබූ එම වාහනය සඳහා 2013 වර්ෂයේ චී නිදහස් කළ රුපියල් 317,5774ක රේගු බදු මුදලක් අයකර නොතිබුණි. මෙකී වාහනයේ බලපත්‍ර අධිකාරිය වයඹ පළාත වුවද 2014 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා ආදායම් බලපත්‍ර ගාස්තු බස්නාහිර පළාත් බලපත්‍ර අධිකාරිය විසින් එකවර අයකර තිබීම ගැටලු සහගත බව විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම විශේෂ කොන්දේසි කිසිවක් ලියාපදිංචි සහතිකයේ ඇතුළත් නොකර ද්විත්ව කාර්ය වාහන සඳහා වන ලියාපදිංචි අංක යටතේ විශේෂ කාර්යන් සඳහා ආනයනය කළ වාහන ලියාපදිංචි කොට තිබුණි. මෙසේ ලියාපදිංචි කිරීම හේතුවෙන් 2018 හා 2019 වර්ෂයන්වල වාහන 09ක් සඳහා රජයට අහිමිවී ඇති රේගු බදු මුදල රුපියල් 274,729,88කි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් මේ ආකාරයට රජයට ලැබිය යුතු විශාල බදු ආදායමක් අහිමිකර ඇත. නැතහොත් එම බදු මුදල පිල්ලිගසා තිබේ. වංචාසහගත අයුරින් මෙම කටයුතු කිරීම සඳහා මින් යම්කිසි මුදලක් ඇතමුන්ගේ සාක්කුවලට ගොස් ඇති බව පැහැදිලිය. මේ සම්බන්ධව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ ආරම්භකොට ඇති බවත් ඇතැම් සිද්ධීන් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකොට ඇති බැව් විගණනයට කළමනකාරිත්වය මගින් ප්‍රකාශ කොට ඇත. මෙකී විගණන වාර්තාව නිරීක්ෂණය කිරීමේදී මේ තුළ මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බව ඉතා පැහැදිලිය. රට ආර්ථික වශයෙන් දැඩි ලෙස අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති මේ අවස්ථාවේ රජයට ලැබිය යුතු කෝටි ගණනක මුදලක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අහිමි කොට ඇත.

මේවා අතීතයේ කළ සිද්ධීන් විය හැක. ඒවායේ ප්‍රථිඵල රට්ටුන්ට දැන් ලැබෙන්නට පටන්ගෙන ඇත. මෙකී මුල්‍ය අක්‍රමිකතා පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකොට නීතිමය පියවර ගැනීම මෙන්ම රාජ්‍ය මුදල් අවභාවිතා නොවන පරිදි කටයුතු කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය කරන ලෙස විගණනය මගින් නිර්දේශකොට ඇත.

එමෙන්ම මෝටර රථ සඳහා අංක තහඩු මුද්‍රණය විවිධ පරිමානවලින් සිදු කරනු ලැබේ. ඒවායේ ගැනුම් පිරිවැයද විවිධ මිල ගණන් යටතේ විය. එමෙන්ම අංක තහඩුවල සටහන් කරන මතුපිට සලකුණ සියලු අංක තහඩු සඳහා ඒකාකාරී විය. කෙසේ වුවද මි.මි 500 110 තහඩුවේ විකුණුම් මිල සැපයුම්කරු විසින් තීරණය කොට ඇත්තේ කිසියම් ලාභ ආන්තිකයක් සහිතවය. ඒ අනුව එම ගැනුම් මිල පදනම් ලෙස ගෙන ඉතිරි අංක තහඩුවලට කළ ගෙවීම් ගණනය කළවිට 2015 වර්ෂයේ මැයි මාසයේ සිට 2019 වර්ෂයේ ජුනි මාසය දක්වා කාලය තුළ නිකුත් කළ අංක තහඩු වෙනුවෙන් රුපියල් 719,182,714ක මුදලක් වැඩිපුර ගෙවා ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාහනවල අනන්‍යතාවය හඳුනා ගැනීම වෙනුවෙන් රේඩියෝ සංඛ්‍යාත දත්ත හඳුනාගැනීමේ අක්ෂරය සහිත ස්ටිකරයක් හඳුන්වා දී තිබුණි. මෙය ප්‍රායෝගිකව භාවිතයට නොගන්නා බැවින් එම ස්ටිකරය මුද්‍රණය කරනු ලබන පුද්ගලික සමාගම ලබා ගන්නා ලාභය හැර වෙනත් කවර පාර්ශවයකට හෝ ලබාගත හැකි ප්‍රයෝජනයක් නොවූ බව විගණනය මගින් අනාවරණය කොට ඇත. වාහන අංකය පළාත් චැසි අංකය, වැනි සීමිත දත්ත පමණක් ලබාදීම නිසා 2019 වර්ෂයේ දෙසැම්බර් මස සිට 2020 අගෝස්තු මස දක්වා නිකුත් කර ඇති ස්ටිකර් 302192 වෙනුවෙන් එම පුද්ගලික සමාගමට ගෙවූ රුපියල් 153,059,534ක මුදල නිෂ්ඵල වියදමක් ලෙස නිරීක්ෂණය වී ඇති බව විගණන කාර්යාලය පවසයි.

වැය කරන මුදලට ප්‍රයෝජනයක් ලැබෙන පරිදි රාජ්‍ය මුදල් භාවිතා කළ යුතුය. එහෙත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ඒ අයුරින් මෙකී මුදල් භාවිතා කොට නොමැති බව ඉතා පැහැදිලිය. එමෙන්ම වාහන අංක තහඩුවල පළාත් අක්ෂරය මුද්‍රණය කිරීම නිසා වාහනයක අයිතිය පළාත් අතර විතැන්වීමේ දිනම අංක තහඩු මිලදී ගත යුතුය. මෙම අක්ෂර මුද්‍රණය කිරීමෙන් එම මුද්‍රණකරු උපයන ලාභය හැර වෙනත් කවර පාර්ශවයකට හෝ ලබාගත හැකි උපයෝගිතාවයක් නිරීක්ෂණය නොවන බවට විගණනය මගින් අනාවරණය කොට ඇත.

පසුගිය වර්ෂ 03 ක කාලයක් සඳහා මෙසේ විතැන්වු වාහන 376,233ක අංක තහඩු වෙනුවෙන් මුද්‍රණකරුවෙත රුපියල් 778,448,278ක මුදලක් ගෙවා තිබුණි. මෙකී මුදලේ ඵලදායිතාවය පිළිබඳ විගණනයේදී ප්‍රශ්නගත කරුණක් වී ඇත. එමෙන්ම ආනයනික තහඩු වෙනුවෙන් වාර්ෂික දළ වශයෙන් රුපියල් මිලියන 260ක් පමණ වැය කරනු ලැබේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment