හංස සංස්කරණාවලියේ සිරිසුමන ලකුණ

353

සංස්කරණය – මහාචාර්ය  පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි
 ප‍්‍රකාශනය – සරසවි ප‍්‍රකාශකයෝ

 මෙම ග‍්‍රන්ථය අද දින සවස 03.00 ට  කොළඹ 07 ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන මධ්‍යස්ථාන ශ‍්‍රවණාගාරයේදී ජනගත වන අතර,  මේ ලිපිය ඒ නිමිත්තෙනි.

 සිංහල සංදේශ කාව්‍ය අතර හංස සංදේශයේ පරිදර්ශනය, ගම්භීරවත් සසංවේදීවත් සංවිභාගයේදී දකිනට හැකි සුවිසෙස් සලකුණ වන්නේ, හංස කතුවරයාගේ ස්වතන්ත‍්‍රවූත් ස්වාධීනවූත් අනායත්තවූත් වැනුම් මගයි. භාරතීය සංස්කෘත දූත කාව්‍ය ඇසුරේ වැඩුණ ගණනින් සුවිසල් සිංහල සංදේශ කාව්‍යයෝ පෙරදිග ආලංකාරික ෙසෙද්ධාන්තික රාමුව නොඉක්මවූ නමුත් එකී කක්ෂය ඇතුළත විබුධ නිර්මාණශීලීත්වයකට උරුමකම් කීවෝය. ඒ අතුරෙන් කෝට්ටේ යුගයේ ප‍්‍රණීත, කතුවරයා අරබයා මතිභ‍්‍රම තිබුණ මුත් සංදේශයේ පැනෙන ඇතැම් පද්‍ය පාද කරණ කොට ගෙන වීදාගම මෛත්‍රෙය හිමිපාණන් විරචිත බවට සැලකෙන, හංස සංදේශය ”සියබස්ලකර” නම් සිංහල සාහිත්‍යයේ අත්පොතට ගරු කොට සුසාධිත බව පෙනෙයි. එකී හංස සංදේශය පොදු ජනතාවට වඩාත් ළං කරමින් එහි රසය හා හරය සරලව හා සුලලිතව යළි සකසා එළි දක්වන්නට කොළඹ සරසවියේ සිංහලාංශයේ මහැදුරු පූජ්‍ය අගලකඩ සිරිසුමන නාහිමිපාණෝ සමත්ව සිටිති. උන්වහන්සේගේ ඒ සැකසුම ගැන එහි මෙසේ සටහන් කොට ඇත.

හංස සංස්කරණාවලියේ සිරිසුමන ලකුණ

”අප උසස් පෙළ අධ්‍යයන කටයුතුවල යෙදී සිටිය දී සිංහල විෂය නිර්දේශය සඳහා සම්භාව්‍ය පද්‍ය කෘතියක් ලෙස අපට නිර්දේශිතව පැවතියේ හංස සංදේශය කෘතියයි. මා උසස් පෙළ හැදෑරූ බද්දේගම මාජුවාන ශ‍්‍රී ඉන්දසාර විද්‍යායතන පිරිවෙනේ සිටි අපූරු ඇදුරන් හංස සන්දේශයේ ඇති රසප‍්‍රවාහය නොඅඩුවම අප වෙත ප‍්‍රදානය කළ අයුරු ජීවිතයේ කිසිදා අමතක නොවනු ඇත. නූතනයේ බාහිර අධ්‍යාපන ආයතනයන්හි හුරු කරන පරිදි ප‍්‍රශ්නයකට පිළිතුරක් සපයා ගැනීමේ අටියෙන් කළ පාඩමක් නොව හංසය අප පාඩම් කළේ එහි පැවති රසමුසු සෞන්දර්යාලංකාර විමසා ගැනීමෙහි ද ආශාවෙනි. ඒ අනුව පිරිවෙන් වේලාවෙන් පසු, දිනකට එක් කවියක් පාඩම් කර ගැනීමට පිරිවෙන් බිමෙහි තිබූ දැවැන්ත රුක් සෙවණක් සොයා ගියෙමි. ශිෂ්‍යයකුව සිට විඳි ඒ රසය නිසා ම අන් සියලූ සංදේශවලට වඩා මාගේ ප‍්‍රියතම කාව්‍ය වූයේ හංස සංදේශයයි. එය මෙලෙස සංස්කරණ කෘතියක් ලෙස සකස් කරන්නට කල්පනා කළේ ද එබැවිනි. (පිටුව 07)

 එනයින් ගත්කල සිරිසුමන නා හිමියෝ හංස සංස්කරණාවලියේ නව ලකුණක් තබන්නට තැත් කොට ඇත. ඒ කුමක්දැයි කෙටියෙන් හෝ විමසීම මෙහි අරමුණයි. හංස සංදේශයට සංස්කරණ/විවරණ දුන් පැවිදිගිහි පඬිවරු අතර, රත්මලානේ ශ‍්‍රී ධර්මාරාම හිමි, වැලිවිටියේ ශ‍්‍රී සෝරත හිමි, කේ.ඞී.පී. වික‍්‍රමසිංහ, දෙගම්මැද සුමනජෝති, රැු. තෙන්නකෝන්, චාල්ස් ගොඩකුඹුරේ, ජී.එස්.බී. සේනානායක, අමරසිරි ගුණවඩු, පී.එල්. පෙරේරා, ඔක්කම්පිටියේ පඤ්ඤාසාර හිමි හා සිරි තිලකසිරි යන අය වෙති. ඒ ඒ අයගේ සංස්කරණ ද සේවනය කරමින් අප නාහිමිපාණෝ සිදු කර ඇති මේ සරල සංස්කරණයට පූර්වයෙන් ඉදිරිපත් කරනු ලබන පිටු 46ක හැඳින්වීම හංසය විෂයයක සැලකිය යුතු පරිමාණයක දැනුමක් පාඨකයාට ගෙන දෙන්නකි. සංදේශ සාහිත්‍ය ඉතිහාසය, සංදේශ යුගය හෙවත් කෝට්ටේ යුගය, සංදේශයේ අන්තර්ගත වර්ණනා යනාදි අනුමාතෘකා 17ක් පුරා විහිද ඇති එය සංස්කරණයෙහි ව්‍යක්තබව සහවේදනය කරයි. තවද හංසය සම්බන්ධ ඇති වාද පිළිබඳව ද තම පන්හිඳෙන් උන්වහන්සේ එතුළ වීමංසනය කරති.

 ”හංසය, ගිරාවට පිළිතුරකැයි යනුවෙන් ප‍්‍රවාදයක් ඇතැම් සාහිත්‍යකරුවන් අතර එයි. හංසයේ කතුවරයා කවරෙකුුද යන්න තීන්දු කර ගැනීමට මෙය ද මහත් සේ වැදගත් ය. අනුරාධපුර යුගයේ සිට පැවත පැමිණි මහාවිහාර, ජේතවන, අභයගිරි යන තුන් නිකාය පොලොන්නරු යුගයේදී මහපැරකුම්බාවන් සමගි කොට එක් නිකායක් බවට පත් කළ අයුරු පොලොන්නරුව කතිකාවතෙන් පෙනෙයි.” (පිටුව 30)

 හංසය සරලව සංස්කරණයේදී හංසයට ආවේණික විප්ලවකාරීත්වය අගලකඩ සිරිසුමන හිමි සුසංයමශීලී භාෂාවකින් සන්න කොට ඇති අයුරු සනිදර්ශනයකින් මෙසේ දැක්විය හැකිය. අන් සංදේශ හා සැසඳීමෙහිලා හංස කතු තම දූතයා යැවීමේදී සාම්ප‍්‍රදායික නක්ෂත‍්‍ර යෝග සුබ මුහුර්ත නිමිති යෝගාදිය බැලීමේ දෘෂ්ටිය නිශේධනය කරන පහත කවි පාද උපුටමින් ඒ ස්ඵුට කළ හැකිය.

 තුුසර තුසර කර සිහිලස කැරැු ඉක් ක්ම අඹර තඹර කර දිනකර එන තෙ ක්ම බැහැර නොහැර සිත සිහි කැරැු පිරිත ක්ම තිසර තිසර මමිතර මෙපුරෙන් නි ක්ම  (පිටුව 136)

 සිරිසුමන හිමිපාණෝ මෙයට සපයන සරල සන්නය නම්: ”පින්නත්, චන්ද්‍රයාත්, සිසිලසත් බැහැර කර අහස නමැති නෙළුම් විලට සූර්යයා එන කල්හි හැම පිරිතක් ම බැහැර නොකොට සිතින් සිහි කර මගේ හංස මිත‍්‍රයාණනි, මේ නගරයෙන් පිටත්ව යන්න” යනුවෙනි. උන්වහන්සේගේ ඒ විවරණය පැහැදිලිය. අර්ථ පූර්ණය. රස පූර්ණය. රමණීයය. කමනීයය. එනයින්ම තම හංස සංස්කරණාවලියේ සිරිසුමන ලකුණ දැකගත හැකිය.

 හංසයේ භාෂා රීතියේ තවත් සුවිශේෂත්වයක් නම් පැරකම්බා සිරිත්කරු ගුරු කොට ගත් සංස්කෘත මිශ‍්‍ර බසයි. එසේ සකුමුසු පහත පද්‍ය බලන්නැ.

 වික‍්‍රමවීර විරිදුන් දැක නොපෑ පිටි සක‍්‍රම නිබොරු බස් මිස නො තෙපලන සැටි අක‍්‍රම වංක ගුුණ මඳකුත් නො ගෙන සිටි වික‍්‍රමසිංහ අධිකාරග මැතිඳු සිටි  (පිටුව 123)

 උන්වහන්සේ එසේ සංස්කරණය කළ එම කවට උන්වහන්සේම ගොතන පරිකථාව කොතරම් රසවත්ද යන්න මෙසේ උපුටා දැක්විය හැකිය. ”වික‍්‍රමසිංහ අධිකාරතුමා ගැන කියවෙන අපූරු විවරණයකි. ඔහු ගැන කළ මේ විවරණය ඉතා වැදගත් වන්නේ රාජ්‍ය නිලධාරියකු සතුව පැවති අගනා පුරුෂාර්ථ රාශියක් මේ තුළින් ප‍්‍රකට කරන බැවිනි. එනම් බුදුන්, දෙවියන් හා රජු පිළිබඳව භක්තිමත් වීම, සියලූ ජනයා කෙරෙහි මෙත් සිතින් ක‍්‍රියා කිරීම, තෙදවත් බව හෙවත් පූර්ණ පෞරුෂය, සතුරන් ඉදිරියේ එඩිතර බව, සත්‍ය වචන ප‍්‍රකාශ කිරීම, අවගුණ කිසිත් නොමැති වීම යනාදී කරුණු නූතන රාජ්‍ය නිලධාරියකු තුළ පවා පැවතිය යුතු සාරධර්ම පෙළයි.” පෙර සංස්කාරකවරයකු නොකළ දෙයක්ද එම විවරණයෙන් ජනිත කර ඇති අයුරු නිරීක්ෂණය කළ හැකිය. එනම් තත්කාලීන සංදේශකරුවන්ගේ අරුත් මගින් සමකාලීන සමාජයට ගත හැකි සංදේශ හෙවත් පණිවුඩද සිරිසුමන හිමිපාණන්ගේ කල්පනාවට හසුව ඇති බවයි. එකල අදිකාරම්වරු හා මෙකල නිලදරුවන්ගේ ගුුණාගුණ පිළිබඳ උන්වහන්සේගේ ඒ සටහන එක්තරා ආකාරයකට යති දෘෂ්ටිය කුළු ගැන්වුණ සමාජානුශාසනාවක් බඳුය.

 හංස කතුවරයාගේ කවීත්වය හා ශ‍්‍රද්ධා සම්පන්න ජීවන දෘෂ්ටිය අන්තර්ගත කවි/ වැනුම් එකින් එක විවරණය කරමින් අගලකඩ හිමිපාණන් ගෙනහැර පාන්නේ චිත‍්‍රපටයක රාමුවෙන් රාමුව සෙමෙන් සෙමෙන් චලනය වන්නාක් මෙනි. අන් සංදේශ කතුවරු මෙන් හින්දු දෙවියන්ගේ ආශිංසනය නොපතමින් එහෙත් රතන සුතුර සියදහස් වරක් ජල්පනය කරමින් බොදු දෙවිවරුන්ගේ ආශීර්වාදය රජුට පතන හංසය නම් ජාතික කාව්‍යය පොදු ජන හද බන්ධන විලසින් සකසන්නට සිරිසුමන හිමිපාණෝ සමත්ව ඇති බව මෙනයින් නිගමනය කළ හැකිය. ”හංස සංදේශය සඳහා සරල බසින් ලියැවුණු අර්ථ සන්න පරිකථා ආදියෙන් යුක්තව සම්පාදනය වී ඇති මෙම සරල සංස්කරණය හංස කතුවරයාගේ කවීත්වය හා වර්ණනා චාතූර්යය රස විඳීමට කැමැති ගුරු සිසු පාඨක සැමට උපකාරී වන කෘතියක්” ලෙස විනේතෲ මහාචාර්ය සඳගෝමී කෝපරහේවා ද මෙම කෘතියේ පසුවදනෙහි දක්වා ඇත්තේ ඒ බව තහවුරු කරමිනි.

 * නාලක ජයසේන

advertistmentadvertistment
advertistmentadvertistment