හක්ක පටස්?

267

(අලින්ට නොවේ)

මෙරට පාසල් දරු පරපුර හා වැඩිහිටි ප්‍රජාවගේ මුඛ සෞඛ්‍යයට අදාළව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා සුවිශේෂී අනාවරණයක් සිදු කළේය. ලෝක මුඛ සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවයේදී ඇමැතිවරයා අනාවරණය කළ ආකාරයට මෙරට පෙර පාසල් හා පාසල් දරු දැරියන්ගෙන් සියයට හැටතුනක් (63%) කිරි දත් දිරා යෑමෙන් පීඩා විඳින අතර, වැඩිහිටි ජනතාවගෙන් අඩක් විදුරුමස් රෝගවලින් පෙළේ. එසේම මෙරට පිරිමින් අතර මුඛ පිළිකාව වේගයෙන් පැතිර යන බව හඳුනාගෙන ඇත.

ස්වකීය විෂය සම්බන්ධ ප්‍රාමාණික දැනුමකින් හෙබි සෞඛ්‍ය ඇමැතිවරයකු කලකට පසු පත්වීම පිළිබඳව අපට ඇත්තේ විශාල ප්‍රීතියකි. මහජනතාව මුහුණ දෙන රෝග පමණක් නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද සෞඛ්‍ය ඇමැතිවරයා සතු දැනුම භාවිතා කර දැනට කිසියම් පසුබෑමකට ලක්ව ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රය යළි ඔසවා තැබීමට සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතාට හැකියාව ලැබුණොත් එය මුළුමහත් ශ්‍රී ලාංකිකයන්ගේම භාග්‍යයකි.

ඇමැතිවරයා අනාවරණය කළ කරුණු අතරින් එකක් අතිශයින්ම භයානකය. මෙරට පිරිමින් අතර මුඛ පිළිකාව වේගයෙන් පැතිර යන බවත්, ඊට හේතු වූ කරුණු කිහිපයක් ද ඇමැතිවරයා හෙළි කළේය. ඒ අනුව අධික සීනි භාවිතය, නිසි පරිදි දවසට දෙවරක් දත් නොමැදීම, මත්වතුර පානය හා දුම්කොළ හා පුවක් සැපීම එම හේතු අතර ඉදිරියෙන්ම ඇත.

මෙහිදී ඇමැතිවරයාට මඟහැරුණු තවත් බරපතළ සමාජ ඛේදවාචකයක් පිළිබඳව අපි අනාවරණය කරන්නට කැමැත්තෙමු.

මේ වනවිට නව යොවුන් විය ගත කරමින් සිටින පාසල් දරු දැරියන් හා කර්මාන්ත ශාලාවල සේවය කරන තරුණයන් අතර බහුලව භාවිත වන ‘හක්ක පටස්’ නමින් ඔවුන් අතර ප්‍රචලිත මත්වීම සඳහා යොදාගන්නා උපක්‍රමය තුළින් සිදුවන විනාශය අතිමහත්ය.

ඉතා අඩු වියදමකින් සකස් කරගත හැකි වීමත්, දීර්ඝ වේලාවක් මත් ස්වභාවය පවත්වාගෙන යා හැකි වීමත් නිසා මෙම උපක්‍රමය අනුගමනය කළත් ඒ තුළින් මෙරට තරුණ පරපුර අතරින් විශාල පිරිසක් තවත් වසර කිහිපයක් තුළ මුඛ පිළිකා රෝගීන් බවට පත්වීම වැළැක්විය නොහැක.

පුවක්, හුණු හා දුම්කොළ යොදාගෙන සකස් කරගන්නා මෙම ‘හක්ක පටස්’ නමැති මත් විශේෂය දීර්ඝ වේලාවක් මුඛය තුළ තබාගෙන සිටීම හේතුවෙන් මුඛය තුවාල වීම තරුණ පරපුර තුළ බහුලව දැකිය හැකිය. මෙය දීර්ඝකාලීනව පැවතීම හේතුවෙන් නියත වශයෙන්ම මුඛ පිළිකා ඇතිවන බව වෛද්‍ය මතය වේ.

රාත්‍රී සේවා මුරවල නිරතවන කර්මාන්ත ශාලාවල සේවකයන්ද මෙම ‘හක්ක පටස්’ භාවිත කරන අතර ඔවුන්ගේ අරමුණ නිදිමත ඇතිවීම නවතා ගැනීමයි. මෙම සමාජ ව්‍යසනය පිළිබඳව සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවධානය වහා යොමුවිය යුතුය. මෙම මත් විශේෂය භාවිත කරන වයස් සීමාව ක්‍රමයෙන් පහළට පැමිණෙමින් පවතින අතර ඒ අනුව ඉදිරි තරුණ පරපුර අතරින් සැලකිය යුතු පිරිසක් මුඛ පිළිකා රෝගීන් වනු ඇත. එවිට ඒ වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැරීමට සිදුවන පිරිවැය ද දැරිය නොහැකි තරම් වනු ඇත.

නීති විරෝධී මත්ද්‍රව්‍යයක් නොවූවත් මෙම හක්ක පටස්වලින් සිදුවන හානිය සලකා මෙම උවදුරෙන් දරු පරපුර හා තරුණ පරපුර මුදා ගැනීමට පාසල් මට්ටමින් හා කර්මාන්ත ශාලා මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් වහ වහා ආරම්භ කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය දැනුම සහිත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇත. අවාසනාවකට තවමත් මේ රටේ අවදානමට පෙර සූදානමක් නොමැති බව කිව යුතුය. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසීමට බලා නොසිට මේ උවදුරෙන් අපගේ අනාගත පරපුර බේරාගැනීමට හෙට නොව අද සිටම ක්ෂණික පියවර අනුගමනය කිරීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවෙතැයි නිරෝගී පරපුරක් අපේක්ෂා කරන අපගේ බලාපොරොත්තුවයි.


advertistmentadvertistment