හකුළා ගත් කාබනික විප්ලවය ලබන යලෙන් යළි අරඹමු!

157

කෘෂි රසායන නොමැතිව සාර්ථකව වගාකළ හැකි ක‍්‍රමයක් පිළිබඳව මේ රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝ විශ්විද්‍යාලයක හෝ වෙනත් පර්යේෂණ ආයතනයක හෝ විධිමත් පර්යේෂණයක් සිදුවී නැත. වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ ගොවිතැන් කරන ගොවීන් කෘෂි රසායනවලින් තොරව සාර්ථකව ගොවිතැන් කරන හැටි දන්නේ නැත. කෘෂිකර්මය ආශ‍්‍රිත පුද්ගලික අංශයේ සමාගම් ද කෘෂි රසායන විකුණනවා මිස වෙනත් ගොවිතැනක් දන්නේ නැත.

 2021 වසරේ මැයි මාසයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සියලූ කෘෂි රසායන ආනයනය කිරීම නවතාලීම සඳහා නිකුත් කළ ගැසට්ටුවෙන් ඇරඹුණු කාබනික විප්ලවය, නොවැම්බර් මස දී එම ගැසට්ටුව අවලංගු කිරීම මඟින් අවසන් වී ඇත.

 කාබනික ගොවිතැන නාමයෙන් රජය සිදුකළේ කුමක්ද?

 රජය විසින් පළමුව වසවිස නැති ගොවිතැනට අදාළ කැබිනට් පත‍්‍රිකාවක් සම්මත කර, එම අරමුණ ඉටු කර  ගැනීම සඳහා 40කට අධික සාමාජිකයන් පිරිසකගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවනු ලැබීය. වහාම ක‍්‍රියාත්මක වන පරිදි කෘෂි රසායන  ශ‍්‍රී ලංකාවට ගෙන්වීම තහනම් කිරීමට ද කටයුතු කළේය. අනතුරුව, ලොව වසවිස නැති පළමු රට බවට  ශ‍්‍රී ලංකාද්වීපය පත් කිරීම තමාගේ ඉලක්කය බව දේශීය හා ජාත්‍යන්තර සමුළුවලදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දිගින් දිගටම ප‍්‍රකාශය කළේය.

 කෙසේවුවද රජය හෝ පත්කළ බළකාය හෝ මෙම කාබනික විප්ලවය සිදු කරන්නේ කෙසේදැයි යන්න පිළිබඳව වැඩපිළිවෙළක් සකසා ප‍්‍රකාශයට පත් කළේ නැත. අඩුම ගණනේ එම බළකාය රැුස්වුණු බවක් ද දැනගන්නට ලැබුණේ නැත. පසුව වාර්තා වූයේ එම බළකාය 20

 ගණනකට අඩු කළ බවය. එම නව බළකාය ද කළ දෙයක් දැන ගන්නට නැත. අදාළ රාජ්‍ය අමාත්‍යාංශය ද කාබනික විප්ලවය සිදු කිරීම සඳහා තවත් විශේෂඥ කමිටුවක් පත් කළ බව වාර්තා වූ නමුත් ඊට ද සිදුවූ දෙයක් දැනගන්නට නැත. අවසානයේ දී ජනාධිපතිතුමා විසින් කාබනික විප්ලවය සිදුකිරීම සඳහා තවත් විශේෂඥ කමිටුවක් ද පත් කළ අතර එයත් එක් වතාවක් රැුස්වී, හදිසියේ මේ පරිවර්තනය සිදු කළ නොහැකි බවට සාකච්ඡුා වී ඇත.

 රජය, කාබනික බළකායන් හා විශේෂඥන්ගේ කමිටු පිහිටුවන අතරේ රටේ සිදුවූයේ වෙනත් දෙයකි. මෙම කාබනික පරිවර්තනය සිදු කිරීමේ වගකීම නිල වශයෙන් පැවරී තිබූයේ කෘෂිකර්ම අමාත්‍යාංශයට හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙහිදී එක හෙළාම ප‍්‍රකාශ කර සිටියේ, තමන්ට මෙය කිසිසේත්ම කළ නොහැකි බවයි. ඒ කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් කෘෂිරසායන භාවිතා නොකර හොඳ අස්වැන්නක්  ලබාගැනීමට හැකි කිසිදු සාර්ථක පර්යේෂණයක් සිදුකර නොමැති නිසාය. ඒ නිසා රජය මේ මාස 6 පුරාවටම කළේ අඳුරේ අතපත ගෑමකි. පළමුව ඔවුහු ගොවීන්ටම කාබනික පොහොර නිපදවාගන්නට කීහ. පසුව රජය විසින් කාබනික පොහොර නිෂ්පාදනය කර ගොවීන්ට ලබාදෙන බව කීය. ඉන්පසුව පිටරටින් කාබනික පොහොර ගෙනත් දෙන බව කීය. ඒ අතරතුර නැනෝනයිට‍්‍රජන් යනුවෙන් පවසමින් රසායනික දියර පොහොර, වැඩි මිලකට, ප‍්‍රමිතිය සහතික නොකර ගෙන්වීමට ද රජය කටයුතු කළේය. ඉන් කෘෂිරසායන තහනම ඉබේම අවලංගුවිය. තවද ඇතැම් බෝගවලට පමණක් පොහොර ගෙන්වීමට අවසර දුන්නේය. ඉන්පසු මෙතෙක් තහනම් කර තිබූ පලිබෝධනාශක ඇතුළු සියලූ පලිබෝධනාශකවල තහනම ද ඉවත් කළේය. ගොවීහු කළ යුත්තේ කුමක්දැයි සිතාගැනීමටවත් නොහැකිව තෙල්, බෙහෙත් එනම් වසවිස ඉල්ලා සටනට බටහ. සිදුවූයේ රට, වසවිස නැති ගොවිතැන විෂයයෙහි කබලෙන් ළිපට වැටීම පමණි.

 රජයට වැරදුණ තැන

 කෘෂි රසායන නොමැතිව සාර්ථකව වගාකළ හැකි ක‍්‍රමයක් පිළිබඳව මේ රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝ විශ්විද්‍යාලයක හෝ වෙනත් පර්යේෂණ ආයතනයක හෝ විධිමත් පර්යේෂණයක් සිදුවී නැත. වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ ගොවිතැන් කරන ගොවීන් කෘෂි රසායනවලින් තොරව සාර්ථකව ගොවිතැන් කරන හැටි දන්නේ නැත. කෘෂිකර්මය ආශ‍්‍රිත පුද්ගලික අංශයේ සමාගම් ද කෘෂි රසායන විකුණනවා මිස වෙනත් ගොවිතැනක් දන්නේ නැත. අතලොස්සක් වූ කාබනික ගොවීන් ද දන්නේ පාරම්පරික කාබනික ගොවිතැනයි. එය අපහසු බව ඔව්හු කියති. ජෛවවිද්‍යාත්මක දියර හා ඝන පොහොර නිෂ්පාදනය කර විකුණන කුඩා පුද්ගලික සමාගම් කිහිපයක් තිබුණ ද එම සමාගම්වලට ද විවිධ බෝග වර්ග සඳහා තම නිෂ්පාදන භාවිතා කිරීම පිළිබඳ නිසි අවබෝධයක් නැත.

 ඒ අනුව එක කරුණක් පැහැදිලිය. එනම් රසායනික කෘෂිකර්මය මගින් ලබාගන්නා අස්වැන්න පාරම්පරික කාබනික ගොවිතැන මඟින් කිසිසේත්ම ලබාගැනීමට නොහැක. මහන්සිය වැඩියි. වියදම වැඩියි. අස්වැන්න අඩුයි. සාම්ප‍්‍රදායික කාබනික ගොවිතැනට, රසායනික කෘෂිකර්මය පෑ ප‍්‍රාතිහාර්යයන් කළ නොහැකි බව නොරහසකි. රජයට වැරදුණේ මේ ඇත්ත අමතක කිරීම නිසාය.

 වත්මන් ජනාධිපතිතුමාට වසවිස නැති ගොවිතැන පිළිබඳ හොඳ, අහිංසක ප‍්‍රාර්ථනයක් හා තීරණයක් මිස ඒ වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් හෝ සැලැස්මක් හෝ නොවීය. මේ ප‍්‍රාර්ථනය ඉටු කළ හැකි විද්‍යාත්මක දැනුම හා දැක්ම ඇති කිසිවෙකු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හෝ රජයේ කිසිදු කමිටුවක හෝ බළකායක හෝ සිටි බවක් පෙනෙන්නට නැත. තමන්ගේ දැනුමට අනුව කෘෂිරසායන නොමැතිව සාර්ථක වගාවක් කරන්නට බැරියයි කී අයටම, මෙම වසවිස නැති ගොවි වැඩසටහන දියත්කරන්නට යැයි බල කිරීමෙන් සිදුවූයේ ප‍්‍රාර්ථනය ඉටුවීම නොව ප‍්‍රාර්ථනය සුනුවිසිනු වී යාමයි. ගොවියා සහ රට අමාරුවේ වැටීමයි.

 විද්‍යාත්මක කාබනික විසඳුම

 ප‍්‍රාර්ථනය ඉටුකර ගැනීමේ විද්‍යාත්මක ක‍්‍රමය නම්, පළමුව මෙතෙක් සිදුකර ඇති පර්යේෂණයන් හි ප‍්‍රතිඵල විශ්ලේෂණය කිරීමයි. දෙවනුව ඒවායේ ඇති හිඩැස්  හඳුනාගැනීමයි. තෙවනුව එම හිඩැස් පිරවීම සඳහා නව පර්යේෂණයන් කිරීමයි. සිව්වෙනුව ඒවායේ සාර්ථක ප‍්‍රතිඵල ප‍්‍රධාන ප‍්‍රවාහයට ගෙන ඒමයි. මෙම වෙනස සිදුකළ හැකි වේගය තීරණය වන්නේ මෙම පර්යේෂණවල සාර්ථකත්වය හා සාර්ථක ප‍්‍රතිඵල කෙතරම් වේගයෙන් ගොවිජනතාව වෙත ගෙනයා හැකිද යන මතයයි.

 වත්මන් රජයට පටන්ගැනීමට තිබුණේ දැනට වසවිස නැති ගොවිතැන පිළිබඳ වැඩකටයුතු නතර වූ තැන සිටය. එහෙත් අවාසනාවකට මෙන් මේ රජයට වසවිස නැති ගොවිතැන සංවර්ධනය වී නතර වී තිබූ තැන සොයාගැනීමට නොහැකි විය. ඒ නිසා පසුගිය මාස 6 තිස්සේම අඳුරේ අතපත ගෑ රජය, දැන් පරාජය බාරගෙන කාබනික විප්ලවය හකුළාගෙන ඇත.

 රසායනික කෘෂිකර්මාන්තයේ හොඳ ප‍්‍රතිඵල රැුක ගනිමින් එහි විනාශකාරී අනිටු විපාක වළක්වාගැනීමට ඇති විසඳුම සාම්ප‍්‍රදායික කාබනික ගොවිතැන නොව නවීන ජෛවවිද්‍යාත්මක ගොවිතැනයි. නවීන ජෛවවිද්‍යාත්මක ගොවිතැන, යුරෝපයේ ස්කැන්ඩිනේවියානු රටවල පමණක් නොව ජපානය, කොරියාව, චීනය ආදී ආසියාතික රටවල ද වේගයෙන් දියුණු වෙමින් පවතී. ශ‍්‍රී ලංකාවේ ද සාර්ථක ලෙස එක් වරක් අත්හදා බලා ඇත. ඒ පසුගිය රජයේ වසවිස නැති රටක් වැඩසටහන හරහාය.

 වසවිස නැති රටක්

 වසවිස නැති රටක් වැඩසටහන 2016-18 කාලය තුළ දී සිදු කරනු ලැබූයේ විද්‍යාත්මක ක‍්‍රමයකටය. වසවිස නැති රටක් වැඩසටහන සම්පාදනය කළේ 2016 වනවිට රටේ සිටි කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්, කාබනික ගොවිතැනේ වසර ගණනාවක් තිස්සේ යෙදී සිටි ගොවීන්, ජෛවවිද්‍යාත්මක පොහොර හා පළිබෝධ පාලක නිෂ්පාදකයන්, රසායනික ගොවිතැනේ යෙදී සිටින ගොවීන් හා කෘෂිකර්ම ක්ෂේත‍්‍රයට සම්බන්ධ රජයේ නිලධාරීන් හා විශේෂඥයින් සමඟ මාස හයක් පමණ තිස්සේ සිදුකළ සාකච්ඡුා හා සංවාදවලින් ගොනු කරගත් තොරතුරු විශ්ලේෂණය කිරීමෙනි. එහිදී ජනාධිපති කාර්යාලය විසින් නවීන ජෛවවිද්‍යාත්මක ගොවිතැන මත පදනම්ව වසවිස නැති ශ‍්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා තුන් අවුරුදු සැලැස්මක් සකසාිවසවිස නැති රටක් – තුන් අවුරුදු, දස වැදෑරුම්, ජාතික සැලැස්ම, නමින් 2016 මාර්තු මස දී එළිදක්වනු ලැබීය. මෙම වැඩසටහන වසර දෙකක් පුරා සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමෙන් පසු ලැබූ අත්දැකීම් සම්පිණ්ඩනය කර වසවිස නැති රටක් වෙනුවෙන් එක් වෙමු යන ප‍්‍රකාශනය ද 2018 මැයි මස එළිදක්වනු ලැබීය. එමෙන්ම එම පර්යේෂණය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ද සම්පාදනය කරනු ලැබීය.

 වසවිස නැති ගොවිතැන විද්‍යානුකූලයි, අත්දුටුයි, ප‍්‍රත්‍යක්ෂයි!

 වසවිස නැති රටක් වැඩසටහන ප‍්‍රධාන වශයෙන්ම දියත් වූයේ වී ගොවිතැන සම්බන්ධයෙනි. මූලික අත්හදාබැලීම්වලින් පසුව 2017-18 මහ කන්නයේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ජනාධිපති කාර්යාලය එක්ව‘ ජෛවවිද්‍යාත්මක වී ගොවිතැන’ හා රසායනික වී ගොවිතැන අතර සංසන්දනාත්මක අධ්‍යනයක් සිදු කරනු ලැබීය. එය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බතලගොඩ, බෝම්බුවල, සමන්තුරේ හා පරන්තන් යන සහල් පර්යේෂණ මධ්‍යස්ථාන 4 තුළ ද දෙපාර්තමේන්තුවට සම්බන්ධ ගොවීන් 150ක්

 සමඟ ද වැඩිදියුණු කළ වී ප‍්‍රභේද යොදා සිදු කෙරිණි.

 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ මධ්‍යස්ථානවල පැවති ආදර්ශන 5න් 3කම වසවිස නැති ජෛවවිද්‍යාත්මක නියැදියේ අස්වැන්න, යාය-2 නමින් හැඳින්වූ රසායනික නියැදියේ අස්වැන්නට වඩා වැඩි වූ අතර එක් ආදර්ශනයක නියැදි දෙකේම අස්වනු සමාන විය. දිස්ත‍්‍රික්ක 9ක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තෝරාගත් ගොවීන් 150ක් සමඟ කළ පර්යේෂණයේ ප‍්‍රතිඵල අනුව ගොවීන් 50%ක ගේම ජෛවවිද්‍යාත්මක ගොවිතැනේ අස්වැන්න, රසායනික ගොවිතැනේ අස්වැන්නට වඩා වැඩි විය. එනම් වී වගාවේ පියවර 28කින් යුතු ජෛවවිද්‍යාත්මක නිර්දේශය භාවිතයෙන් කෘෂි රසායනවලින් තොරව පළමු කන්නයේ දී ම, එම අස්වැන්නම හෝ ඊට වැඩි අස්වැන්නක්, එම වියදමටම හෝ ඊට අඩු වියදමකට ලබාගත හැකි බව විද්‍යානුකූලව ඔප්පු විය. එමෙන්ම 2017-18 මහ කන්නයේ දී ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ හා මහවැලි බී කලාපයේ වසවිස නැති රටක් වැඩසටහන යටතේ ලියාපදිංචි වූ වී ගොවීන් 5000ක් විසින් කෘෂි රසායනවලින් තොරව වැඩිදියුණු කළ බීජ භාවිතයෙන්, එනම් කීරිසම්බා, සම්බා සහ නාඩු වී කිලෝ මිලියන 10ක් නිපදවනු ලැබීය.

 සෙසු බොහෝ බෝග සඳහා ද පසු කාලීනව ජෛවවිද්‍යාත්මක පොහොර නිෂ්පාදකයෝ ද ගොවීහු ද පුද්ගලික අංශයේ සමාගම් ද එක්ව සාර්ථක ප‍්‍රතිඵල ලබාගන්නා නිර්දේශයන් සොයාගත්හ. ඊට පොහොර පමණක් නොව පළිබෝධ පාලනය ද ඇතුළත් විය. එය රසායනික ගොවිතැන මෙන් නොව ජෛව පද්ධති කළමනාකරණ ක‍්‍රමවේදයකි. සාමාන්‍ය වශයෙන් ගත් විට ගොවිබිමට අවශ්‍ය පොහොරවලින් 50%ක් ගොවියාටම සම්පාදනය කරගත හැකිය. තවත් 30%ක්, ගම් මට්ටමේ පොහොර ව්‍යවසායකයන්ට සම්පාදනය කළ හැකිය. සෙසු 20% සැපයීම, ජාතික වශයෙන් සිදු කළ යුතුවේ.

 2022 යල කන්නයටවත් සැරසෙමු!

 වසවිස නැති ගොවිතැන පිළිබඳ විද්‍යාව මේ වනවිට ශීඝ‍්‍රයෙන් සංවර්ධනය වී ඇත. නවීන ජෛවවිද්‍යාත්මක  ගොවිතැන යනු රසායනික පොහොර හා පළිබෝධ නාශක පිටරටින් ගෙන්වා බෙදා හරින වැඩපිළිවෙළක් නොව, මහපොලව, එහි වසන ක්ෂුද්‍රජීවීන්ගෙන් සරුකර වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා සූදානම් කිරීමයි. නමුත් සැලැස්මක් නැති නිසා මේ මහ කන්නය අසාර්ථක විය.

 ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැකිය. ඒ නිසා සුදුසුම දේ නම් දැන්ම සූදානම් වී 2022 යල කන්නයට විධිමත් වැඩසටහනක් දියත් කිරීමයි. විද්‍යාත්මක ගැටලූ නොමැති නිසා රජයට විසඳා ගැනීමට ඇත්තේ  ගොවිජනතාව නවීන ජෛවවිද්‍යාත්මක ගොවිතැන සඳහා සූදානම් කිරීමට අදාළ පරිපාලන, සාමාජීය හා මූල්‍ය ප‍්‍රශ්න පමණි. ජනාධිපතිතුමා මෑතක දී ප‍්‍රකාශ කළේ කෘෂි විශේෂඥයින් සියල්ල දැන් සිටින්නේ කෘෂි රසායන සමාගම්වල පඩි ලැයිස්තුවේ බවය. ඒ නිසා ඔවුන් සමඟ මෙය කළ නොහැකිය. ශ‍්‍රී ලංකාව ලෝකයේ පළමුවන වසවිස නැති රට බවට පත් කිරීමේ මෙහෙයුම තුළ ගොවිජනතාවගේ, ගොවි සංවිධාන වල, ප‍්‍රජාපාදක සංවිධානවල, කෘ.ප. නිලධාරීන්ගේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ, වාරිමාර්ග අමාත්‍යාංශයේ හා මහවැලි අමාත්‍යාංශයේ, සහයෝගයෙන් දියත්වන ඒකාබද්ධ වැඩපිළිවෙළක් ලෙස දියත් විය යුතුය. ඊට රාජ්‍ය අංශය, පුද්ගලික අංශය සහ සිවිල් සමාජය යන පාර්ශ්ව තුනටම එකතුව වැඩකළ හැකි යාන්ත‍්‍රණයක් තිබිය යුතුවේ. ඊට සුදුසු, ඒ පිළිබඳව කැපවුණු, ඒ පිළිබඳ විශ්වාස කරන, ඒ පිළිබඳව මනා විද්‍යානුකූල අවබෝධයක් ඇති මෙහෙයුම් මණ්ඩලයක් හා ඒකකයක් ජනාධිපති කාර්යාලය තුළ ස්ථාපිත කිරීම මගින් ජනාධිපතිතුමාගේ මෙන්ම රටේ සෑම පුරවැසියෙකුගේම වසවිස නැති ගොවිතැන හා ආහාර පිළිබඳ සිහිනය, ලබන යල කන්නයේ දීම සැබෑකරගැනීමට හැකිවනු ඇත.

හකුළා ගත් කාබනික විප්ලවය ලබන යලෙන් යළි අරඹමු!


අශෝක අභයගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment