හඬ නළුවේ ගුවන් විදුලි සලකුණ වජිර

30

1990 වසරේ දිනක මම කිසියම් කරුණක් සඳහා ගුවන්විදුලි කාර්යාලයට ගොස් සිටියෙමි. කොරිඩෝවකදී අහම්බෙන් මට හමුවූ වැලිකල (නිෂ්පාදක පී. වැලිකල මහතා) මා නවතා කතා කළේය. “අයිසෙ, තමුසෙගෙ නාට්‍ය පිටපත රෙකෝඩිං දාල තිබුණත්, මට ඒක ප්‍රොඩියුස් කරන්න වෙන්නෙ නෑ, මං රට යන හින්ද. ප්‍රොඩියුසර් කෙනෙක් හැටියට ඇවිල්ල ඉන්න අලුත් හාදයා ඒක කොහොම කරාවිද කියල කියන්න බෑ. තමුසෙවත් ඒ ගැන බලා ගන්නව.”

වැලිකල එදා අලුත් හාදයා ලෙස හැඳින්වූයේ දෙතිස් වසරක සේවයෙන් පසු නාට්‍ය අංශයේ පාලකවරයා ලෙස පසුගිය ඔක්තෝබර් 31 වැනිදා ගුවන්විදුලි සංස්ථාවෙන් විශ්‍රාම ගත් වජිර ඉන්දික කරුණාසේන මහතාය. 1969 වසරේ මුල සිට ගුවන් විදුලි වැඩසටහන් සඳහා නාට්‍ය රචනා සපයමින් සිටි මට, නිෂ්පාදකවරයකු වශයෙන් පළමු වරට වජිර හඳුනාගන්නට අවස්ථාව ලැබෙන්නේ ඒ අයුරිනි. අලුත්ම කලා ඉසව්වක් ලෙස ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදනය ආරම්භ වීමෙන් පසුව, 1950 සමයේ සිට මේ දක්වා කාලය තුළ එහි

හැඩගැස්ම අවධි තුනකට බෙදා දැක්විය හැකි බැව් පෙනේ. 1931 වසරේ නාට්‍ය අංශයේ නිෂ්පාදක ලෙස පත් වූ වැලිකලගෙන් ප්‍රථම අවධිය ඇරඹෙයි. දෙවැන්න 1968 දී ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදකවරයකු ලෙස සුගත් (සුගතපාල ද සිල්වා මහතා) ක්‍ෂේත්‍රයට පිවිසීමෙනි. ඊළඟ අවධිය 1990 වසරේ නාට්‍ය නිෂ්පාදකයකු ලෙස සේවයට එක්වූ වජිරගෙන් පටන් ගැනෙයි.

වජිර සිය මූලික ගුරුහරුකම් ලැබුවේ සුගත්ගෙනි. එදා රචකයෝ කිහිපදෙනෙක් වජිරට ද නාට්‍ය පිටපත් සැපයූහ. සුගත් පුහුණු කළ ඇතැම් ශිල්පීහු තවදුරටත් වජිරගේ නාට්‍යවලට සහභාගි වූහ. කල් යෑමේදී ඔහු අලුත් රචකයන් සහ ශිල්පීන් පිරිසක් හැඩගස්වා ගත්තේය. කේමදාසයන්ගෙන් සංගීතය ප්‍රගුණ කර සිටි වජිර, නාට්‍ය නිෂ්පාදනයේදී තමාගේම සංගීත නිර්මාණ යොදාගැනීම ආරම්භ කළේය.

හඬ නළුවේ ගුවන් විදුලි සලකුණ වජිර
ගුවන් විදුලි රඟමඩල අධීක්ෂණය කරමින්

නිෂ්පාදනයේදී රචකයාගේ අදහස් විමසීම වැලිකලගේ මෙන්ම සුගත්ගේ ද සිරිත වුවත් නිෂ්පාදනය යනු හුදෙක් නිෂ්පාදකයන්ගේම කාර්යයක් ය යන ස්ථාවරයෙහි එල්බ සිටි ඔහු යටත් පිරිසෙයින් කිසියම් චරිතයක් සඳහා ශිල්පියකුගේ නම යෝජනා කරනු ලැබීම පවා නොඉවසුවේය. පිටපත ඇසුරෙන් වජිර නිෂ්පාදනය කළේ ඔහුගේම පරිකල්පනයෙහි මැවුන නාට්‍ය විය යුතුය. තියුණු කනක් ඇති ඔහු තමාට වුවමනා හඬ, උච්චාරණය ඒ අයුරින්ම ලබාගැනීම සඳහා හිල්පීන් වෙහෙස කරවමින් ඔහුද වෙහෙසුණේය. ඔහු කටයුතු කළේ ආඥාදායකයකු ලෙසිනි. එහෙත් ‘සොයුරු’ යන විශේෂණය වෙනුවට ‘රුදුරු’ යන්න ඉඳිරියෙන් යෙදීම වඩාත් උචිත යැයි කීය. කෙසේ වුවත් ඒ දුෂ්කර ක්‍රියාවෙහි අවසාන ප්‍රතිඵලය වූයේ හැම විටම පාහේ හැම අතින්ම උසස් නිෂ්පාදනයක් බිහිවීමයි.

මෑතකදී විචාචරකයෝ කිහිපදෙනකු ගුවන්විදුලි නාට්‍ය කෙරෙන් ශ්‍රාවකයන් ගිලිහී ගොස් තිබෙන බවට මාධ්‍ය ඔස්සේ මැසිවිලි දෙඩූහ. අද ලොව පුරාම තත්ත්වය සැබැවින්ම එබඳු වුවත් ඔවුන්ගේ අරමුණ වූයේ වර්තමාන ගුවන්විදුලි නාට්‍ය සාකල්‍යයෙන්ම අවරට ගොස් ඇතැයි කියා සිටීමය. ඔවුන්ගේ තර්කය වූයේ කලකට ඉහත මුවන්පැළැස්ස නාට්‍ය මාලාවට සවන්දීම සඳහා පවුලේ සෑමදෙනා රේඩියෝව වටා රොක් වූ නමුත්, අද එවැනි තත්ත්වයක් නොතිබීමය. එක් අතකින් ගුවන්විදුලිය හැර වෙනත් ශ්‍රව්‍ය හෝ ශ්‍රව්‍ය/දෘශ්‍ය මාධ්‍ය පහසුකම් කිසිවක් එදා ජනතාවට නොතිබුණු බව ඔවුනට අමතකව ඇතත් අප එයට සවන් දුන්නේ දශක කිහිපයකට පෙර ජනතාව බව සැලකිය යුතුය. අභව්‍ය ගැමි පරිසරයක කෝරළේ මහත්තයා, කදිරා වැනි පෙළේ අභව්‍ය චරිත ඒකාකාරී රූකඩ ලෙස නැටවූ සමාජයක මුවන්පැළැස්සෙහි අද ඇත්තේ හුදු ඓතිහාසික අගයක් පමණි. එයම මිනුම් දණ්ඩක් ලෙස ගැනීම කලකට ඉහත ජනප්‍රියව තිබූ පියදාස සිරිසේනයන්ගේ නවකථා යළි ඔසවා තැබීමට දරන වෑයමක් වැන්න. 2022 ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලෙහිදී කැපී පෙනෙන කරුණක් වූයේ නාට්‍ය අංශයෙන් සම්මාන ප්‍රදානය සඳහා හොඳම ශිල්පියා සහ ශිලිපිනිය පමණක් තෝරාගෙන තිබීමය. නිෂ්පාදකයකු හෝ රචකයකු නොමැතිව එසේ කළේ කෙසේද යන්න ගැටලුවකි. එය වඩාත් සංකීර්ණ වන්නේ නිෂ්පාදන කුසලතා සහතිකයක් වජිරට පිරිනමනු ලැබීමෙනි. අප මෙය දකින්නේ නිෂ්පාදකයකු වශයෙන් නා නා සම්මාන රාශියක් දිනා ඇති ඔහුට උත්සවශ්‍රීයෙන් පුදන ලද අවමානයක් ලෙසිනි. නිෂ්පාදකගේ තත්ත්වය නිශ්චය කරන මිනුම් දණ්ඩක් විනිශ්චයකරුවන්ට තිබුණේය යැයි සිතීම අසීරුය.

ගුවන්විදුලි රඟමඬල, විශ්ව සාහිත්‍යයෙන්, බෞද්ධ නාට්‍ය, ඓතිහාසික නාට්‍ය, රහස් පරීක්‍ෂක නාට්‍ය. හොල්මන් නාට්‍ය ආදී නාට්‍ය වැඩසටහන් සියල්ල මෙන්ම කෙටිකථාව වැඩසටහන ද පසුගිය වකවානුවෙහි නිෂ්පාදනය කරන ලද්දේ වජිර විසින් බව මෙහිදී අවධාරණය කළ යුතුව ඇත. එක් කරුණක් මම අත්දැකීමෙන්ම ඔහු ගැන දනිමි.ඒ තමාගේ සේවය ඔහු තරම් ඇපකැප වීමෙන් ඉටුකළ රාජ්‍ය අංශයේ වෙනත් සේවකයකු මට හමුවී නැති බව ය. ඔහුගේ සමුගැනීම ගුවන්විදුලි සංස්ථාවට මහත් පාඩුවක් වනු ඇති බව නිසැකය. ඉන් ඇති වූ රික්තය කවරකුගෙන් පිරැවෙනු ඇද්ද යන්න දැන් පවතින ගැටලුවකි.

රෝහණ කස්තුරි

advertistmentadvertistment
advertistmentadvertistment