හත් කෝටියක හෙරොයින් ගුවන්තොටින් පන්නන්න හදද්දි අත්අඩංගුවට

17

රුපියල් හත් කෝටි තිස්පන් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සඟවාගෙන පැමිණි විදේශීය කාන්තාවක් ඊයේ දින උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය 57 හැවිරිදි පාකිස්තානු ජාතික කාන්තාවක් වන අතර ඇය ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන බව හඟවමින් මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය ගුවන්තොටුපළෙන් පිට කර ගෙන යෑමට තැත් දරා තිබේ.

ඊයේ (20දා) උදෑසන 09.45ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ. වයි. – 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක වෙනම ඇසුරුමක් ලෙස මෙම හෙරොයින් තොගය සකස් කර සඟවා ගෙන තිබූ අතර එහි කිලෝ 02යි ග්‍රෑම් 450ක් බරැති හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් තිබූ බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ ප්‍රකාශකවරයකු පැවැසීය.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම පාකිස්තානු ජාතික කාන්තාව සහ ඇය විසින් රැගෙන ආ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබිණි.

කටුනායක ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment