හදන්න දෙන්නෙත් නෑ… පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හදන්නෙත් නෑ… අවුරුදු 2300ක් පරණ ගලපාත පන්සලත් විනාශයට

609

* මහ කාශ්‍යප මහරහතන් වහන්සේගේ ධාතුන් වැඩ සිටින ලෝකයේ ඇති එකම ස්ථානය
 
 * ලංකාවේ විශාලතම සෙල්ලිපිය පිහිටා ඇත්තේ ගලපාත රාජමහ විහාරයේ
 
 * එක පෙළට පිහිටා ඇති රජමහ විහාර පහට ගමන් කිරීමට උමං මාර්ගයක්

 
 
 
ගිනියම් හිරුගේ රශ්මියෙන් දැවුණු ගත සිසිල් විය. විඩාබර සිත නිවිණි. නිසල පරිසරයේ පුංචි කඳු ගැටය මත පිහිටි පින්බිම තුළදී සිතට, ගතට දැනෙන ශාන්තිය විශ්මයජනකය.
 
 නිවී සැනහෙන මගේ දෙනෙත් කුඩා බිම් කඩ තුළ එකිනෙකට යාව පිහිටි විහාරාරංග අතර දෝලනය විය. එම විහාරාංග විසිතුරු කර ඇති කැටයම්, චිත‍්‍ර පිවිසුම් දොරටුවල ගාම්භීරත්වයට තේජස උතුරන තරම්ය. පින්බිම නැරඹීමට නොඉවසිලිමත් දෙනෙත් තැන, තැන පිහිටි ගල් කණු, මුරගල් ආදී ඉපැරැණි පුරාවස්තු අතර ද විටින් විට නතර වූ බව සැබෑය. පියවර කිහිපයක් ඉදිරියට ඇවිද ගිය අපි චෛත්‍ය වහන්සේ අභියස පිහිටි කොරවක්ගල් දෙක අසල නතර වීමු. එය සරල, චාම් පුරාවස්තු දෙකකි. එමෙන්ම ඒ අසලම ඉපැරැණි මණ්ඩපයක කොටස් ද ශේෂ වී ඇති අයුරු පෙනේ. එහි දක්නට ඇත්තේ කුඩා ගල්තලාවක් සහ ගල් කණු කිහිපයක් පමණි. චෛත්‍ය වහන්සේට එකත්පසව සිටින විට මගේ සිත මේ පින්බිමේ ඉතිහාසය සොයා දිව ගියේය.

vihara2
 
 අලූත්ගම, බෙන්තර ගලපාත රාජමහා විහාරය අනුරාධපුර රාජධානියේ දේවානම්පියතිස්ස රජ සමයේ ඉදිකෙරුණු පුරාණතම විහාරයකි. බෙන්තර දළදා ගෙය යනුවෙන් හඳුන්වනු ලබන්නේ ද මේ සිද්ධස්ථානයයි. ධූතාංගධාරී භික්‍ෂූන් අතරින් අගතැන්පත්, තථාගත තෘතික ශ‍්‍රාවක ධර්මාධිකාරී අනුබුදු මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීව දන්ත ධාතූන් වහන්සේනමක් වැඩ සිටිනුයේ ද මේ මහා විහාරයේය. දැන් අප සිටිනුයේ එම දළදාව තැන්පත් චෛත්‍ය වහන්සේ අභියසය.

vihara3
 
 මහාකාශ්‍යප මහ තෙරුන්වහන්සේ වනාහී මගධ රාජ්‍යයේ මහාතීර්ථ බමුණු ගමේ කෝසිත ගොත්ත බමුණාට සහ සුමනාදේවී බැමිණියට දාව උපන් පිප්ඵලී නම් බමුණු කුමාරයා ය. පසුකාලීනව එම කුමාරයා බුදුන් සරණ ගොස් පැවිදි දිවියට ඇතුළත් වී මහාකාශ්‍යප නමින් ප‍්‍රසිද්ධ විය. බුදුරජාණන් වහන්සේ විසින් පාරිභෝග කරන ලද, දිරාගිය ඒ මහා පාංශකූල චීවරය පෙරවීමට තරම් මහාකාශ්‍යප මහරහතන්වහන්සේ භාග්‍ය සම්පන්න වූහ. එපමණක් නොව බුදු සිරිපා හිස මත තබාගැනීමේ දුර්ලභ අවස්ථාව ද මහාකාශ්‍යප මහරහතන් වහන්සේට හිමි විය. බුදුරාජණන් වහන්සේගේ ශී‍්‍ර ශරීරයේ දක්නට ඇති දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් මහා පුරුෂ ලක්‍ෂණ හතක් උන්වහන්සේගේ ශරීරයේ ද තිබීම විශේෂත්වයකි. එහෙයින් මහාකාශ්‍යප තෙරුන්වහන්සේ රූපය යම් තරමකට බුදුරජාණන් වහන්සේගේ රූපයට සමාන බවත් උන්වහන්සේ බුදුරදුන්ට වඩා අඟල් සතරකින් උසින් අඩු බව ද ධර්ම ග‍්‍රන්ථයන්හි සඳහන්ව තිබේ. එමෙන්ම බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයෙන් පසුව ශාසන භාරකාරත්වය ලැබුවා වූ ද, පළමු ධර්ම සංගායනාවේදී මූලිකත්වය ගෙන ක‍්‍රියා කිරීම ද මහාකාශ්‍යප තෙරුන්වහන්සේගෙන් සිදු වූ සුවිශේෂී ශාසනික සේවාවන්ය. එහෙයින් මහාකාශ්‍යප මහා රහතන්වහන්සේ ථේරවාදී බෞද්ධයන් අතර පමණක් නොව මහායාන බෞද්ධයන් අතර ද අතිශයින්ම ප‍්‍රකටය. එහෙත් ශ‍්‍රී අනුබුද්ධ මහාකාශ්‍යප මහාරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේනමක් මුළු ලෝකයෙන්ම වැඩ සිටිනුයේ බෙන්තර ගලපාත රාජමහා විහාරයේ පමණි.
 
galapatha2මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ දළදාව මෙරටට වැඩම කරවා ඇත්තේ දුටුගැමුණු රජ සමයේදීය. අනුරාධපුරයේ වැඩ විසු රහතන්වහන්සේ නමකට ලැබුණු එම දළදාව බෙන්තොට රාජමහා විහාරයට වැඩම කරවා ඇත. ඒ බව දැනගත් දුටුගැමුණු රජතුමා තම සොයුරු සද්ධාතිස්ස කුමාරයාව බෙන්තොටට එවා ගලපාත රාජමහා විහාරය අංගසම්පූර්ණ සංඝාරාමයක් බවට පත් කර ඇත. දුටුගැමුණු, රජ සමයේ සිට දඹදෙණියේ දෙවැනි පණ්ඩිත පරාක‍්‍රමබාහු රජ කාලය දක්වා මහාකාශ්‍යප දන්ත ධාතූන්වහන්සේ වැඩ සිටිනුයේ ගලපාත රාජමහා විහාරයේ විශේෂිත වූ දළදා මණ්ඩපයක් තුළය. එකල මේ ස්ථානය අනුරාධපුරයේ වැඩසිටි රහතන් වහන්සේලා විවේක සුවයෙන් වැඩ සිටි ආරණ්‍ය සේනාසනයකි. එමෙන්ම මේ රාජමහා විහාරය ප‍්‍රධාන කොටගෙන තවත් රාජමහා විහාර හතරක් මේ අවට ස්ථාපිතව තිබේ. ඒ වනවාස විහාරය, බෙම් වෙහෙර විහාරය, බෝධිමළු විහාරය සහ උඩකොටුව විහාරය යි. එකල මේ රාජමහා විහාර පහ හඳුන්වා ඇත්තේ ‘බීමතිත්ථ’ විහාරය නමිනි. කවාකාරව පිහිටා ඇති මේ විහාර පහට ගමන් කිරීමට උමං මාර්ගයක් ද ඇත. එම උමං මාර්ගයේ පිවිසුම් දොරටු ගලපාත විහාරයේත් වනවාස විහාරයේත් බෙම් වෙහෙර විහාරයෙත් අදටත් දක්නට තිබේ. එමෙන්ම මහාකාශ්‍යප දළදා වහන්සේ වන්දනා කිරීමට මල් ගෙනා උයන අදටත් මල්වඩුවා කන්ද විහාරය නමින් හැඳින්වේ. එම මල් දෝවනය කිරීමට හා දළදා වහන්සේට පූජා කරන පැන් පෙරීමට, රහතන්වහන්සේලාගේ පහසුව සඳහා පැන් පෙරීමට භාවිතා කළ ඉපැරැණි ශෛලමය ජල පෙරනයක් ගලපාත විහාරයේ අදටත් නටබුන්ව පවතී. එමෙන්ම මේ පින්බිම පහළ නෙළුම්, මානෙල් මල්වලින් විසිතුරු වූ දිය පිරුණු පොකුණ පසු කරගෙන පැමිණ ගල් තලාව මැදින් පිය ගැට පෙළ නඟින විට එම තලාවේ දකුණු පස ආරක්‍ෂිතව තිබෙන විශාල සෙල් ලිපියේ මේ සියලූ ඓතිහාසික තොරතුරු සටහන් කර තිබෙන බව ද සිහිපත් කළ යුතුය.
 
 එමෙන්ම ගලපාත විහාරය තුළ බුදු මැඳුරු දෙකකි. එක් විහාරයක් හඳුන්වනු ලබන්නේ ආනන්ද ප‍්‍රතිමාලය ලෙසය. අනෙක පුරාණ විහාර මන්දිරයයි. පුරාණ විහාර ගෙය ඇතුළු ගර්භය සහ පිටත ගර්භය යනුවෙන් ප‍්‍රධාන කොටස් දෙකකි. ඇතුළු ගර්භය තුළ දහඅට රියන් සැතපෙන බුද්ධ ප‍්‍රතිමාවකි. එම පිළිම වහන්සේ ස්ථාපනය කර ඇත්තේ අඟල් විසිඅටක් පමණ උස් වූ ආසනයක් මතය. එම පිළිම වහන්සේට ඉදිරිපස බිත්තියේ මහා බ‍්‍රහ්ම, ශක‍්‍ර, දේව, සුමන, කඳ කුමරු, ශිව යන දේවතාවන්ගේ සිතුවම් ඇඳ ඇති අයුරු ද පෙනේ. එම සිතුවම් අසල තරමක් විශාලව හිටි විෂ්ණු දේව ප‍්‍රතිමාවක් ඇත. එහි දකුණත අභය මුද්‍රාවය. වමත වරද මුද්‍රාවය. එමෙන්ම වම් පස ධ්‍යාන මුද්‍රාවෙන් යුත් තරමක් විශාල හිඳි බුද්ධ ප‍්‍රතිමාවකි. එම පිළිම වහන්සේට වම් පස කුඩා හිටි බුද්ධ ප‍්‍රතිමාවකි. එහි දකුණත විතර්ක මුද්‍රාව පෙන්නුම් කෙරේ. එම පිළිමයට බෙහෙවින්ම සමාන වූ විශාල හිටි බුදු පිළිම හතරක් පිටත ගර්භයේ වම් පසින් දකින්නට ලැබේ. පැරැණි විහාරගෙයි ඇතුළු ගර්භයේ සිවිලිම සම්පූර්ණයෙන්ම නෙළුම් මල් මෝස්තරවලින් අලංකාර කර ඇති අතර පිටත ගර්භය මල් මෝස්තර, දියවැල් රටා ආදියෙන් සිත්තම් කර තිබිණි. පැරැණි විහාරගෙය තුළ ඇති සිතුවම් බොහෝමයක් මහනුවර කලා සම්ප‍්‍රදායට නෑකම් කියන අතර බටහිර කලා ආභාෂය සහිත නිර්මාණ ද එම සිතුවම් අතර දක්නට ලැබිණි.
 
 galapatha4පැරැණි ප‍්‍රතිමා ගෘහය සමීපයේම වම්පසින් ආනන්ද ප‍්‍රතිමාලය පිහිටා ඇත. එම විහාරය ගෙය ද පුරාණ විහාර ගෙය තරම් පැරැණි වුවද නූතන කලා නිර්මාණ දැකගත හැකිය. එම විහාරගෙය තුළ ද දහඅට රියන් සැතපෙන බුදු පිළිමයකි. ඒ හැරුණු කොට විශාල හිඳි පිළිමයක් සහ හිටිපිළිම කිහිපයක් ද තිබේ. ධ්‍යාන මුද්‍රාවෙන් යුත් හිිඳි පිළිමය ඉතා අලංකාර නිර්මාණයකි. මෛත‍්‍රී බෝසත් රුවක් ද, සමාධි පිළිමය සමීපයෙහි වෙන් කරන ලද කුටියක තරමක් විශාල ස්තූපයකි. එම ස්තූපය තුළ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු නිධන් කර ඇති බවද දැනගැනීමට ලැබේ. නිශ්ශංකමල්ල රජතුමා මේ සිද්ධස්ථානයට පැමිණ දන්ත ධාතු වන්දනා කරගෙන මේ විහාරය දියුණු කිරීමට ලබා දී ඇති පරිත්‍යාග ද සිතුවම්හි ඇතුළත් ය. දෙවැනි පණ්ඩිත පරාක‍්‍රමබාහු රජතුමා ගලපාත විහාරයට පැමිණ මහා කාශ්‍යප දළදා වහන්සේ වන්දනා කර පුද පූජා පැවැත් වූ අයුරු, දළදා වහන්සේ ස්තූපය තුළ තැන්පත් කරන අයුරු ද ඉතා විසිතුරු ලෙසින් බිත්තිවල සිත්තම් කර තිබේ. එමෙන්ම දෙවැනි පණ්ඩිත පරාක‍්‍රමබාහු රජතුමා ද මේ සිද්ධස්ථානය වැඳපුදා ගැනීමට පැමිණ මේ ප‍්‍රදේශයේ සතියක කාලයක් නතර වී දළදා වහන්සේට පුදසත්කාර කර ඇත. රාත‍්‍රි තුනක් මහා පෙරහැරක් පවත්වමින්, රාජමහා විහාර පහටම පෙරහැර ගමන් කර පුද පූජා පවත්වා ඇති බව ඉතිහාසයේ සඳහන්ය. එම පුද සත්කාරයෙන් පසු දෙවැනි පණ්ඩිත පරාක‍්‍රමබාහු රජතුමා විසින් රහතන්වහන්සේලාගේ ආශිර්වාදය මත මේ සිද්ධස්ථානයේ චෛත්‍යයක් ඉදිකොට මහාකාශ්‍යප දන්ත ධාතූන්වහන්සේ එහි තැන්පත් කොට ඇත. එකල පරාක‍්‍රමබාහු රජතුමා තාවකාලිකව නතර වූ මාලිගාව පිහිටි ප‍්‍රදේශය අද වාසලවත්ත ලෙස හඳුන්වනු ලැබේ. ගලපාත ඓතිහාසික රාජමහා විහාරයේ ඉතිහාස තොරතුරු විස්තාරාත්මකව අපට පැහැදිලි කළේ එම විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති සීගිරියේ අනෝම හාමුදුරුවෝය. එකළොස්වියේදී ගලපාත රාජමහා විහාරස්ථානයේදී පැවිදි දිවියට ඇතුළත් වූ උන්වහන්සේ එදා සිට වැඩ සිටිනුයේ මේ ඉපැරැණි විහාරයේය. මෙතැන් සිට කතා කරනුයේ අප නොවේ, ගලපාත රාජාමහා විහාරාස්ථානාධිපති සීගිරියේ අනෝම හාමුදුරුවෝය.
 
 ‘‘ඒ කාලේ මේ විහාරස්ථානයේ විශාල පිරිවෙනක් තිබුණා. බෙන්තර ශෛලාන්තරායතන පිරිවෙන කිව්වම මුළු ලංකාවේම ප‍්‍රසිද්ධයි. ඒ පිරිවෙනේ අවසාන ශිෂ්‍යයෝ අපි. මැතිනියගේ ආණ්ඩුව කාලේ ඇති වූ ආර්ථික අහේනියත් සමඟ පිරිවෙන පවත්වාගෙන යන්න බැරි වුණා. පිරිවෙන වහනකොට මේ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිටියේ ඇළකාකේ පක්‍ඳ්ක්‍ඳාවාස නායක හාමුදුරුවෝ. උන්වහන්සේ අපිව වෙනත් පිරිවෙන්වලට යොමු කළා. මම ඉගෙනගත්තේ හුණුපිටියේ ගංගාරාම පිරිවෙනේ. පසුකාලීනව පාසල්වල ඉගැන්නුවා. කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහට සේවය කළා. අපේ නායක හාමුදුරුවෝ අපවත් වුණාට පස්සෙ මේ ස්ථානයේ විහාරාධිපති විදිහට මල්වතු විහාරයෙන් මාව පත් කළා. එදා ඉඳලා මම මේ සිද්ධස්ථානය රැකබලාගෙන වැඩ සිටිනවා. ඒ වගේම මම මේ විහාරස්ථානයේ එකළොස්වැනි විහාරාධිපති වහන්සේ…’’ උන්වහන්සේ මහත් අභිමානයෙන් යුක්තව කතාවට ප‍්‍රවේශයක් ලබාගත්හ.
 
 ‘‘මේ පේන චෛත්‍ය ඇතුළේ තවත් පුංචි චෛත්‍යයක් තියෙනවා. ඒ තුළ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දළදාව තැන්පත් කොට තියෙන්නේ. එපමණක් නෙමෙයි දෙවැනි පණ්ඩිත පරාක‍්‍රමබාහු රජතුමා චෛත්‍ය ඉදිකොට දළදා වහන්සේ තැන්පත් කොට පුද පූජා පවත්වන්න විහාර දාස දාසියන් පත් කරලා තියෙනවා. දළදා වහන්සේට මේ ආකාරයෙන් පුද පූජා පැවැත්විය යුතු බවට රාජ නියෝගයන් පනවා තිබුණා. ඒ රාජ නියෝගයට අනුව දළදා වහන්සේට පුද සත්කාර කරගෙන යනකොට පෘතුග‍්‍රීසින් පැමිණ ලංකාව ආක‍්‍රමණය කළා. මුහුදු තීරය කොල්ලකාගෙන පැමිණි පෘතුග‍්‍රීසින් 1565 නොවැම්බර් මාසෙ 05 වැනිදා පළමු වතාවට ගලපාත රාජමහා විහාරයට ඇවිත් විහාරාරංග කඩලා බිඳලා වටිනා සම්පත් අරගෙන ගිහින් තිබුණා. දෙවැනි වතාවට පැමිණි පෘතුග‍්‍රීසින් මේ සිද්ධස්ථානය කොල්ලකාගෙන විහාරගෙවල්, සංඝාවාස ඇතුළු මේ ස්ථානයේ සියලූ ගොඩනැඟිලි ගිනිබත් කරලා තියෙනවා. ඒත් චෛත්‍ය වහන්සේට කිසිදු හානියක් වෙලා නෑ. ආනන්ද විහාර ගෙය තුළ තියෙන විෂ්ණු දේව ප‍්‍රතිමාවටත් කිසිදු හානියක් සිදු වෙලා නෑ. ඒ හැර සියලූ ගොඩනැඟිලි සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබුණා. පසුව හාමුදුරුවෝ විහාරය අතහැරලා ගිහින්. පාළුවට ගිය සිද්ධස්ථානය අරාජිකත්වයට පත්වෙලා. විහාරයට අයිති සියලූ ඉඩම් පෘතුග‍්‍රීසින් විසින් මිනිසුන්ට බෙදා දීලා තිබුණා. කාලයත් සමඟ ලංකාවේ හාමුදුරුවෝ නැති වෙලාම ගියා. විනාශ කරලා ඉතිරි වූ විහාරස්ථාන ආරක්‍ෂා කරගෙන සිටියේ ගණින් වහන්සේලා. මේ සිද්ධස්ථානය ආරක්‍ෂා කරගෙන ඉඳලා තිබුණේ දෙද්දුව ගණින් වහන්සේ. පසුකාලීනව නුවර යුගයේ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජතුමාගේ ආරාධනාවකට අනුව සියම් දේශයෙන් උපාලි හාමුදුරුවෝ ප‍්‍රමුඛ භික්‍ෂූන්වහන්සේලා වැඩම කර මෙරට මහණ උපසම්පදාව පිහිටෙව්වා. ගැටඹේ සීමා මාලකයක් හදලා මෙරට සිටිය සියලූම ගණින්වහන්සේලා මහණ උපසම්පදා කරලා තිබුණා. උපාලි හාමුදුරුවෝ ප‍්‍රමුඛ භික්‍ෂූන්වහන්සේලා නැවත සියම් දේශයට වැඩම කළාට පස්සේ මෙරට සම්බුද්ධ ශාසනයේ නායකත්වය ඉසිලූවේ වැලිවිට සරණංකර හාමුදුරුවෝ. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා උන්වහන්සේට සංඝරාජ පදවියක් පිරිනමනවා. ඒ තමයි ලංකාවේ අවසාන සංඝරාජ හාමුදුරුවෝ. දෙද්දුව ගණින්වහන්සේ වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවෝ ළඟ මහණ වෙලා තිබුණා. සංඝරාජ හාමුදුරුවන්ගේ එකසිය පනස්හත්වැනි ගෝලයා. වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවෝ යටතේ අවුරුදු පහක් හිටිය දෙද්දුව ධම්මානන්ද හාමුදුරුවෝ නැවත මේ ස්ථානයට වැඩම කරලා විහාරාංග පිහිටා තිබූ ආකාරය ගැන සැලැස්මක් සකස් කරලා ඒ අනුව ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. දායක සභා ඇති කරගෙන උන්වහන්සේ නැවත මේ සිද්ධස්ථානය සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංස්කරණ කටයුතු කරලා තිබුණා…’’
 
  ‘‘ඒත් මේ විහාරය පිහිටා තියෙන්නේ පුංචි භූමි ප‍්‍රමාණයක. ඒ භූමියටත් ඔප්පුවක් නෑ. මට හිතෙන විදිහට ලංකාවේ තියෙන දුප්පත්ම රාජමහා විහාරය මේක තමයි. ඒත් පහත සෙල් ලිපියේ සඳහන් ආකාරයට කළුතර පාලමේ සිට ඉඳුරුව දක්වා පොල් උයනක් නිශ්ශංකමල්ල රජතුමා මේ විහාරයට පූජා කරලා තියෙනවා. විවිධ රජවරු තවත් අක්කර දහස් ගාණක් මේ රාජමහා විහාරයට පූජා කරලා තියෙනවා. ඒත් අද ඒ ඉඩම් මේ විහාරයට අයිති නෑ. ඒ වගේම විහාර දාස, දාසියන් ගැන සඳහන් වන ලංකාවේ ඇති එකම සෙල් ලිපිය ගලපාත රාජමහා විහාරයේ සෙල් ලිපිය විතරයි. ඒ සෙල්ලිපිය මුලින්ම කියවලා තියෙන්නේ ඉංග‍්‍රීසි ජාතික ඒ. ආර්. අයිටන් කියන පුරාවිද්‍යාඥයා. එච්. සී. පී. බෙල්, සෙනරත් පරණවිතාන යන මහත්වරුත් පසුකාලීනව මේ සෙල් ලිපිය කියවලා තියෙනවා…’’
 
 අවුරුදු දහයකට, දොළහකට පෙර මේ ස්ථානයේ තියෙන සෙල්ලිපිය, විහාරයට පිවිසීමට තියෙන ගල් උළුවස්ස, චෛත්‍ය වහන්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරාගත්තා. මේ මෑතක, අවුරුදු තුනකට පෙර මේ සිද්ධස්ථානය සම්පූර්ණයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගත්තා. දැන් මේ ස්ථානයේ කිසිම වැඩක් කරන්න බෑ. මොන දේ කරන්න ගියත් පුරාවිද්‍යා නිලධාරීන් ඇවිත් ඇඟිලි ගහනවා. ඒ මිනිස්සු ප‍්‍රතිසංස්කරණ කටයුතු කරන්නෙත් නෑ. අපිට කරන්න දෙන්නෙත් නෑ. මේ ජාතික සම්පත, ශාසනික දේපළ දවසින්, දවස පරිහානියට පත් වෙනවා. ඒ කාලේ වාර්ෂික පින්කමට මුළු විහාරයේම කැඩුණු බිඳුණු තැන් හදලා තීන්ත ආලේප කරනවා. දැන් විහාර බිත්තියක හුණු ටිකක්වත් ගාන්න දෙන්නෙ නෑ. උදැල්ලක් ගහලා වල් පැළයක් ගලවන්නවත් දෙන්නේ නෑ. බලන්න මහත්තයෝ අර බිත්තිවල පොතු හැලෙනවා. මේවා දකින අපෙත් හදවත පත්තු වෙනවා…’’ උන්වහන්සේගේ කතාව සැබෑය.
 
 පෞරාණික ගලපාත රාජමහා විහාරය වේගයෙන් විනාශ මුඛයට තල්ලූවෙමින් තිබෙන අයුරු අපිදු දුටිමු. පුරාණ විහාරගෙයි පිටත ගර්භයේ දකුණුපස බිත්තියේ යට ඇති සිතුවම් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන අයුරු ශිව දේව සිතුවම විනාශ වෙමින් තිබෙන අයුරු දකින විට හදවත හිරිවැටිණි. එහි යට කොටස දැනටමත් සම්පූර්ණයෙන් විනාශ වී හමාරය. සෙසු සිතුවම් ද විනාශ වෙමින් තිබෙන බව කනගාටුවෙන් වුවද පැවසිය යුතුය. විහාරගෙයි සිතුවම් පමණක් නොව එහි පොළව ද විශාල වශයෙන් විනාශ වී ඇත. බිත්තිවල ජනෙල් ගැලවී ගොස්ය. ගොඩනැඟිලි බිත්ති ඉරිතැලී ගොස්ය. ඇතැම් ගොඩනැඟිලිවල වහල කඩා වැටීමට ඔන්න මෙන්නය. විහාර මිදුල වල් වැදී ගොස්ය.
 
 එහෙත් මෙරට පුරාවිද්‍යා නීතිය අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති ගොඩනැඟිලිවල කැඩුණු බිඳුන දේවල් ප‍්‍රතිසංස්කරණය කිරීම පුරාවස්තුවලට කරන හානියකි. උතුර, නැෙඟනහිර පුරාවිද්‍යා භූමි මංකොල්ලකන දෙමළ, මුස්ලිම් අන්තවාදීන්ට එරෙහිව මේ නීතිය ක‍්‍රියාත්මක නොවීම අරුමයකි. උතුර, නැෙඟනහිරට එකක්, දකුණට තව නීතියක් ක‍්‍රියාත්මක කරන මේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැන කතා කර ඵලක් නැත. වසර තුන්සියකට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ගලපාත රාජමහා විහාරය අපේ රටට අභිමානයකි. එහෙත් පුරාවිද්‍යාත්මක ස්ථානවල ආරක්‍ෂාව භාරව සිටින බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ අවධානය මේ ඓතිහාසික පින්බිමට යොමු නොවීම ජාතියේ අවාසනාවකි. රටේ කරුමයකි.

– තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment