හදවතට කතා කළ ඒ.ටී.

522

අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්නයෝ අද මෙලොව හැර යති. අවිහිංසාවාදයේ ප්‍රතිමූර්තියක් බඳු ශ්‍රීමත් ආරියරත්න මැතිඳුන් මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා යන සිව් බඹ විහරණ අනුව තම දිවි මග සරිකරමින් ලෝකයට ලබාදුන් ආදර්ශය අතිමහත්ය. අවිහිංසාවාදය මගින් භාරතය අවදි කළ මහත්මා ගාන්ධිගේ චරිතය ශ්‍රී ලංකාවේ ජීවමාන කළ චරිතය අන් කවරකු හෝ නොව, ඒ.ටී. ආරියරත්නයෝමය. නිරන්තරයෙන් ශ්වේත වර්ණය ප්‍රිය කළ එතුමා ජාතික ඇඳුමට ලබා දිය හැකි උපරිම ගෞරවය ලබාදුන්නේ එය ඇඳ- පැළඳ සිටීමෙන් පමණක් නොව, ඔහුගේ නිවුණු, පහත් ස්වරයෙන් යුත් ආමන්ත්‍රණය තුළින් හා මෛත්‍රීය උපදවන කතාබහ තුළිනි. නිරන්තරයෙන් සිල්වත් භික්ෂූන් ඇසුරු කළ හෙතෙම සැබෑ බෞද්ධ චරිතය කවරකු ද යන්න ලොවට පසක් කළේය.

ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා වඩා ප්‍රකට වන්නේ ඔහු විසින් නිර්මාණය කරන ලද “සර්වෝදය” ශ්‍රමදාන ව්‍යාපාරය නිසාය. 1958 දී ආරම්භ කරන ලද මෙම ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ විශාලතම සහ පුළුල්ම ප්‍රජා සංවර්ධන රාජ්‍ය නොවන සංවිධාන ව්‍යුහය ලෙස නමක් දිනාගත්තේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකු රාජ්‍ය නොවන ව්‍යාපාර පිළිබඳව හසරක් නොදන්නා කාලයේදී ය. රටේ තරුණ ජනගහනය යොදා ගනිමින් “සර්වෝදය” ව්‍යාපාරය ගොඩ නැගූ ආරියරත්න මහතා රටේ ගම්-නියං ගම් පුරා මෙම ශ්‍රමදාන ව්‍යාපාරය භාවිතයට ගෙන මාර්ග සංවර්ධන කටයුතු ඇතුළු ගමේ දුප්පත්කම තුරන් කිරීම සඳහා වැදගත් සමාජ-ආර්ථික ක්‍රියාදාමයක නිරත විය. ඔහුගේ මෙම ක්‍රියාදාමය අද මහා බලවත් සංවිධාන ව්‍යුහයන් දරණ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා ගුරු වූවාට සැක නැත. ලෝක ආධාර වැඩසටහන් යටතේ ගම්වල නියං ආධාර බෙදීමේ වැඩසටහන් වැනි ශ්‍රමදාන කටයුතුවලදී පෙරමුණ ගත් සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය ග්‍රාමීය සංවර්ධනය පිළිබඳව නව මානයන් රටට හඳුන්වා දෙනු ලැබීය. ඒ සියල්ලක් සඳහා ගුරුහරුකම් දුන් චරිතය ඒ.ටී. ආරියරත්නයෝය. එපමණක් නොව, “සර්වෝදය ග්‍රාමීන්” වැනි වැඩසටහන් අරඹා හෙතෙම සර්වෝදය නූතනයට ද රැගෙන ආවේය.

විටෙක තරුණ ගොනුකිරීම නිසා ආරියරත්න මහතා රාජ්‍ය නායකයින්ගෙන් හා මැති ඇමැතිවරුන්ගෙන් පවා බැණුම් ඇසූ අවස්ථාද නැත්තේ නොවේ. ඒ 1971 ජනතා විමුක්ති පෙරමුණේ නැගිටීම නිසාය. ඔවුන්ගේ නැගිටීම සර්වෝදය ව්‍යාපාරයේම දිගුවක් සේ දුටු එකල සිටි ඇතැම් පිරිස් ආරියරත්න මහතාට බැණ තර්ජනය කළ අවස්ථා ගැන ද කතා අසන්නට ලැබේ. එනමුත් මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා යන සිව් බඹ විහරණ අනුවම කටයුතු කළ ආරියරත්න මහතා මේ කිසිවකින් නොසැළී තම ප්‍රජා සංවර්ධන ව්‍යාපාරය ඉදිරියටම ගෙන ගිය අතර එය ජාත්‍යන්තරයේ පවා ප්‍රසිද්ධියට පත්විය. මෙම සංවර්ධන ක්‍රියාදාමය සහ සාමයට මුල්තැන් දුන් ඔහුගේ ක්‍රියාදාමය හේතුවෙන් 1969 දී පිලිපීන රජය මගින් පිරිනමන “මැග්සේසේ” සම්මානය ඇතුළු අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලැබූ මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා ශ්‍රී ලංකාවේ නාමය දේශ දේශාන්තරයට ගෙන යෑම සඳහා අඛණ්ඩ මෙහෙවරක් කළේය. ඉන්දියාවේ පවා සර්වෝදය ව්‍යාපාරය ප්‍රකට විය. වඩාත්ම වැදගත් කාරණය වන්නේ තරුණ නැගිටීම් රටේ සිදු වුණත්, ඔහුගේ ශ්‍රමදාන ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු කරන ලද තරුණ-තරුණියන් සහෝදර බැම්මකින් කටයුතු කිරීම සඳහා ඉතා ඉහළ විනයක් සහිතව ඔහු විසින් සංවිධානය කර තිබීමය. “සහෝදරයා,” “සහෝදරිය” යන වදන් වෙනුවට ඔහුගේ ව්‍යාපාරයේ තරුණ තරුණියන් එකිනෙකා ඇමතුවේ “අයියා-මල්ලී”-“අක්කා-නංගී” වදන්වලිනි. ඒ තුළ වූයේ හුදෙක් විප්ලවීය බැඳීමක් නොව, වැඩ කිරීමේ කලාවකි.

එසේ රට තුළ නොසිතූ තරුණ බලයක් ගොඩ නැගූ ඔහු කිසිදා දේශපාලනයට පිවිසියේ නැත. පක්ෂ-පාට බදාගෙන දේශපාලන වේදිකාවට නගිනු වෙනුවට ඔහු නිරන්තරයෙන් අපට දකින්නට ලැබුණේ අවිහිංසාවාදී ව්‍යාපාරයේ වේදිකාව මතය. අවශ්‍ය නම්, දේශපාලනයෙන් තැනකට එන්නට ඔහුගේ තරුණ ව්‍යාපාරය භාවිත කරන්නට ඕනෑ තරම් ඔහුට ඉඩ තිබුණු නමුත් ඔහු දිගින් දිගටම “ශ්වේත වර්ණය” වර්ණය ප්‍රිය කරමින් හා ප්‍රිය වචන කතා කරමින් සාමය හා අවිහිංසාවාදය වෙනුවෙන් පෙනී සිටිය අතර, මිය යන තුරුම කිසිවකු ප්‍රසිද්ධියේ විවේචනය කරන්නට කටයුතු කරනවා අප දැක නැත.

එසේ හෙයින් රටකට කලාතුරකින් උපන් මෙම උත්තුංග මනුෂ්‍යයා වෙනුවෙන් අප අපේ ආචාරය හිස නමා පුද කළ යුතු වන අතර, මෙවන් තවුස් දම් පුරන්නන් අපේ ජීවිත කාලයේදී තවත් අපට හමුනොවනු ඇති බව විශ්වාසය.

එහෙයින් ආචාර්ය ආරියරත්න ශ්‍රීමතාණෙනි, ඔබ මේ දෙරණ තලයෙන් නික්ම යන මේ මොහොතේ ඔබට නිවන් සුව පතන්නට අප ඉක්මන් වන්නේ නැත. ඔබ අප අතරම නැවත ඉපිද මේ ලංකා දෙරණ වර්තමානයේ වැටී ඇති තැනින් වෙනත් සැපවත් තැනකට ඔසවා දෙන්නට ඔබගේ ශක්තිය ලබාදෙමින් නැවත අප අතරම ඉපදේවා යන්න අපගේ පැතුමයි.

advertistmentadvertistment
advertistmentadvertistment