හදවත පරිස්සම් කරගනිමු

540

(අදට යෙදී ඇති ලෝක  හදවත් දිනය නිමිත්තෙනි)

සැප්තැම්බර් මස 29 වැනිදා ලෝක හදවත් දිනය ලෙස නම් කර ඇත. ලොව පුරා පැතිර පවතින කොවිඞ්-19 රෝගය හදවත් රෝග ඇතුළු බෝ නොවන රෝග වැළඳී ඇති පුද්ගලයන්ට කරන බලපෑම ඉතා ඉහළ වේ. මෙහිදී ශ‍්‍රී ලාංකික අප දැනට පීඩාවට පත්කර ඇති ඩෙල්ටා ප‍්‍රභේදයේ බලපෑම වඩාත් දරුණු වේ.

ලෝක හදවත් දිනය, හදවත සහ කොවිඞ්-19 රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ, බෝ නොවන රෝග ඒකකයේ, ප‍්‍රජා වෛද්‍ය ලේඛකාධිකාරී වෛද්‍ය ධනුෂ්ක අබේගුණතිලක මහතා සමඟ ‘දිවයින’ කළ සාකච්ඡුාව මෙසේය.

* ලෝක හදවත් දිනය හා එහි අරමුණු මොනවා ද?

‘‘ලොව පුරා සෑම වසරකම සැප්තැම්බර් 29 වන දිනය ”ලෝක හදවත් දිනය” ලෙස ලෝක හෘද සංගමය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ශ‍්‍රී ලංකාවේත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය හා හෘද රෝග විශේෂඥයන්ගේ විද්‍යායතනය සමඟ එක්ව එය සමරනු ලබනවා. 2021 වර්ෂය සඳහා ලෝක හදවත් දින තේමාව වන්නේ ”සබැඳි දිවියක් – සුවැති හදවතක්” (Use heart to connect) යන්නයි. හදවත් රෝගී පුද්ගලයන් හා රෝගය වැළඳීමට අවදානමක් ඇති සියලූ දෙනාගේ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් දැනුවත් කිරීම මෙවර ප‍්‍රධානතම අරමුණයි. මෙම වසංගත කාලයේදී මහජනතාව අතර හෘද රෝග වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා සහාය වීම, හදවත් රෝගීන් සඳහා ප‍්‍රතිකාර ලබාදීම ආදී විවිධ කාරණා සඳහා ඩිජිටල් තාක්ෂණයේ දියුණුව සහ භාවිතය ප‍්‍රවර්ධනය කිරීම මෙම තේමාව තෝරා  ගැනීමේ අරමුණයි.”

* ලොව පුරා පුද්ගලයන්ගේ මරණ හා ආබාධිත වීම් කෙරෙහි හදවත රෝගී වීම පිළිබඳ තත්ත්වය කෙබඳු ද……?

‘‘ශ‍්‍රී ලංකාවේ වාර්ෂිකව සිදු වන මරණවලින් 34% ක් පමණ හෘද රෝග හේතුවෙන් සිදුවන මරණයි. ඊට අමතරව අප රටේ පුද්ගලයන් රෝහල්ගතවීම් අතර ප‍්‍රධානතම හේතුවක් වන්නේත් හදවත් රෝගයි. සෑම වසරක ම විශාල පිරිසක් හෘදය හා රුධිරවාහිනී ආශ‍්‍රිත රෝගවලින් පෙළෙන බවට හඳුනා ගැනෙනවා. ඔවුන්ට තම ජීවිත කාලය පුරාම එම රෝග සඳහා ප‍්‍රතිකාර ලබා ගැනීමටත් සිදු වෙනවා.”

* හෘද රෝග වැළඳී තිබීම හා පාලනය නොවීම කොවිඞ් -19 රෝගය නිසා සිදුවන මරණවලටත් වැඩි අවදානමක් ඇති කර තිබෙනවා නේද…..?

‘‘ඔව්. විශේෂයෙන් මැනවින් පාලනය නොවූ බෝ නොවන රෝග තත්ත්වයන් නිසා එවැනි පුද්ගලයන් හට වැඩි අවදානමක් ඇතිවිය හැකියි. එම නිසයි මේ ගැන අපි සැමගේම අවධානය හා දායකවීම වැදගත්. වසංගත රෝග විද්‍යා ඒකකය විසින් වාර්තා කරන ලද කොවිඞ් මරණ 12000 කට අධික සංඛ්‍යාවෙන් 77%ක් පමණ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වෙනවා. ඔවුන්ගෙන් 60%කට ආසන්න පිරිසකට බෝ නොවන රෝග තිබූ බවත්, 24%කට හෘදයාබාධ තිබූ බවත් හඳුනාගෙන තිබෙනවා. යම් පුද්ගලයෙක් තමාට හෘද රෝගයක් ඇති බව හඳුනාගෙන ඇතිවිට ඒ සඳහා නියමිත ඖෂධ නිසිලෙස ලබා නොගතහොත්, එනම් එම රෝගය නිසි ලෙස පාලනය නොකළහොත් කොවිඞ්-19 සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙනවා. ඒ වගේම මරණයට පත් වීමේ අවදානමත් ඉතා ඉහළයි. කෙනෙක් හෘද රෝගයකින් පෙලෙන අතරම අයහපත් චර්යා රටාවක් අනුගමනය කරයි නම් එවැනි කෙනෙක් කොවිඞ්-19 රෝගය නිසා දැඩි ලෙස රෝගාතුර වීමේ අවදානමට ලක් විය හැකියි.”

* හදවත් රෝග සඳහා ප‍්‍රධාන අවදානම් සාධක මොනවා ද….?

‘‘හදවත් රෝග සඳහා ප‍්‍රධානම අවදානම් සාධක වන්නේ දුම්කොළ, ඒ ආශ‍්‍රිත නිෂ්පාදන හා මද්‍යසාර භාවිතය, අයහපත් ආහාර රටාව හා ශාරීරිකව ක‍්‍රියාශීලි නොවීමයි. වසරකට ශ‍්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතය නිසා වන රෝගවලින් පුද්ගලයන් 20000 පමණ මිය යනවා. දුම්කොළ භාවිතය හේතුවෙන් ඇති වන රෝගවලින් වසරකට ශ‍්‍රී ලංකාවේ මියයන සංඛ්‍යාව ආසන්න ලෙස 12000ක් බවට වාර්තා වෙනවා. මේ අය අතර බොහෝ හදවත් රෝගීන් සිටිනවා. එනමුත්, මෙම තත්ත්වයන් බොහෝමයක් වළක්වා ගත හැකියි.”

* වැරදි ආහාර පුරුදු හා ආහාර අධිකව ගැනීම හදවතට බලපාන්නේ කෙසේ ද….?

‘‘අපගේ ශරීරය පවත්වා ගැනීමට, අවශ්‍ය ශක්තිය ලබාගැනීමට, වර්ධනයට, රෝගවලින් ආරක්ෂාවීම ආදියට ආහාර අවශ්‍යයි. ඉතින් ඒ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමෛන් පසුවත් ශරීරයට වැඩිපුර අප ලබාගන්නා ආහාර සහ සෞඛ්‍යයට අහිතකර ආහාර නිසා බොහෝ ගැටලූ ඇතිවිය හැකියි. වැඩිහිටියෙක්ට නම් ‘ශරීරයේ උසට සරිලන බර’ (BMI අගය) පවත්වා ගැනීම සඳහා යෝග්‍ය ආහාර වේලක් සහ ශාරීරික ක‍්‍රියාකාරකම් මෙහිදී ඉතා වැදගත් වෙනවා. එමගින් ආහාරවලින් වැඩිපුර ලැබුණු ශක්ති ප‍්‍රමාණය පිටකිරීමට උපකාරී වෙනවා වගේ ම තවත් හිතකර ප‍්‍රයෝජන රැසක් ලැබෙනවා.

ඇත්තටම කොවිඞ් රෝග පාලනය සඳහා රට ලොක්ඩවුන් කළ කාලයේ හැමෝම ගෙවල්වලට සීමාවුණු නිසා විවිධ ආහාර අත්හදාබැලීම් සිදු වුණා. ඒ අතර තෙල් සහිත ආහාර, පිටි සහිත ආහාර, සීනි සහිත ආහාර ගැනීම බහුල වුණා. ව්‍යායාමත් අඩු වුණා. මේ තත්ත්වය හදවත් රෝග කෙරෙහි බලපාන අධික රුධිරගත කොලෙස්ටරෝල් හා අධිරුධිර පීඩනය වැනි හෘද රෝග සඳහා හේතු වුණා. නමුත් මෙම කාලයේ අපගේ සංචරණය සීමාවුණු නිසා පිටින් ආහාර මිලදී ගැනීම අඩුවූ බවත් අප අමතක කරන්න හොඳ නැහැ. හදවත ලෙඩ කරන තවත් වැරදි ආහාර රටාවන් වන්නේ බේකරි හෝ හෝටල් ආදියෙන් මිලදී ගන්නා අධික තෙල්, අධික ලූණු සහිත ක්ෂණික ආහාර භාවිතය යි. මේවා කෙළින්ම හෝ වක‍්‍ර ආකාරයෙන් පසු කාලීනව හෘද රෝගවලට හේතුවිය හැකියි. කඩවලින් මිලදී ගන්නා ඇතැම් ආහාරවල (කොත්තු, ෆ‍්‍රයිඞ් රයිස්, ගැඹුරු තෙල්වල බදින ලද රෝල්ස්, වඬේ ආදියෙහි) තියෙන ට‍්‍රාන්ස් මේදයත් හදවතට ඉතා නරක යි.”

*කොවිඞ් වසංගතය නිසා නිවෙස්ගත වූ අයට ව්‍යායාම් සීමා වීමත් හදවතේ අනාගතයට බලපෑමක් වෙයිද…..?

‘‘කොවිඞ් රෝග පාලනය සඳහා රට ලොක්ඩවුන් කළ කාලයේ අපගේ උදාසීන හැසිරීම වැඩිවුණා. රූපවාහිනිය, ජංගම දුරකථන, ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් පරිගණක භාවිතය වැඩිවුණා. අඩු ශක්තියක් වැය වන මෙම ක‍්‍රියාකාරකම්, වාඩි වී සිටින හෝ සෝපාවක ඇලවී සිටින හෝ ඉරියව්වක දිනකට පැය 4 ක් හෝ වැඩි ගණනක් එකදිගට සිටියොත් එම තත්ත්වය හදවත් රෝග ඇතුළු බෝනොවන රෝග ඇතිවීමට බලපානවා.

ඇත්තටම නිවසට සීමාවී ආරක්ෂිතව සිටින කාලයේ දී ශාරීරිකව ක‍්‍රියාශීලි වීම වැදගත්. රූපවාහිනිය නරඹන විට, කියවීමේදී, සමාජ මාධ්‍ය භාවිත කරන විට, ජංගම දුරකථනයෙන් හෝ තිර භාවිත කරමින් ක‍්‍රීඩා කරන විට වාඩිවී සිටීම හෝ වැතිරී සිටීම වෙනුවට සිටගෙන සිටින කාලය උපරිම කරගත යුතුයි.

ඇවිදීම, නැගී සිටීම සහ අත පය දිගු කිරීමට, මිනිත්තු 5 ක කෙටි විවේකයක් ගත යුතුයි. පඩි පෙළක් ඇත්නම් සෑම විනාඩි 30 කට වරක් පඩිපෙළේ ඉහළට පහළට යෑම සුදුසුයි. ගෙදර දොරේ වැඩ කටයුතු කිරීම, ගෙවතු වගාව; ළමයින් සමඟ සෙල්ලම් කිරීම ආදිය ශාරීරික ක‍්‍රියාශීලි බව වැඩි කිරීමට උපකාර වෙනවා. හැකි නම් අවම වශයෙන් දිනකට පැය 1/2 ක් වත් නිවසේ සිදුකළ හැකි ව්‍යායාමයක යෙදිය යුතුයි. නමුත් යම් කෙනෙක් කොවිඞ් ආසාදනය වී ඇතිනම් හෝ කොවිඞ් සුව වී ඇත්නම් මාස කිහිපයක් යනතෙක් ව්‍යායාම සිදු නොකළ යුතුයි. කොවිඞ් සුවවූ පසු ව්‍යායාම කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි.”

* ගෝලීය කොවිඞ්-19 වසංගතය තුළ, සමාජීය හා පුද්ගල සම්බන්ධතා සීමා වීමෙන් හදවත් රෝග ප‍්‍රතිකාර ක‍්‍රමවේදය පවත්වා ගන්නේ කෙසේ ද…?

‘‘රෝගීන්, ඔවුන්ගේ පවුල් සහ සෞඛ්‍ය අංශ සමඟ සම්බන්ධ කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීම වගේම හෘද රෝගී අයගේ ප‍්‍රතිකාර පිළිබඳ අධීක්ෂණය, උපදෙස් ලබාදීම හා අඛණ්ඩ සත්කාර සැපයුම සහතික කිරීම සඳහා නවීන තාක්ෂණික ක‍්‍රමවේද භාවිත කිරීම වඩාත් ආරක්ෂිත මෙන්ම පහසු විසඳුමක් වෙනවා. වඩාත් පහසුවෙන් භාවිත කළහැකි ඩිජිටල් උපාංග සහ ජංගම දුරකථන යෙදවුම්, රෝගියාගේ දැනුවත්භාවය ප‍්‍රවර්ධනය කිරීමට  වගේම, අවදානම් සාධක සහ සංකූලතා වැළැක්වීම සඳහා ද පහසුවෙන් හා ආරක්ෂිතව භාවිත කළ හැකියි. අපි ඒවා දැනටත් භාවිත කරනවා. ස්මාර්ට් දුරකථන යෙදුම්, දුරකථන උපකාරක සේවා, ටෙලි මෙඩිසින්සේවා, අන්තර්ජාලය හරහා සම්බන්ධවන දුරස්ථ අධීක්ෂණ හා සන්නිවේදන උපකරණ, ඊ මේල් ඇතුළු සන්නිවේදන ක‍්‍රම සහ සමාජ මාධ්‍ය ඇතුළු සියලූ මාධ්‍යද මේ සඳහා ඵලදායී ලෙස භාවිත කළ හැකියි.”

* රෝගීන්ට සෞඛ්‍ය සේවා ලබාදීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය දැනටමත් ඩිජිටල් තාක්ෂණය භාවිත කරන්නේ කෙසේ ද….?

‘‘හදවත් රෝග සහ වෙනත් බෝ නොවන රෝග ඇති අයට හා රෝග වැළඳීම වැළැක්වීම සඳහා අපි දැනටමත් ඩිජිටල් තාක්ෂණය භාවිත කරනවා.

අපි සිදුකරන සමහර සේවාවන් වන්නේ, ජාතික තැපැල් සේවය සමඟ එක්ව හෘද රෝග සහ අනෙකුත් බෝ නොවන රෝග සායනවල  රෝගීන්ගේ සායන ඖෂධ අදාළ රෝහල්වලින් නිවසටම ලබාදීම හා එම සේවා සම්බන්ධීකරණය සඳහා භාෂා තුනෙන්ම ක‍්‍රියාත්මක 0720720720 /0720606060 යන ක්ෂණික දුරකථන ඇමතුම් මගින් තොරතුරු සන්නිවේදනය කිරීම, මහජනතාවගේ සෞඛ්‍ය ගැටලූවලට අදාළව 1999 ක්ෂණික ඇමතුම ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබා දීම, ආපදා කාලය තුළ සෞඛ්‍ය ගැටලූ සඳහා ආපදා කළමනාකරණ හා පෙරසූදානම් ඒකකයේ අංක 0117966366 මගින් අදාළ දැනුවත් කිරීම හා උපකාරක සේවාවන් ලබාදීම, 1926 ක්ෂණික ඇමතුම් අංකය හරහා යහපත් මානසික සෞඛ්‍ය සඳහා උපදෙස් ලබාදීම, සමාජ මාධ්‍ය භාවිතයෙන් හෘදය ආශ‍්‍රිත හා වෙනත් බෝ නොවන රෝග සඳහා අවදානම් සාධක අඩු කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය හා බෝ නොවන රෝග ඒකකය මඟින් සමාජ මාධ්‍ය හරහා හෘද රෝග හා බෝ නොවන රෝග හේතුවෙන් ඇති වන සෞඛ්‍ය අවදානම වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා දීම සිදු කෙරෙනවා.

මීට අමතරව, සෞඛ්‍ය උපදෙස් ලබා දීම සඳහා ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු විවිධ සෞඛ්‍ය ආයතන විසින් 1904, 247, 1390 දරන ක්ෂණික දුරකථන ඇමතුම් අංක හඳුන්වා දී තිබෙනවා. මේ නිසා මෙම වසංගත සමයේ සෞඛ්‍ය  මාර්ගෝපදේශයන් සඳහා සෑම අවස්ථාවකදීම හැකි පරිදි ඩිජිටල් තාක්ෂණය භාවිත ‘සබැඳි දිවියක් -සුවැති හදවතක්‘ උදෙසා වඩාත් යහපත් වෙනවා.”

(විශේෂ ස්තුතිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ, බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මියට)

සාකච්ඡා කළේ – තුෂාරී කළුබෝවිල

advertistmentadvertistment