හදිසි නීතියට පක්ෂව  ඡන්දය දුන් මන්ත්‍රීලාගේ  දේශපාලනය ඉවර කළ යුතුයි – පුබුදු ජයගොඩ

272

ශ්‍රී ලංකා ඉතිහාසයේ මර්දනකාරී ම රෙගුලාසි ඇතුළත් කර හදිසි නීතිය සම්මත කර ගත්තේ ඊයේ පාර්ලිමේන්තුවේ දී බවත් ඊට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ගේ දේශපාලනය අවසන් කිරීමට ජනතාව කටයුතු කළ යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

මින් ඉදිරියට ඡන්දය ඉල්ලාගෙන ඔවුන්ට ජනතාව හමුවට යෑමට නොහැකි යැයිද හෙතෙම කීවේය.

ඊයේ (27 දා) කොළඹදී පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙම හදිසි නීති රෙගුලාසි පිළිගන්නේ නැතැයි ද ඔහු කීවේය.

1971 හෝ 1981 හෝ යුද්ධය කාලයේ දී පවා නොතිබුණු දරුණු රෙගුලාසි මීට ඇතුළත් කර ඇතැයි ද පැවසූ ජයගොඩ මහතා වැඩ වර්ජනය කිරීමට ජනතාවට ව්‍යවස්ථාවෙන් දී තිබූ අයිතිය ද මේ හරහා අහිමි කර එසේ වැඩවර්ජන කරන අය වසර තුනක සිර දඬුවමකට යටත් කර ඔවුන්ගේ දේපොළ ද රාජසන්තක කිරීමට ද මේ හදිසි නීති රෙගුලාසි හරහා උත්සාහ ගන්නා බව ද කීවේය.

ජයගොඩ මහතා මෙසේ ද පැවසීය.

අරගලයට එල්ල කළ පහර දීම හෙළා දකිමින් යුරෝපයේ බුද්ධිමතුන් 158 දෙනකු නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. රනිල් ඒ තරම්ම ජාත්‍යන්තරය ඉදිරියේ පිරිහිලා.

මහජන දේපොළ විකිණීමේ දිශාවටයි රනිල් වික්‍රමසිංහ ගමන් කරන්නෙ. ජනතාව මර්දනය කිරීමටයි හදිසි නීතිය ගෙනාවෙ.

කොළඹ වරායේ ජැටිය අදානි සමාගමට දෙන්න හදන එක වැළැක්වූයේ වැඩ වර්ජනය කරලා. එවැනි ක්‍රියාමාර්ග ගන්න එකයි මේ වළක්වන්න හදන්නෙ. මේ පනතේ ඇතුළුවීමේ අයිතිවාසිකම් කියන කොටස බරපතළයි. ජනාධිපතිවරයා නම් කරන නිලධාරියෙක් යම් ස්ථානයකට ඇතුළු වෙන්න බෑ කියා කිව්වොත් එම ස්ථානයට ජනතාවට යන්න බෑ කියල ඒකෙ තියෙනවා. මෙවැනි නීති හරහා රට ලෝකයා ඉදිරියේ ම්ලේච්ඡයන්ගේ දේශයක් බවට පත්වෙනවා. අපි කියනවා පාර්ලිමේන්තුවේ සෙල්ලම් නොදා පුළුවන්නං ජනතාව ඉස්සරහට ඇවිල්ලා මේ පනතට අනුමැතිය ගන්න කියලා. ඒ වගේම මේ පනතේ සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීම කියන කොටස තවත් භයානකයි. සෝදිසි කරන්න ආ විට දොර ඇරියේ නැත්නම් දොර කඩා ඇතුළු වෙන්න පුළුවන්, ජනෙල්වලින් ඇතුල් වෙන්න පුළුවන්, වහලයෙන් ඇතුළු වෙන්න පුළුවන් කියලා තමා ඒකෙන් කියන්නෙ. ලෝකයේ කිසිම ශිෂ්ට සම්පන්න රටක් මේවා අනුමත කරන්නෑ. යම් අදහසක් ලියන්න, කතා කරන්න, එම අදහස මුද්‍රණය කරලා ජනතාව අතර බෙදන්න, ඒ වගේම එවැනි අදහසක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන්න ජනතාවට තියෙන අයිතියට හදිසි නීතිය කියලා අත තියන්න හදනවා. මේවා පරාජය කළ යුතුයි.

හැමෝම මතක තියා ගන්න ඕනේ දැන් දේශපාලකයින්ගේ රැස් වළලු ඉවර බව. 2021 ශ්‍රී ලංකාව නෙමෙයි දෙදහස් විසි දෙකේදී තියෙන්නේ. දැන් තියෙන්නේ ජනතාව තමන්ගේ පරමාධිපත්‍ය බලය අතට ගත්ත ශ්‍රී ලංකාවක්.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment