හදිසි විදුලිය මිලදී ගන්න කැබිනට් අනුමැතිය

256

රටට අඛණ්ඩව විදුලිබලය ලබාදීමේ අරමුණින් මෙගාවොට් 200ත් 300ත් අතර විදුලි ප‍්‍රමාණයක් හදිසි මිලදී ගැනීම් (Emergency Power) යටතේ ලබාගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

විදුලිබල ඇමැති පවිත‍්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය විසින් මෙම පති‍්‍රකාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

ඉකුත් මාස දෙක තුනක සිට හදිසි විදුලි මිලදී ගැනීමකට යා යුතු බවට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් හා නිලධාරීන් පිරිසක් දිගින් දිගටම යෝජනා කළමුත් මෙතෙක් ඊට අවසර හිමිවූයේ නැත.

මේ වනවිට වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑම, මෙරට ඞීසල් මිල ආදිය ගැළපූ විට හදිසි මිලදී ගැනීම් යටතේ ලංවිම මිලදී ගන්නා විදුලි ඒකකයක මිල රුපියල් 40ත් 50ත් අතර ඉහළ අගයකට යනු ඇතැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙක් සඳහන් කළේය.

හදිසි විදුලි මිලදී ගැනීමට යෑමට අදාළ ගිවිසුම්වලට ඒමේදී ඒකකයක මිල, ගිවිසුම් කාලය, විදුලිය ගත්තත් නොගත්තත් ගෙවිය යුතු Capacity Charges පිළිබඳ තාමත් තීරණවලට එළඹ නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

මෙරට විදුලි අවශ්‍යතා සපුරාලීම සඳහා ඉදිකළ යුතු බලාගාර ඉදිකිරීමට ඉඩ නොදෙන එක්තරා පිරිසක් හදිසි විදුලි මිලදී ගැනීම්වලට යෑම සඳහා ඉකුත් මාස තුන පුරාම විශාල මෙහෙයුමක් දියත් කළ බවද හෙතෙම සඳහන් කළේය.

2021 රජයේ විගණන වාර්තාවලට අනුව මෙරට පෞද්ගලික ඞීසල් බලාගාරයකින් 2020 වසරේ ලංවිමට ලබාගත් විදුලිය සඳහා ඒකකයකට රුපියල් 39.52, 36.84, 28.30 ආදී වශයෙන් ගෙවීම් සිදුකර තිබෙන අතර ඒ සඳහා එම වසරේ පමණක් රුපියල් කෝටි 400ක් ලංවිම එම සමාගමට ගෙවා ඇත. ලබන අපේ‍්‍රල් වන විට වර්ෂාව ලැබුණත් අත්සන් කරන ගිවිසුමට අනුව මෙම පුද්ගලික ඞීසල් බලාගාර හිමියන් වෙත ක්‍්ච්ජසඑහ ක්‍ය්රටැි ගෙවිය යුතුය. 2020 වසරේ ඒකකයක් සඳහා රුපියල් 5.73ක් මිල නියම වී ඇත. ලංවිම මිලදී නොගත් විදුලිය වෙනුවෙන් එම වසරේ ගෙවා ඇති මුදල රුපියල් කෝටි 130 ඉක්මවා තිබූ බවද රජයේ විගණන වාර්තාවල සඳහන්ය.

හදිසි මිලදී ගැනීම් යටතේ විදුලිය ලබාගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගෙන් විමසූ විට ඒ මහතා කීවේ ඊට අවසරදීම සම්බන්ධව අවසාන තීරණය ගැනීම කොමිසම සතුව ඇති බවයි. තාමත් එම යෝජනාව කොමිසමට ලැබී නැතැයි ද හෙතෙම කීය.

ලබන අපේ‍්‍රල් මාසයේ වර්ෂාව ලැබෙන බවට කාලගුණ අනාවැකි පළවී තිබියදී මාස හයකට හෝ වසරකට අදාළව හදිසි මිලදී ගැනීම්වලට යෑම අපරාධයක් බව ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ පවසති.

විදුලිබල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන්, කොමිසමේ ඇතැම් අය රටට අවශ්‍ය බලාගාර ඉදිකිරීමට ඉඩ නොදී කටයුතු කළේ හදිසි මිලදී ගැනීම් කිරීමට බව දැන් පැහැදිලි දැයි ඔහු විමසා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment