හදිසි සැත්කම්වලට එන දොස්තරලාත් ඉන්ධන අවුලේ

259

හදිසි ශල්‍යකර්ම සඳහා කඩිනමින් රෝහල් වෙත ළඟා වීමේදී ඉන්ධන අර්බුදය නිසා ශල්‍ය වෛද්‍යවරුන්ට බරපතළ ගැටලු සහගත තත්ත්වයක් උද්ගතවී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

එබැවින් රජය මගින් වෛද්‍යවරුන් සඳහා පෙට්‍රල් ලබාගැනීමට යම් නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම හදිසි අවශ්‍යතාවක් බවද ඔහු පැවසීය.

දැනට ලංගම ඩිපෝ මගින් ඩීසල් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් වෛද්‍යවරුන් සඳහා ක්‍රියාත්මක වුවත් බහුතරයක් තම රාජකාරි සඳහා යොදා ගන්නේ පෙට්‍රල් වාහන බවත් මෙම තත්ත්වය මත ඔවුනට මහජනයා සමග පෝලිම්වල ගතකොට රෝහල්වලට යෑමට සිදුව ඇති බවත් හෙතෙම පවසයි.

ඉන්ධන පෝලිම්වලදී වෛද්‍යවරුන් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස රජය දැන්වුවත් උද්ගතව ඇති උණුසුම්කාරී තත්ත්වය හමුවේ ඔවුනට එවැනි අවස්ථාවල මහජනයාගෙන් විරෝධයක් එල්ල වීමේ අවදානමක් තිබෙන බවද ඒ මහතා සඳහන් කරයි. රෝහල්වලට ඖෂධ ලැබුණත් වෛද්‍යවරුන්ට කඩිනමින් රෝහල් සහ ප්‍රතිකාර ඒකක වෙත ළඟාවිය නොහැකි නම් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ගැටලුවක් බවට පත්ව ඇතැයි ද විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා කීය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment