හන්තානේ අක්කර 22ක් අතයට ගනුදෙනුවකින් ජාවාරම්කාරයන්ට දෙන්න හදනවා

281

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර

හන්තාන ඌරාගල ප්‍රදේශයේ අහිංසක ජනතාවගේ ඉඩම් අල්ලාගෙන උසාවියත් නොමග යවමින් වතු පාලකයෝ ජාවාරම්කරුවන් සමග එකතුවෙලා හන්තාන ඌරාගල අක්කර 22ක් අත යට ගනුදෙනුවක් හරහා දෙන්න යනවා’යි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා ඌරාගල ප්‍රදේශයේ ජනතාව සමග පෙරේදා (18දා) පැවති උද්ඝෝෂණයකදී පැවසීය.

“හන්තානට අත නොතබව්”, “හන්තානේ ඉඩම් මංකොල්ලය නවතව්”, “හන්තාන අනතුරේ” වැනි වැකි සහිත පුවරු අතැතිව ජනතාව උද්ඝෝෂණයේ නිරත වූහ.

තවදුරටත් කතා කළ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

හන්තාන කියලා කියන්නේ මහවැලි ගඟේ ජල රක්‍ෂිත පෝෂිත ප්‍රදේශයක්. මේ ජල රක්‍ෂිත පෝෂිත ප්‍රදේශයේ තිබෙන දැවැන්ත ගස් ආදිය කුණුකොල්ලයට විකුණා දමමින් හන්තාන ප්‍රදේශය අත්පත් කරගන්නයි මේ උත්සාහ කරන්නේ. හන්තානේ ජීවත්වෙන දුප්පත් මිනිස්සු මේ වත්තට ගිහින් අත්තක් කැපුවොත් අත්අඩංගුවට අරන් හිරේ විලංගුවේ දානවා. නමුත් වතු පාලකයන් මේ භූමිය අල්ලා ගන්නකන් කටුකම්බි ගහනකන් නීතිය ක්‍රියාත්මක කරන අය උනන්දුවක් දැක්වූවේ නැහැ. මේ ඉඩම් අල්ලගන්න ජාවාරම්කරුවන් පන්නා දමන්න කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. පසුගිය කාලයේ ඉඩම් මංකොල්ලයට විරුද්ධව ජනතාව උද්ඝෝෂණය කරද්දී වතු පාලකයෝ ඇහැකන් පියාගෙන හිටියා. අක්කර 22ක් පුරා වැට කම්බි ගහලා භූමිය වෙන්කරගෙන උසාවියට ගිහින් නඩු දැම්මාට පස්සෙ මොකද කියන්නේ? මේ අය පහුගිය කාලයේ කිව්වා මේ දේපළ JEDB ඉඩම් කියලා. නමුත් දැන් කියන්නෙ JEDB ඉඩම් නොවෙයි. මේවා අපි කැමතියි හබකිරීමෙන් තොරව සමතයකට එන්න කියලා. මේවා වතු අධිකාරියට අයිති ඒවා නොවෙයි. ජනවසම්වලට අයිති ඒවා නෙවෙයි. රජයට අයිති ඒවා නොවෙයි කියලා උසාවියට කරුණු ඉදිරිපත් කරන්න වෙනවා.

අතයට ගනුදෙනු හරහා මේ හන්තානේ ඉඩම් ජාවාරම්කාරයන්ට දීමට විරුද්ධව අපි කටයුතු කරනවා. මේ රටේ දහසක් මිනිසුන්ගේ ජල පිපාසය සංසිඳෙන්නේ මහවැලි ගඟ නිසා. මේ ජල පෝෂිත ප්‍රදේශ කුණුකොල්ලයට ජාවාරම්කාරයන්ට විවිධ සංවර්ධන ලේබල් ගහලා ගජරාමෙට විකුණනවා. අපි හන්තනේ ඉඩම් මංකොල්ලයට එරෙහිව පෙළගැහිලා සටන් කරනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment