හනි ට්‍රැප්

1347

අද අපි දැනට රිමාන්ඩ් එකේ සිටින තිලිණි ප්‍රියමාලි ගැන ලියමු. අප ඇය ගැන ලියන්නේ දැනට ඇයට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් ඇය වැරදිකාරිය බව නිගමනය කරන කිසිදු පූර්ව විනිශ්චයකින් තොරවය. තිලිණි ප්‍රියමාලි නමැති නම එක රැයකින් ජනප්‍රිය වුවද මේ රටේ ජනයා එකී රැයට පෙර ඇය ගැන නිකමටවත් දැන සිටියේ නැත. අඩු ගණනේ ඇගේ නම ප්‍රියමාලි ද නොඑසේ නම් පියමාලි ද යන්නවත් අප දන්නේ නැත. කොටුවේ World Trade Center  ගොඩනැගිල්ලෙහි කිසියම් මහලක අන්තර්ජාතික මට්ටමේ කාර්යාලයක් පවත්වාගෙන යන අතර සන්නද්ධ කුලී ආරක්ෂකයන්ගෙන් රැකවරණ ලබමින් ගමන් බිමන් ගිය තිලිණි ප්‍රියමාලි ස්වකීය ව්‍යාපාරවල ආයෝජනය කිරීම සඳහා පිටස්තර පුද්ගලයන්ගෙන් මිලියන දහසකට කිට්ටු මුදලක් ලබාගෙන ඇති බව කියනු ලැබේ. මේ චෝදනා කිසිවක් අධිකරණයේ ඔප්පුකර නැත. මෙවැනි කාන්තාවෝ කාලයෙන් කාලයට මතු වෙති. ඉන් ස්වල්ප කලකට පසු ඔවුන් ගැන මතකය සම්පූර්ණයෙන්ම නැතිව යන අතර එතැන් සිට පටන් ගන්නා රික්තය තුළ අලුත් තිලිණිලා සිය ගණනක් බිහිවෙති. මෙය තිලිණිලාගේ වරද පමණක් නොව මේ රටේ කවදත් පැවතුනු කුණු වූ ධනවාදයේ අතුරුපල ලෙස සැලකිය හැකිය. තිළිණිගේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රකට අරගලකාරියක්, රූපවාහිනී සම්පූර්ණ තරුවක්, රූපවාහිනී භාගෙට තරුවක් සහ හිටපු රූපවාහිනී නිවේදිකාවක වන අරික්කාල් තරුවක් ගැනද දැනගැනීමට තිබේ. එකී අරික්කාල් තරුව තිළිණිගේ ලේකම්වරියලු. තිළිණිගේ මුදල් සෙවීමේ ක්‍රමවේදය මෙසේ යැයි කියති. ඇය ඉතා සුඛෝපභෝගී වාහන සහ සන්නද්ධ ආරක්ෂකයන් සමග සමාජයේ සිටින ධනවතුන් හමුවෙයි. ඊළඟට ඔවුන් සමග මිතුරුකමක් ගොඩනගාගන්නා ඇය සිය ව්‍යාපාරයෙහි මුදල් ආයෝජනය කිරීම සඳහා ඔවුන් පොලඹවයි. මේ ආකාරයෙන් විවිධ නළුවන්ගෙන්, දේශපාලනඥයන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් ඇය මුදල් එකතුකරගෙන ඇත. ඉන්පසු ඇය එම ව්‍යාපාරිකයන්ට ජනප්‍රිය තරු, භාග තරු සහ අරික්කාල් තරු හඳුන්වා දෙයි. එම තරු ඔවුන් සමග රැයක් ගත කිරීම සඳහා ව්‍යාපාරිකයන් පොලඹවා ගනිති. අනතුරුව එම ධනවතුන්ට නොදැනෙන පරිදි අදාළ ලිංගික හැසිරීම් සියල්ල කැමරාගත කරනු ලැබේ. මේ ක්‍රමය හඳුන්වන්නේ Honey Trap ලෙසය. සාමාන්‍යයෙන් තානාපති සේවයේ යෙදන පුද්ගලයන් සහ ඔත්තු සේවාවල කටයුතු කරන පුද්ගලයන් Black mail කිරීම සඳහා මෙම ක්‍රමය යොදාගනු ලැබේ. තිලිණිට මුදල් දුන් ව්‍යාපාරිකයන් මුදල් ආපසු ඉල්ලූ විට ඔවුන්ගේ ලිංගික හැසිරීම් අඩංගු වීඩියෝ දර්ශන ෆේස්බුක් එකට දමන බව කියමින් තිලිණි තර්ජනය කරයි. එවිට එකී ධනවතුන්ට සිදුවන්නේ වලිගය පස්සා පැත්තේ ගසාගෙන නිහඬ වීමටය.

 මේ කතන්දරය ඇත්ත ද බොරුදැයි අපි නොදන්නෙමු. අප සඳහන් කරන්නේද ආරක්ෂක අංශ වලින් සහ වෙනත් මාර්ගවලින් ලැබෙන තොරතුරුය. මේ සිද්ධිවලට තිලිණි ප්‍රියමාලි වගකිව යුතු බව අපි නොකියමු. අප ලියන්නේ අපට ලැබෙන තොරතුරු බවත් සැකකාරිය වැරදිකාරියක බවට කිසිදු පූර්ව විනිශ්චයක් අප තුළ නැති බවත් නැවතත් සඳහන් කරමු.

 ප්‍රියමාලි මැතිනිය ස්වකීය ආයෝජකයන් නිහඬ කිරීම සඳහා Telephone Sex හෙවත් sex chat ක්‍රමයද භාවිත කරන ලදැයි කියති. එය සිදුවන්නේ මෙසේය. පෙරකී මැතිනිය විසින් ස්වකීය ආයෝජකයාට බාගෙට තරුවක් හෝ සම්පූර්ණ තරුවක් හඳුන්වාදෙනු ලැබේ. එම තරුව පෙරකී ආයෝජකයා සමග දුරකථනයෙන් කතා කරන්නට පටන් ගනී. මෙසේ ටික දිනක් කතා කරන විට එම සංවාද sex chat හෙවත් විවිධ ලිංගික හැසිරීම් පිළිබඳව සාකච්ඡා කරන සංවාද බවට පත්වේ. මේ සංවාද සියල්ලම පටිගත කිරීමද සිදුවේ. කිසියම් අවස්ථාවකදී තිලිණි ප්‍රියමාලි තමන්ට වංචා කරතැයි සැකකරන ආයෝජකයා තමන් මුදල් ආපසු ඉල්ලූ විට පෙර කී මැතිනිය, පෙරකී සංවාද අන්තර්ජාලයට මුදාහරින බව කියා තර්ජනය කරන්නේලු. එවිට ආයෝජක තැන කට වසා ගනී. මේ සිද්ධි සියල්ලටම සම්බන්ධ බවට සැක කෙරෙන චීවරධාරියෙක් ගැනද දැනගන්නට ඇත. උන්වහන්සේ දැනට රහතන් වහන්සේ කෙනකු ලෙස පෙනී සිටිත්ලු. නිවන් යෑමට පෙර උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම බලධාරීන්ගේ වගකීම වේ.

 මූල්‍ය ආයතන කඩා වැටීම, ව්‍යාජ මූල්‍ය ආයතන බිමටම සමතලා වීම, එම ආයතනවල මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් සියදිවි නසා ගැනීම යනාදිය පසුගිය කාලයේදී නිරන්තරයෙන්ම අපට අසන්නට ලැබිණ. ඒවා Cooperate Sector එකේ වංචා ලෙස හඳුනා ගැනීමට පුළුවන. ඒ අතර දඬුවම් මුදලාලි, සක්විති වැනි ඒක පුද්ගල වංචනිකයෝද බිහි වූහ. සක්විති මේ මොහොතේදී තමන් කළ සියලු වැරදි පිළිගනිමින් ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස නැවත වතාවක් ජීවිතය ගොඩනගා ගැනීමෙහි නියුතුව සිටින්නේය. ඒ ගැන අපේ කිසිදු විරෝධයක් නැත. එහෙත් ඔහු ළඟ මුදල් තැන්පත් කළ විශාල පිරිසක් සිය දිවි නසා ගත්හ. දඬුවම් මුදලාලි ආගිය අතක් නැති අතර කිසියම් දේශපාලනඥයෙක් ඔහු රටින් පැන්න වූ බව දැනගන්නට තිබේ. මෙයට හේතුව ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙහි ඇති ලිහිල් භාවයද නොඑසේ නම් මේ රටේ ජනතාවගේ හරක් මානසිකත්වයද යන්න ගැන අපට වැටහීමක් නැත. හැබැයි හොරු බෝ කිරීමට සුදුසු වාතාවරණයක් ඇති කරන සිවිල් ජනයා සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගැනීමට පුළුවන. ආණ්ඩුව කොතරම් එපා කිව්වත් වැඩි පොලියක් දෙන කෙනකු ළඟ මුදල් තැන්පත් කිරීමට මේ රටේ ජනයා නිතරම සූදානම්ය. ඔවුන් එසේ තැන්පත් කිරීම සඳහා මුදල් සොයා ගන්නේ සිය ගේ දොර පවා උගස් කිරීමෙනි. ශ්‍රී ලංකාව තුළ කොතරම් බිල්ඩින් ඉදි කළත් ජනතාවගේ මානසිකත්වය වැඩිදියුණු කිරීමට නොහැක. තිලිණි ප්‍රියමාලි, දඬුවම් මුදලාලි, සක්විති මාස්ටර් යනාදීහු එම ක්‍රමය තුළින් මතුවූ අය වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment