හනුමාගේ නැට්ට

961

ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින් නිකුත් කර ඇති මැයි මස දළ විශ්ලේෂණයේ සඳහන් වන පරිදි එම මාසයේ ආහාර උද්ධමනය 57.4% සිට 80.1% දක්වා ඉහළ ගොස් ඇත. ප්‍රවාහන උද්ධමනය 128% කි.

ඉහතින් සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ගිය මාසයේ තත්ත්වයයි. මේ මාසයේ තත්ත්වය ඊට වඩා බොහෝ වෙනස්ය. මේ වන විට කිසිදු දෙයකට කිසිදු මිල පාලනයක් නැත. බස් එකේ පළමු සෙක්ෂන් එකේ හෙවත් අවම බස් ගාස්තුව රුපියල් හතළිහකි. මීට අවුරුද්දකට පෙර මේ ගණන රුපියල් නවයකි. එක්දහස් අනූ ගණන්වල පළමු වැනි සෙක්ෂන් එකේ මිල රුපියල් එකයි පනහකි. එකල හාල් කිලෝව රුපියල් විසි ගණනකි. වසර 2001 දී බලයට පත්වූ රනිල්ගේ ආණ්ඩුව වසර දෙකක ඇවෑමෙන් බිමට ඇද දැමූ චන්ද්‍රිකා යළි බලයට පත්වූවාය. ඉන් ස්වල්ප කලකට පසු සහල් කිලෝව රුපියල් හැටක අවම මිලකට විකුණන ලදි. මෙහිදී ජනතාව තුළ විශාල නොසන්සුන්තාවක් ඇතිවිය. ඒ මොහොතේදී ඡන්දයක් පවත්වන ලද්දේ නම් නිසැකවම චන්ද්‍රිකාගේ ආණ්ඩුව පෙරළෙන්නට ඉඩ තිබිණ. අද අඩුම මිල සහල් කිලෝවක් රුපියල් දෙසිය හතළිහකි. සැමන් ටින් එකක් රුපියල් හත්සිය පනහකි. ඇතැම් තැනක රුපියල් අටසීයකි. සීනි කිලෝවක මිල තීරණය වන්නේ සෑම දවසකම උදය වරුවේය. හෙට්ටිවීදියේ රත්තරන් පවුමේ මිල තීරණය වන්නේද මේ ආකාරයටමය. අද සුදු සීනි කිලෝවක් රුපියල් තුන්සිය පනහකි. රතු සීනි කිලෝවක් රුපියල් තුන්සිය හැටකි. හෙට මේ මිල තවදුරටත් ඉහළ යනවා ඇත. ඇතැම් දිනෙක මේ මිල ශත විසිපහකින් හෝ ශත පනහකින් අඩුවීමට ඉඩ තිබේ. අඩු වන්නේ ශත ගණන්වලින් වුවද මිල වැඩිවන්නේ රුපියල්වලිනි.

භාණ්ඩ මිල කොතරම් ඉහළ ගියද මේ රටේ ජනතාවගේ වැටුප තඹ ශතයකින්වත් ඉහළ ගොස් නැත. ඇත්තම කතාවනම් ජනතාවගේ ආදායම ඉතා වේගයෙන් අඩුවී ඇති බවය. සමහර පෞද්ගලික ආයතනවල අතිකාල දීමනා සහ වැටුප් අඩු කිරීම පවා සිදුවී තිබේ. මේ නිසා උද්ධමනයට මුහුණ දීමට ජනතාවට නොහැක. මේ තිබෙන උද්ධමනයට මුහුණ දෙමින් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට නම් මේ රටේ ජනතාවගේ වැටුප 400% කින් වැඩිවිය යුතුව ඇත.

ආණ්ඩුව කියන්නේ මේ රටේ ජනයා වහ වහා වගා කටයුතුවලට යොමුවිය යුතුව ඇති බවය. සිංගප්පූරුව වැනි රටකනම් මෙය පැය විසිහතරේ වැඩකි. ඒ රටේ තට්ටු නිවාසවල වෙසෙන ඕනෑම කෙනෙකුට පැය විසිහතරක් තුළ ගොවියකු වීමට පුළුවන. ඒ සඳහා අවශ්‍ය කරන රසායනික දියර පොහොර, එළවළු ඇට, කුඩා මාළු ටැංකු වැනි වගා පෙට්ටි සිංගප්පූරුවේ හැම කඩයකම විකිණීමට තිබේ. තට්ටු නිවැසියා කළ යුතුව ඇත්තේ මේ ටැංකි එකක් හෝ දෙකක් මිලට ගෙන එයට වතුර පුරවා රසායනික පොහොර මිශ්‍රකර ටැංකිය උඩින් දැල් කැබැල්ලක් තබා ඒ මත එළවළු ඇට ඉසීමය. දින දෙකක් තුළ මේ එළවළු ඇට මුල් අදින අතර ඒවා දැළ අස්සෙන් ටැංකියේ තිබෙන ජලයට කිඳා බසී. මෙය හයිඩ්‍රෝ ෆ්ලාන්ටේෂන් හෙවත් ජලය මත එළවළු වගා කිරීමේ උසස් ක්‍රමයකි. සිංගප්පූරු ජාතිකයන් තමන්ගේ උදයේ ආහාර වේල සඳහා අවශ්‍ය සලාද කොළ, ගර්කින්, තක්කාලි ඇතුළු එළවළු වර්ග කීපයක්ම වගා කරන්නේ මේ ආකාරයටය. සිංගප්පූරු තට්ටු නිවාසයක වෙසෙන දරු පවුලක උපරිම සාමාජිකත්වය හතරකි. ඉහත සඳහන් එළවළු වගාව මේ හතර දෙනාගේ දෛනික ආහාරවලට ප්‍රමාණවත්වය. හතර දෙනකුගෙන් යුත් පවුලකට ටැංකි අටක එළවළු වැවීම ප්‍රමාණවත්ය. මෙය තනිකරම රසායනික පොහොර මත යැපෙන ක්‍රමයකි. ලෝකයේ රසායනික පොහොර වැඩිපුරම භාවිත කරන රට සිංගප්පූරුවය. ඒ රට පැය විසිහතරක් තුළ කාබනික පොහොරවලට හැරවීමට ඒ රටේ වර්තමාන ජනාධිපති ක්‍රියා කළේ නම් සිංගප්පූරු

ජාතිකයාට සිදුවන්නේ මාසයක් ඇතුළත අභාවප්‍රාප්ත වීමටය. රසායනික පොහොර නිසා අපේ රටේ ජනතාවට විවිධ රෝගාබාධ වැළඳේ. එහෙත් අප දන්නා කාලයේ සිට සිංගප්පූරුවේ ජනතාව රසායනික පොහොර නිසා වැළඳුනු කිසිදු රෝගයකින් මියගොස් නැත.

අපට වැටහෙන අන්දමට මේ රටේ ආණ්ඩුව සිතාමතාම ජීවන වියදම යන සාධකය අත්හැර දමා තිබේ. එමඟින් අපට තීරණය කිරීමට සිදුව ඇත්තේ මේ රට ස්වකීය ජනතාව අත්හැර දමා තිබෙන බවය. ආණ්ඩුව මෙහෙම කරන්නට ගියොත් ඉදිරි කාලයේදී ජනතාවද ආණ්ඩුව අත්හැර දමනවා ඇත. එවිට අරාජික රාජ්‍යයක් බිහිවේ. අරාජික රාජ්‍යයක් තුළ සිවිල් යුද, ජනවාර්ගික අර්බුද, ප්‍රචණ්ඩ ක්‍රියා යනාදිය නිකම්ම පත්තු වේ. වෙළෙඳ පොළ සහ ආර්ථිකය පාලනය කිරීමට බැරි ආණ්ඩුවට ජනතාව පාලනය කිරීමට නොහැක.

ලංකාව සිය ආර්ථික ඉතිහාසයේ දරුණුම තැනට පත්ව සිටින මොහොතකි මේ. මේ ආකාරයේ ආර්ථික අර්බුදයක් කිසි කලෙකත් හටගෙන නැති අතර මේ ආකාරයෙන් ආර්ථික අර්බුදයේදී ජනතාව නැට්ට පස්සේ පැත්තේ ගසාගෙන සිටි යුගයක් කවදාවත් ඇවිත් නැත. ආණ්ඩුව කල්පනාවෙන් සිටිය යුත්තේ එක් කාරණයක් ගැන පමණි. එනම් ජනතාව දෙපා තුළ රුවාගත් නැට්ට ආපසු එළියට ගත් දවසට හනුමාගේ වලිගයට මෙන් එම නැට්ටටද ගිනි ඇවිලෙන බවය. ඒ ගිනි නිවීමට එක්සත් ජාතීන්ගේ සාම හමුදාව අවශ්‍යය.

advertistmentadvertistment
advertistmentadvertistment