හම්බන්තොටින් එළියට පැනපු රටේ බඩගින්න

760

පාලකයන්ට අනුව රටේ දරුවන්ට කියන තරම් මන්දපෝෂණයක් නොමැතිය. ගමට ගොස් ගමේ මිනිසුන් සමග කතාබහ කිරීමේදී අනාවරණය වූයේ දරුවන්ගෙන් සියයට අසූවක්ම මන්දපෝෂණයට ගොදුරු වී ඇති බවයි.

රට තුළ ගෙවුණු මාස හයක පමණ කාලය තුළදී පමණක් ජනතාවට දරාගත නොහැකි තරමටම උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව ජනතාවට තේරුම් ගොස් ඇති නමුත් ඉහළ බලධාරීන් මෙන්ම ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ට මෙම තත්ත්වය තවමත් පිළිගත නොහැකි කරුණක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ ලක්ෂ 63ක ජනතාවක් මධ්‍යස්ථ මට්ටමේ සිට උග්‍ර මට්ටමේ ආහාර අනාරක්ෂිත භාවයකට මුහුණ දී ඇති බවත්, ප්‍රමාණවත් ජීවිතාරක්ෂක සහ ජීවනෝපාය ආධාර ලබා නොදුනහොත් එම ජනතාවගේ තත්ත්වය ඉතා බැරෑරුම් විය හැකි බව මේ වන විට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙළ අනතුරු අඟවා තිබේ.

එමෙන්ම ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවද, සඳහන් වන්නේ අගෝස්තු මාසයේ උද්ධමනය 70%කින් ඉහළ ගොස් ඇති බවත්, ආහාර උද්ධමනය 84.6% ප්‍රමාණයක ඉහළ අගයක පවතින බවයි. පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව සකස් කෙරෙන මෙම වාර්තාවට අනුව පසුගිය ජූලි මාසයේදී සියයට 66.7ක්ව පැවති උද්ධමනය මේ වන විට සියයට 70.2ක් දක්වා ඉහළ ගොස් තිබේ. සියයට 82.5ක්ව පැවති ආහාර උද්ධමනය සියයට 84.6ක් දක්වා ඉහළ ගොස් තිබේ. මීට අමතරව ආහාර නොවන භාණ්ඩ මත සැළකෙන උද්ධමනය ජූලි මාසයේදී සියයට 52.4ත් ලෙස පැවති අතර මේ වන විට එය 57.1ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම නිවාස කුළිය, විදුලිය, ජලය, ගෑස් සහ ඉන්ධනවලට අදාළව පැවති සියයට 22.9ක්ව පැවති උද්ධමනය මේ වන විට සියයට 32.1ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ කුමන වාර්තා කුමන ආකාරයෙන් නිකුත් කෙරුණද බලධාරීන්ගේ මතයට අනුව තවමත් රට තුළ කිසිදු ගැටලුවක් මතුව නොමැති තරම්ය. ජනතාව මේ වන විට පත්ව ඇති අසරණ තත්ත්වය පිළිබඳවද මාධ්‍ය හෙළිදරව්ව සිදුකරනතෙක්ම කිසිදු නිලධාරියෙක් ගමට ගොස් ජනතාවගේ බත් හට්ටිය පිළිබඳව, ඔවුන්ගේ පෝෂණය පිළිබඳව සොයා බැලුවේ නොමැතිය. එවන් පසුබිමක් තුළ දිගින් දිගටම ජනතාවගෙන් ලැබුණු දුක්ගැනවිලි හමුවේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති, හම්බන්තොට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා මහතා ඇතුළු කණ්ඩායමක් සමග මාධ්‍යවේදීන් වන අපද සූරියවැව වල්සපුගල කොස්වගාව ගම්මානයට හා ඒ අවට නිවාස වෙත පා ගමනින් ගෙයින් ගෙට ගොස් ජනතාව සමග සුහද කතාබහක නිරත වෙමින් සමාජ සමීක්ෂණයක නිරත විය. මේ ගමන සඳහා එක් වූ පිරිස රජය දැනුවත් කර මේ ගමනට එක් නොවූ නමුත් අප කළ සමීක්ෂණයේදී අනාවරණය වූයේ එම පවුල්වල වයස අවුරුදු 05ට අඩු දරුවන්ගෙන් සියයට අසූවක්ම මන්ද පෝෂණ තත්ත්වයේ පසු වූ බවයි. සෑම නිවසකම දරුවන් දෙතුන් දෙනා මේ වන විට මන්දපෝෂණ තත්ත්වයට ගොදුරුව සිටි අතර ඉතිරි දරුවන්ද මන්දපෝෂණ තත්ත්වයට ශීඝ්‍රයෙන් ළඟාවෙමින් පවතින බවද මෙහිදී අනාවරණය විය. මෙම සමාජ සමීක්ෂණයේදී ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය විසින් දරුවාගේ වර්ධනය පිළිබඳව සටහන් කරනු ලබන සෞඛ්‍ය කාඩ්පත් පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහිදී ඒ බව පැහැදිළිවම අනාවරණය විය. අප කළ මෙම හෙළිදරව්ව නිසා ප්‍රාදේශීය මට්ටමේ සෞඛ්‍ය බලධාරීන් මෙන්ම ඊට වගකිවයුතු නිලධාරීන් බොහෝමයකගේ හිත් රිදී ඇති බව ඉතා පැහැදිලිය. අප කළ හෙළිදරව්ව පිළිබඳව සොයා බලා ඊට නිසි විසඳුම් ලබා දෙනවා වෙනුවට ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් කඩිමුඩියේ අදාළ ගමට ගොස් මාධ්‍යයට කරුණු කී ජනතාව බියවද්දමින් සිටින බවටද අපට තොරතුරු අනාවරණය විය. එදිනෙදා කුළියක් මලියක් කරගෙන දරු පැටව් එක්ක ජීවිතය ගැට ගසාගන්නට වෙරදරමින් සිටි මේ අසරණ මිනිසුන් අපත් සමග පැවසුවේ මෙවන් කතාවකි.

හම්බන්තොටින් එළියට පැනපු රටේ බඩගින්න
දරුවන්ගේ සෞඛ්‍ය කාඩ්පත් පරීක්ෂා කළ අයුරු

“අවුරුදු දෙකහමාරකින් දේශපාලකයෙක් හෝ වගකිවයුතු නිලධාරියෙක් මේ ගමට ඇවිත් නෑ. මේ ගම්වල මිනිස්සුන්ගේ දුක කඳුළ දෙස බලපු කෙනෙක් නෑ. අපිට සුරපුරයක් මවලා පෙන්නලා ඡන්දේ කාලෙදී ගමට ඇවිත් සුරංගනා කතා කියලා අපෙන් ඡන්දය අරන් ගිය පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු හා ඔවුන්ගේ දරුවන් සුඛෝපභෝගී වාහනවල නැගලා ගිහින් සුපිරි කෑම බීම කාලා හොඳට ඇඳල පැළඳලා සුරසැප විඳිද්දී අපි අපේ පුංචි වුන්ට මාළු කෑල්ලක් බිත්තරයක් තියා තුන් වේලට හොද්දක් එක්ක බත් කටක් දී ගන්න බැරිව අසරණ වෙලා ඉන්නවා. අද වෙනකම් එක නිලධාරියෙක් මේ ගමට ඇවිත් අහලා නෑ මේ දරුවෝ කනවද බොනවද. ඉස්කෝලේ යනවද, මොනවද ගමට තියෙන අඩුපාඩු කියලා. ඇත්තටම ඇතැම් දවස්වල දරුවට ඉස්කෝලෙට ගෙනියන්න කෑම එකක් හදාදීගන්න බැරි නිසා දරුවා පාසල් යවන්නේ නැතුව ගෙදර තියාගන්න අවස්ථා ගොඩක් තියෙනවා. අද වෙනකොට අපි විඳින දුක දන්නේ උඩ ඉන්න දෙවියෝ විතරයි” යැයි හම්බන්තොට සූරියවැව වල්සපුගල කොස්වගාව පදිංචි මවක් සිය දරුවන් සමග හැඬූ කඳුළින් යුතුව පැවසීය.

අප සිදුකළ මෙම හෙළිදරව්වත් සමගින් මේ වන විට රට වටින්ම මෙවැනි පුවත් දිනෙන් දින වාර්තාවෙමින් තිබේ. මෙහිදී අප පැහැදිලිවම සඳහන් කළ යුතු කරුණ නම් ජනතාව සමග කටයුතු කිරීමට ප්‍රාදේශීය ලේකම්වරයාගේ පටන් පහළට නිලධාරීන් කෙළකෝටියක් හිටියත් මේ වනතුරුත් එම නිලධාරීන්ගෙන් අතළොස්සකින් හැරුණුකොට බහුතරයකින් දුප්පත් අසරණ මිනිහා වෙනුවෙන් ඉටුවිය යුතු සේවා ඉටු නොවන බව නම් ඉතා පැහැදිලිය. කන්න බොන්න නැතිව ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටින බොහෝ පවුල්වලට අඩුම ගාණේ සමෘද්ධියවත් හදාදෙන්නැයි ඉල්ලමින් නිලධාරීන් පස්සේ බැගෑපත් වෙමින් මාස ගණන් යන්නට සිදුව තිබේ. ඒ ගියද එම කාර්යය ඉටුකරගැනීමට නැති බැරි අසරණ මිනිහට බැරිව තිබේ. එහෙත් අදටත් ගම් මට්ටමේ සමෘද්ධිය නොලැබිය යුතු පවුල්වලටත් සමෘද්ධි සහනාධාරය ලැබේ. මෙවන් පරිසරයක් තුළ නිසි පෝෂණයක් හා ආහාර හිඟය නිසා දරුවන් ආහාර නොගෙන පාසල්වලට පැමිණීම හේතුවෙන් පාසල් කාලය තුළ වෙනදාට වඩා ළමුන් පිරිසක් ක්ලාන්තය හැදී බිම ඇදවැටීම් වාර්තා වෙයි. ප්‍රදේශයේ පාසල් තුළ ක්ලාන්තය හැදී බිම වැටෙන ළමුන් පිළිබඳ වාර්තා සෞඛ්‍ය නිලධාරීන් ළඟ හෝ ඇමැතිවරුන් ළඟ නොමැතිය. ඒ බව දන්නේ ප්‍රදේශයේ ජනතාව හා ගුරුවරුන් පමණකි. යම් හෙයකින් මේ සම්බන්ධයෙන් පුවතක් මාධ්‍ය හරහා ප්‍රචාරය වුවහොත් ඇමැති කරන්නේ ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන්ගෙන් වාර්තාවක් කැඳවීමය. ඉතින් සෞඛ්‍ය නිලධාරියා ළඟ මේ සම්බන්ධයෙන් සංගනනයක් හෝ වෙනත් වාර්තාවක් නොමැතිය. අඩුම එවැන්නක් සිදුව ඇතිද යන්නවත් සමහර විට සෞඛ්‍ය නිලධාරීන් දන්නේද නොමැතිය. එවිට ඔහු ඉහළ නිලධාරියාට ලබා දෙන්නේ එවැන්නක් මෙහේ සිදුවන්නේ නොමැතිය කියාය. ඒ සැබෑ ලෙසම ජනතාව පිළිබඳව සිතා ලබාදෙන වාර්තාවක් නොව තමන්ගේ තනතුර රැක ගැනීම වෙනුවෙන් ලබාදෙන වාර්තාවකි. පසුගියදා සූරියවැව වල්සපුගල කොස්වගාව ගම්මානයේ සංචාරයෙන් පසු එහි ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳව අප කළ හෙළිදරව්ව පිළිබඳවද අද වන විට සෞඛ්‍ය ඇමැතිවරයාගේ පටන් ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාද විවිධ ප්‍රකාශ නිකුත් කරමින් එවැන්නක් සිදුව නොමැති බවත්, මෙම මාධ්‍ය වාර්තාව බොරුවක් බවටත් ඇඟවීමට කටයුතු කරමින් සිටීම ජනතාව ද පිළිකුලෙන් යුතුව හෙළා දකී.

එමෙන්ම හම්බන්තොට සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය මගින්ද එවැනි සිදුවීමක් නොමැති බවට ලිපියක් සෞඛ්‍ය ඇමැතිවරයාට යවා ඇති බව අපට අනාවරණය විය. මෙහි ඇති කනගාටුවට කරුණ නම් ජනතාව අසලට ගොස් ඔවුන්ගේ සැබෑ තත්ත්වය සියැසින් නොදැක මෙලෙස එවැන්නක් ගැත කීම කොතරම් සාධාරණද යන්න දෙතුන් වරක් සිතාබැලිය යුතුය.

මේවා මෙසේ වාර්තා වෙද්දී රට වටා පාසල් මට්ටමින්ද දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ අතර සූරියවැව නමඩගස්වැව මහා විද්‍යාලයේ ආහාර නොගෙන පාසලට පැමිණෙන දරුවන් සඳහා ආහාර ලබාදීමට බත් බැංකුවක් පාසල තුළ ස්ථාපිත කිරීමට විදුහල්පතිවරයා හා ගුරුවරු කටයුතු කර තිබේ. ගුරුවරුන් විසින් මේ බත් බැංකුව සඳහා බත් පාර්සල් ලබා දීම සිදුකරණු ලබයි..

පසුගිය 22 වැනි දින ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාශයේ පාසලක දරුවකු දිවා ආහාරය සඳහා කුරුම්බා මද රැගෙන ආ පුවතක්ද වාර්තා වූ අතර එයද පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්විය. එයද සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් බොරුවක් බවට පවසා විදුහල්පතිනියගේ හඬපටයක් පාර්ලිමේන්තුවේදී ක්‍රියාත්මක කිරීමට යෑමේදී කථානායකවරයා අමාත්‍යවරයාට අවවාද කළේ එය එලෙස නොකරන ලෙස දන්වමිනි.

එහිදී දෙමාපියන් අපත් සමග කිව්වේ සතියකට දවස් දෙක තුනක් තමයි කුලියකට යන්න තියෙන්නේ. ඉතුරු වෙන කීයකින් හරි බඩවියත රැකගන්න හාල් පොල් ටිකක් ගන්නකොට මස් මාළු බිත්තර ගන්න පුළුවන් කමක් නෑ කියලයි. මේ ගමේ ඇවිද ගිය අපට නිවෙස් දෙක තුනක් විතරයි හමු වුණේ මාසෙකට දවස් දෙක තුනක්වත් බිත්තරයක් කන පවුලක්.ගම්මානයේ පදිංචි වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ සෞඛ්‍ය කාඩ්පත් අප වෙන වෙනම නීරීක්ෂණය කළා. එහිදී දැකගන්න ලැබුණේ දරුවන්ගෙන් සියයට තිහක් විතර මේ වන විට උග්‍ර මන්දපෝෂණ තත්ත්වයට පත් වෙලා තිබෙන බවත්, සියයට පනහක් මද මන්දපෝෂණ තත්ත්වයට පත්ව ඇති බවත් ඉතිරි සියයට විස්සද මන්ද පෝෂණ තත්ත්වයට ළඟාවෙමින් තිබෙන බවයි. බොහෝ පවුල්වල දරුවන් තුන්දෙනයි. තුන් දෙනාම මන්දපෝෂණ තත්ත්වයේ තමයි පසු වෙන්නේ. ඉතින් ඒ ළමයි වෙනුවෙන් පවුල් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන හරහා වෙනම ආහාර වැඩසටහන් පැවැත්වීමට උපදෙස් ලබා දී ඇති නමුත් ජනතාව පවසන්නේ ඒ සඳහා යෑමට තරම්වත් පසුබිමත් මේ පවුල් වෙත නොමැති බවයි. ඉතින් බලධාරීන් මේ වෙලාවේ කළ යුත්තේ ගමේ ඉන්න මේ දුප්පත් ජනතාවට කොහෙට හරි එන්න කියලා වැඩසටහන් කරන එක නෙමේ. නිලධාරීන් ගමට ගිහින් මේ ජනතාවගේ පෝෂණ තත්ත්වය නඟාසිටුවීමට අවශ්‍ය පියවර ගැනීමයි.

සටහන හා සේයා රූ –
මත්තල දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment