හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශය ගැසට්ටුවකට පමණක් සීමා වේද?

166

ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණය සහ අලි-මිනිස් ගැටුම් කළමනාකරණය සම්බන්ධ ඉතිහාසයේ තීරණාත්මක පරිච්ඡේදයක් ආරම්භ කරමින් හම්බන්තොට මහා සංවර්ධන සැලැස්මට මෙරට ප්‍රථම වතාවට වන අලි කළමනාකරණ ප්‍රදේශයක් ඇතුළත් කර මේ වන විට දශක එකහමාරක් පමණ ගතවී තිබේ. තවද එකී වන අලි කළමනාකරණ ප්‍රදේශය මහපොළොවේ යථාර්ථයක් බවට පත්කරන ලෙස ඉල්ලා සිදුකළ අඛණ්ඩ ගොවි අරගලයේ ප්‍රතිපලයක් ලෙස නිකුත් කෙරණු ‘හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය’ ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර මේ වන විට වසර තුනකට ආසන්න කාලයක් ගතවී තිබේ. කෙසේ නමුත් මේ කිසිවකින් වන අලි කළමනාකරණ ප්‍රදේශයක් ප්‍රකාශයට පත් කිරීමේ මුඛ්‍ය පරමාර්ථය වන අලි ඇතුන් සංරක්ෂණය සහ අලි-මිනිස් ගැටුම් කළමනාකරණයට මෙතෙක් කිසිදු සෙතක් අත්වී නොතිබීම ජාතියේ අවාසනාවකි.

ඉතිහාසය

හම්බන්තොට මහා සංවර්ධන සැලැස්ම (Greater Hambantota Development Plan) යටතේ නාගරික සංවර්ධන අධිකාරිය හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිර්මාණය කරන ලද හම්බන්තොට කලාපගත කරන සැලැස්ම තුළින් එම ප්‍රදේශයේ වර්ෂ 2030 දක්වා සිදු කිරීමට අපේක්ෂිත සියලු සැලැසුම්ගත සංවර්ධන ක්‍රියාකාරකම්වලට අවශ්‍ය ඉඩම් වෙන් කිරීම සිදු කරන ලද්දේ 2010 වසරේදී පමණය. එහි දී එම ප්‍රදේශවල දිවි ගෙවූ වන අලි ඇතුන්ගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා ද අවශ්‍ය ඉඩම් වෙන් කිරීමට එම කලාපකරණ සැලැස්ම මඟින් කටයුතු කරන ලදී. එම භූමි ප්‍රදේශය හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශය (Managed Elephant Range) ලෙස දක්වා තිබේ. මෙරට ඉතිහාසය තුළ වන අලි සංරක්ෂණයේ සහ අලි-මිනිස් ගැටුම් කළමනාකරණයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස එය හැඳින්විය හැකිය.

වන අලි කළමනාකරණ ප්‍රදේශයක් යනු කුමක්ද?

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ජීවත්වෙන වාසභූමිවලින් සියයට හැත්තෑවක් (70%) පමණම ව්‍යාප්ත වී ඇත්තේ වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මගින් පරිපාලනය වන රක්ෂිත ප්‍රදේශවලින් පිටතය. අලි-මිනිස් ගැටුමට පිළියම් ලෙස එම සතුන් වනජීවී රක්ෂිත තුළට ගාල් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් දැරූ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වී තිබේ. එබැවින් අලි- මිනිස් ගැටුමට ඇති ප්‍රධානතම විසඳුමක් වන්නේ රක්ෂිත ප්‍රදේශවලින් බැහැර පිහිටි හස්ති වාසභූමි ආරක්ෂා කිරීමය. විද්‍යාඥයින් විසින් ‘වන අලි කළමනාකරණ ප්‍රදේශ’ සංකල්පය යෝජනා කරන්නේ ඒ සඳහාය. එහි පළමු පියවර ලෙස හම්බන්තොට මහා සංවර්ධන සැලැස්ම සකස් කිරීමේදී ප්‍රදේශයේ වනජීවී රක්ෂිත වලින් බැහැරව ජීවත්වුණු අලි ඇතුන් 400 කගේ පමණ වාසභූමි ‘හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශය’ මගින් ආරක්ෂා කිරීමට පිඹුරුපත් සැකසුණි. ඒ අදාළ ප්‍රදේශයේ ජීවත් වූ වන අලින් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට ගාල් කිරීමට දරන ලද ඉතා අමානුෂික උත්සාහය අසාර්ථක වූ පසුබිමකය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත 2020 ජූලි 22 දින පත්කෙරුණු ජනාධිපති කමිටුවක් මගින් සකස් කෙරුණු ‘ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ මගින්ද මෙවැනි ‘වන අලි කළමනාකරණ ප්‍රදේශ’ පිහිටුවීමට යෝජනා කර තිබේ. අලි ඇතුන් පිළිබඳ ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුතු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සහ පරිපාලන නිලධාරීන් රැසකගෙන් මෙම කමිටුව සමන්විත විය. ජාතික සැලැස්මේ වන අලි සංරක්ෂණ ප්‍රදේශ, වන අලි කළමනාකරණ ප්‍රදේශ, සහ වන අලි පිවිසුම් (අලි මංකඩ) සැලකිල්ලට ගනිමින් වන අලි වාසභූමි හඳුනාගැනීම සහ සිතියම්ගත කිරීම මගින් අලි ඇතුන්ගේ නිදහස් සංචරණය සහතික කිරීම අවධාරණය කර තිබේ. වන අලින්ට GPS කරපටි යොදා ලබාගන්න දත්ත අනුසාරයෙන් හඳුනාගන්නා වන අලින්ගේ වාසභූමි සහ සංචරණ රටා සහ අනාගත සංවර්ධන අවශ්‍යතා මෙවැනි වන අලි වාසභූමි හඳුනාගැනීමේදී සැලකිල්ලට ගත යුතුය. ඇතැම් ගම්මාන නැවත පදිංචි කරවීම සහ පවත්නා ආරක්ෂිත ප්‍රදේශ නැවත සකස් කිරීම අවශ්‍ය විය හැකි බවත් ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම, සාර්ථකත්වය අධීක්ෂණය කිරීම සහ අවශ්‍ය පරිදි අනුවර්තනය කිරීම අවශ්‍ය බවත් එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශය ගැසට්ටුවකට පමණක් සීමා වේද?

බෝඩ් ලෑල්ලකට සීමාවූ රක්ෂිතය

නමුත් එදා මෙදා තුර දශක එකහමාරකට ආසන්න කාලයක් ‘හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශය’ පැවතුණේ බෝඩ් ලෑලිවලට පමණක් සීමාවී ය. බෝඩ් ලෑලිවලින් වට කෙරුණු එම හස්ති වාසභූමි සුළු ප්‍රමාණයද දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ සහය ඇතිව විවිධ ව්‍යාපාරිකයන් විසින් ආක්‍රමණය කෙරුණේ එළිපිටමය. විවිධ වගා ව්‍යාපෘති, පස් කැණීම්, ගල් කොරි වැනි එකී මෙකී නොකී විනාශකාරී ක්‍රියා නිසා වන අලි කළමනාකරණ ප්‍රදේශයට අයත් වනාන්තර විනාශ වූ අතර එහි සෘජු ප්‍රතිපලයක් ලෙස ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම් එන්න එන්නම උත්සන්න විය. අවසානයේදී හම්බන්තොට ජනතාවට තම ජීවිත පරිත්‍යාගයෙන් අරගල කර අලි ඇතුන්ට ඔවුන්ගේ වාසභූමි වෙන්කර දීමට සිදුවෙන තැනට තත්ත්වය දරුණු අතට හැරුණි.

වල්සපුගල ගොවි අරගලය

මෙකී වන අලි කළමනාකරණ ප්‍රදේශය මහපොළොවේ යථාර්ථයක් බවට පත්කිරීමට දේශපාලන අධිකාරිය හෝ වගකිවයුතු නිලධාරීන් අපොහොසත් වුවහොත් මෙම කලාපයේ පවත්නා වන අලි – මිනිස් ගැටුම ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව ලියුම්කරු මුලින්ම අවධාරණය කළේ 2013 වසරේදීය. (2013 මැයි 28 දින දිවයින පුවත්පතේ පළවූ ‘හම්බන්තොට සංවර්ධනයේදී වන සතුන් කබලෙන් ළිපට’ ලිපියේ මෙම කරුණු අනාවරණය කර තිබේ). විශේෂයෙන් මෙම වන අලි කළමනාකරණ ප්‍රදේශය වටා පිහිටි මහගල්වැව, උනාතුවැව, කුඩාඉඳිවැව, තැලිගම, දිමුතුගම, පඩව්ගම, ගොන්නෝරුව, හැඩිල්ල, උඩමත්තල, පහළමත්තල, පුංචිඅප්පුජඳුර වැනි ගම්මාන විශාල ප්‍රමාණයකට එල්ල වන වන අලි ප්‍රහාර ඉදිරියේදී තවත් උත්සන්න විය හැකි බව ලියුම්කරු එහිදී අනතුරු ඇඟවීය. මේ වන විට එම තත්ත්වය තවත් දරුණු අතට හැරී ඇති අතර හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශය යථාර්ථයක් බවට පත්කරන ලෙස ඉල්ලා වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් වල්සපුගල ප්‍රදේශයේ දින 108ක් පුරා අඛණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක කෙරුණි.

ගැසට් නිවේදනය

මෙම අනවරත ගොවි අරගලය විසින් එල්ල කෙරුණු බලපෑම් මැඩගත නොහැකිවූ තැන ආණ්ඩුව සිදුකළේ වන අලි කළමනාකරණ ප්‍රදේශය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2222/62 දරණ අති විශේෂ ගැසට් පත්‍රය 2021 අප්‍රේල් 09 දාතමින් නිකුත් වන්නේ එසේය. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තියේ (2) වන උප වගන්තිය මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව, වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක විසින් රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට අදාළ එම ගැසට්ටුවට අත්සන් තබා තිබුණි. ඒ අනුව දකුණු සහ ඌව පළාත්වල හම්බන්තොට සහ මොණරාගල යන පරිපාලන දිස්ත්‍රික්කවල පිහිටා තිබෙන හම්බන්තොට, සූරියවැව, ලුණුගම්වෙහෙර සහ තණමල්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් හෙක්ටයාර 23746.55 ක භූමි ප්‍රමාණයකින් ‘හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය’ සමන්විතය. නමුත් එම ගැසට් නිවේදනයද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ එවැනි බොහෝ ගැසට් නිවේදන මෙන්ම කඩදාසි සහ මුද්‍රණ වියදම් අපතේ යැවීමක් පමණක් විය. ඒ මන්ද යත් වන අලි කළමනාකරණ රක්ෂිතය පරිපාලනය කිරීමට අදාළ රෙගුලාසි කිසිවක් එහි ඇතුළත්කර නොතිබූ බැවිණි. ගැසට්ටුව මුද්‍රණය කෙරුණද රක්ෂිතය වටා අලි වැට සකස් කිරීම, ගම්මානවල සිටින වන අලි ඉවත් කිරීම, රක්ෂිතය තුළ සිටින අනවසර වගාකරුවන් ඉවත් කිරීම, වන අලින්ට අවශ්‍ය පහසුකම් රක්ෂිතය තුළ ඇති කිරීම වැනි කාරණා එකක් හෝ ඉෂ්ට කිරීමට ආණ්ඩුව මේ වන තුරු කටයුතු කර නොමැත. ඒ තබා මේ මොහොතේද මහා දවාලේ පවා එළිපිටම සිදුකෙරෙන වනාන්තර ඉඩම් අල්ලා ගැනීම් සහ අලි ඇතුන්ගේ වාසභූමි වනසා දැමීම් පාලනය කිරීමටද කිසිදු බලධාරියකු සමත්වී නැත.

වන අලින්ගේ වාසභූමි ඔවුන්ගෙන් උදුරාගෙන හම්බන්තොට ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම් අවුළුවන තක්කඩි දේශපාලුවන් සහ උන්ගේ හෙන්චයියන් ඉන් නොනැවතී වලව වම් ඉවුර සංවර්ධනයට වෙන් වූ ජලය නීති විරෝධී ලෙස මායිම් ඇලෙන් පොම්ප කර අලි කළමනාකරණ ප්‍රදේශය තුළ මහා පරිමාණයෙන් වගා කටයුතු සිදු කිරීමෙන් වලව වම් ඉවුර සංවර්ධන ව්‍යාපෘතියේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමද අවහිර කර තිබේ. මෙවැනි පසුබිමක් තුළ ගැසට්ටුවටත් බෝඩ් ලෑලි වලටත් පමණක් ‘හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය’ සීමා කොට එහි සියලු ඉඩම් ප්‍රදේශයේ දේශපාලුවන් සහ වුන්ගේ හෙන්චයියන් විසින් අල්ලා ගෙන අවසන් වන දිනය වැඩි ඈතක නොවේ.

සුපුන් ළහිරු ප්‍රකාශ්

advertistmentadvertistment
advertistmentadvertistment