හම්බන්තොට වරායේ සල්ලි පිල්ලි ගියේ කොහේටද?

298

හම්බන්තොට වරාය 99 වසරකට බදුදීමෙන් ගත් මුදලින් වරාය ඉදිකිරීමට ගත් ණය ගෙවා නොමැති බව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත. වරාය ඉදිකිරීම සඳහා ලබා ගෙන තිබූ විදේශ ණය ප්‍රමාණය රජයේ කිසිදු ගිණුම් ප්‍රකාශනයක මේ වන විට නොපෙන්වන බවද හෙළි වී ඇත. වරාය අධිකාරියේ අවිධිමත් හා සංකීර්ණ සේවක බඳවා ගැනීම් සිදුව ඇති බවත් කෝප් කමිටුවේ දී අනාවරණය වී ඇත. කෙසේ හෝ මේ සියලු අනාවරණයන්ගෙන් පසු කෝප් කමිටුව නියෝගයක් දී තිබේ. ඒ බව කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මේ ලියුම්කරුට මෙසේ ප්‍රකාශ කළේය.

‘හම්බන්තොට තව සමාගමක් තියෙනවා. ඒක බංකරින්වලට හදපු පොඩි කොම්පැනියක්. ඒ වාර්තාවේ තියෙනවා හම්බන්තොට වරායට අමතරව තව කොම්පැනියක් දාලා ඒ කාලේ බංකරින් වැඩ කරන්න. ඒ කොම්පැනිය තාම තියෙනවා. ඒ සමාගම ණය අරන් තියෙනවා ඩොලර් මිලියන 24ක්. ඒ ණයවලින් තෙල් අරන් තියෙනවා. ඒ තෙල් යල් පැනල දැන් වෙනම ඩොලර් මිලියන තුනකට විකුණල තියෙනවා. ඩොලර් මිලියන 21 ක් එතන පාඩුයි. ඒක සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්න අපි නියෝග කරලා තියෙනවා.

මේ වරායේ සිදුවීම ගැන ඉදිරි මාස හයේ ප්‍රගතිය බලන්න නැවත කැඳවනවා. ඊට අමතරව මේ වරාය සඳහා ගත් ණය වාර්තා නොවීම සම්බන්ධයෙන් වරාය අමාත්‍යාංශ ලේකම්ට සහ භාණ්ඩාගාරයට වරාය සමග එකතු වෙලා මේක මසක් ඇතුළත නිවැරදි කරන්න කියල නියෝග කරලා තියෙනවා. ඒක අනිවාර්යෙන්ම ඒ අය කරන්න ඕන. මේකේ ඇත්තටම ණය ගෙව්වට ඒක වාර්තා වෙන්නේ නැහැ කොහෙවත්. එසේම වරාය බදු දීල ගත්ත සල්ලිවලින් ශතයක්වත් ණය ගෙවලත් නැහැ. ඒ අය කියන්නේ මේ ණය බොහොම අඩු පොලියට අරන් තියෙන නිසා ගෙවන්න ඕන නෑ ඉක්මනට කියල.’

කෝප් සභාපති කියන අදහස අනුව හම්බන්තොට වරායට ගත් ණය මුදල් පිළිබඳ මුදල් අමාත්‍යාංශය, වරාය අධිකාරිය සමග සාකච්ඡා කොට නිසි පරිදි මෙය ගිණුම් ප්‍රකාශනවලට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගෙන මසක් ඇතුළත කෝප් කමිටුවට වාර්තා කරන ලෙස වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් සභාපතිවරයා විසින් නිර්දේශ කර ඇත. මේ ගත් ණය වාර්තා නොවීමට අමතරව හම්බන්තොට වරාය 2017 වසරේදී බදුදීමෙන් ලද මුදලින් වරාය ඉදිකිරීමට ගත් ණය ගෙවා නැති බවත් එම මුදල් වෙනත් කාර්යයන් සඳහා යොදා ඇති බවත් එදින (22) පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය. එසේ නම් මේ මුදල්වලට වූයේ කුමක්ද? මෙය බරපතළ ප්‍රශ්නයකි. මේ සල්ලි වියදම් කරේ කුමකට ද? කෝප් කමිටුවේ දී හෙළිව ඇත්තේ 2017 වසරේ වරාය 99 වසරක බද්දට දීමේදී ලැබුණු මුදල මෙන්ම ඉතිරි ණය මුදල වරාය අධිකාරිය විසින් මහා භාණ්ඩාගාරයට ලබා දුන් බවයි. එම ණය මුදලේ ණය පොලී අනුපාතය අඩු අගයක් ගත් බැවින් වරාය ඉදිකිරීමට ගත් ණය මුදල පියවීම සිදුනොකොට භාණ්ඩාගාරය විසින් රජයේ වියදම් සඳහා යොදා ගෙන ඇති බවත් මෙහිදී හෙළිවිය. මහා භාණ්ඩාගාරය විසින් මේ වන විට ණය හා පොලිය ආපසු ගෙවීම සිදුකරනු ලබයි. එහෙත් ඒ ගැන ගිණුම් ප්‍රකාශනවල නිසි පරිදි එය ණය ගෙවීමක් බව සටහන් නොවන බවද අනාවරණය වී ඇත. මේ නිසා මේ තත්ත්වයන් වහාම නිවැරදි විය යුතුව තිබේ.

2017 නොවැම්බර් 30 වන විට වරාය අධිකාරියේ ගිණුම්වල ඉතිරිව පැවති රු. මිලියන 147’746 ක ණය හා පොලී ශේෂය සහ රු. මිලියන 31’545 ක විදේශ විනිමය පරිවර්තන අලාභය වරාය අධිකාරිය විසින් මහා භාණ්ඩාගාරයේ හෝ කැබිනට් අනුමතියකින් තොරව මූල්‍ය ප්‍රකාශනවලින් ඉවත් කර ඇති බව අනාවරණය විය. මේ අනුව හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබා ගෙන තිබූ විදේශ ණය ප්‍රමාණය රජයේ කිසිදු ගිණුම් ප්‍රකාශනයක මේවන විට නොපෙන්වයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2019/2020 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව රැස්වූ අවස්ථාවේදී මේ බව හෙළි විය. වර්තමාන කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා කෝප් කමිටුවේ කටයුතු ඉතා හොඳින් මෙහෙයවමින් සිටින බවත් ඒ අනුව බරපතළ අනාවරණයන් සිදු වෙමින් තිබෙන බවත් පෙනේ.

● මූල්‍ය අරමුදලේ සහාය පැතීමට සිදුවීම

වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජුනි 23 වැනිදා ද විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදී ඔහු සඳහන් කර තිබූ ප්‍රධාන කරුණක් වූයේ අප ඉදිරියේ ඇති එකම ආරක්ෂිත මාර්ගය වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහතිකයක් ලබා ගැනීම බවයි. ඒ සහතිකය ලැබුණහොත් එම විශ්වාසය මත ලෝකයේ අනෙක් රටවල්වලින් ආධාර සහ අඩු පොලී ණය ලබාගැනීමේ අවස්ථාව උදාවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එදින පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශයේ දී කීවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොමැතිව මේ උග්‍ර විදේශ විනිමය අර්බුදයට මුහුණ දීමට අපහසු මට්ටමට අප විසින්ම වර්ධනය කරගෙන ඇති නිසා අගමැතිවරයා කියන මේ කරුණ සත්‍යයකි. දැන් අපි ඒ මාර්ගයේ ගමන් කරමින් සිටිමු. එහෙත් එය අත්‍යවශ්‍ය පියවරක් වුවත් එය එකම විසඳුම ද නොවේ. අපට තවත් බහුවිධ ක්‍රියාමාර්ග රැසක් වෙත යොමු වීමට තිබේ.

● අයිඑම්එෆ් එකම විසඳුම නොවේ

හම්බන්තොට වරායේ සල්ලි පිල්ලි ගියේ කොහේටද?

අයිඑම්එෆ් එකම විසඳුම නොවන නිසා ඒ සමගම අපට තවත් ක්‍රියාමාර්ග රැසක් වෙත යොමු විය යුතුව තිබේ. අපට මේ බලවත් විනිමය අර්බුදයෙන් ගොඩ ඒමට හැකිවනු ඇත්තේ ඒ සියලුම ක්‍රියාමාර්ග වෙත යොමු වී ඩොලර් සොයා ගන්නා අතරම ඩොලර් වියදම් අවම කරන විකල්ප ක්‍රියාමාර්ග රැසකට යොමු වීමෙනි. පසුගිය වසර දෙකහමාරක කාලයේ නිසි කලට නිසි ක්‍රියාමාර්ග අප්‍රමාදව නොගැනීම ද කලක් තිස්සේ පැවති සහ කොරෝනා වසංගතයෙන් තවත් වර්ධනය වූ විනිමය අර්බුදය තවත් උත්සන්න විය. මේ හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීමට අප මීට පෙර යොමු විය යුතුව තිබුණත් එය සිදු නොවීය. අවසානයේ අපගේ විදේශ ණය තිරසාර නොවන මට්ටමට ද පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීමට අප යොමු වූ නිසා අපට මේ මට්ටමේ සිටියදී කිසිදු මුල්‍ය පහසුකමක් එම අරමුදලෙන් නොලැබේ. එසේ නම් ඒ සඳහා අපට ප්‍රථමයෙන් අපගේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට ක්‍රියාකර විදේශ ණය තිරසාරත්වය ඇති කරගන්නා මාවතකට යොමු වීමට සිදුවේ. දැන් ඒ කාර්යය සිදු කරමින් සිටින අතරම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා වන සාකච්ඡඡා ද සිදු වෙමින් තිබේ. ඒ අනුව මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කර සිටින නියෝජිත කණ්ඩායමක් ගිය සතියේ (ජුනි 20 වැනිදා) මෙරටට පැමිණ සාකච්ඡා ආරම්භ කළේය. එම සාකච්ඡා ජුනි 30 දිනෙන් අවසන් වීමට නියමිතය. දැන් එම සාකච්ඡා සිදුවෙමින් තිබේ. ඒ හරහා අයිඑම්එෆ් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කරගෙන මුදල් පහසුකම සඳහා අයිඑම්එෆ් විධායක සභාවේ අනුමැතිය ගැනීම රජයේ අපේක්ෂාවයි. අපගේ විදේශ ණය තිරසාර නොවීම නිසා මෙය තරමක් කල්ගත වන දුෂ්කර තත්ත්වයක් බවට පත්ව තිබේ.

● දිනෙන් දින වැඩිවෙන ජන දුක

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් වීමෙන් පසුව රට මුහුණ දී සිටින විනිමය අර්බුදය හෝ පෝලිම් තත්ත්වයේ තවමත් අඩුවක් පෙනෙන්නට නැත. සිදුව ඇත්තේ පෝලිම් තත්ත්වය තවත් වැඩි වීමයි. මේ දිනවල ගෑස් නැත්තටම නැති නිසා ගෑස් පෝලිම් නම් නැත. පෙට්‍රල් පෝලිම් දිගු වී ඒවා ගිනියම් වී ඇත. ඇතැම් ෂෙඩ් අසල ගුටිබැට හුවමාරු වීම් හා නොයෙකුත් ගැටුම් රැසක් මේ වන විට වාර්තා වී ඇත. අඩු තරමේ තියෙන සීමිත ඉන්ධන ප්‍රමාණය හෝ සාධාරණව වැඩි පිරිසකට බෙදන ක්‍රමවේදයක් මෙතෙක් හඳුන්වා දීමට රජය අසමත් වීමෙන් මහජනයා බලවත් පීඩාවට පත්ව ඇත. ෂෙඩ් විසින් ද මහජනයා පෝලිම්වල දුක් විඳිද්දී තම හිතවතුන්ට හොර පාරෙන් තෙල් සපයන සිදුවීම් ද සමාජ මාධ්‍ය ජාලවල වීඩියෝ සහිතව වාර්තා වී ඇත. මුදලින් තෙල් පොම්පකරුගේ අතමිට මොළවන අයට ෆුල් ටෑන්ක් කර දීමට ඔවුන් කාරුණික වන බව ද වාර්තා වේ. හැමතැනම එසේ නොවෙනවා විය හැකිය. මූලික වශයෙන්ම රජයටත් කංචන විජේසේකර ඇමැතිවරයාටත් කිව යුත්තේ තෙල් බෙදීමේ ක්‍රමවේදය සාධාරණ ලෙස සිදු නොවන බවයි. මේ නිසා බොහෝ විට දිගු තෙල් පෝලිම්වල සිටින ජනයාට සැහෙන කාලයක් පෝලිමේ දුක් විඳීමෙන් පසු තෙල් නැතුව හැරී යෑමට සිදුව ඇත. තෙල් බවුසරයක් පැමිණි විට එය ටික දෙනෙකුට දී අඳුනන අයට ෆුල් ටෑන්ක් කර දී එය ඉක්මනින් ඉවර කර ගැනීමට වඩා අවශ්‍ය කරන්නේ වැඩි පිරිසකට තෙල් බෙදා හරින ක්‍රමවේදයකි. ඉන්ධන වැඩියෙන් වැයවන වාහනවලට අසීමිතව තෙල් දෙනවාට වඩා අවශ්‍ය කරන්නේ එවැනි වාහන මේ කාලයේ ධාවනය කිරීම සීමිත කරන ක්‍රමවේදයකි. එහෙත් ඒ කිසිවක් නැත. මේ නිසා ප්‍රශ්නය ගැනම කියව කියව ඉන්නේ නැතුව වහාම රටට ලැබෙන ඉන්ධන ටික හෝ වැඩි පිරිසකට බෙදා දෙන ක්‍රමවේදයක් හදන ලෙස අපි ඉල්ලා සිටිමු. වාහනේ ලියාපදිංචි අංකයේ අන්තිම ඉලක්කම අනුව ෂෙඩ් එකෙන් අදාළ දිනවල දී පමණක් ඉන්ධන ලබාදෙන ක්‍රමවේදයක් ගැන මීට දින කිහිපයකට පෙර පැවති මාධ්‍ය හමුවක දී ඇමැති කංචන විජේසේකර කීවේය. එහෙත් ඒ නව ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ කවදාද? මේ පෝලිම්වල නාස්ති වන්නේ මහජනයාගේ වටිනා වැඩ කරන කාලයයි. ඔවුන් නොයෙකුත් ආර්ථික කටයුතුවල, රැකියාවල සහ ජීවනෝපාය කටයුතුවල නියුතු ජනතාවයි. ඒ අය පෝලිම්වල සිටීමෙන් සහ ඔවුන්ට තෙල් ලබා ගැනීමට නොහැකිවීමෙන් අවසානයේ ඔවුන්ට ජීවනෝපාය අහිමි වෙන අතරම රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය ද අඩපණ වෙයි. මේ නිසා මේ වසරේ (2022) සිදුවෙන ආර්ථික පසුබෑම තවත් වැඩිවනු ඇත.

● ආර්ථික අර්බුදයට ගන්නා ක්‍රියාමාර්ග

ඇතැම් අය චෝදනා කරන්නේ අගමැතිවරයා අර්බුදයේ මාධ්‍ය ප්‍රකාශක බවට පත්ව ඇති බවයි. නිරන්තරයෙන් ජනයා දැනුවත් කිරීම ගැන අගමැතිවරයාට ස්තුති කරන අතරම අපත් අගමැතිවරයාට කියන්නේ අර්බුදයම ගැනම කියා කියා ඉන්නේ නැතුව මේ ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් කරන ලෙසයි. අඩු තරමේ මේ පෝලිම් තත්ත්වය ඉක්මනට අවසන් කිරීමට පිළියමක් යොදන ලෙසයි. මේ ගැන

අගමැතිවරයා සිය විශේෂ ප්‍රකාශයේ දී මෙසේ සඳහන් කළේය. වර්තමානයේ අපේ රට මුහුණදෙන සැබෑ තත්ත්වය සහ ඊට පිළියම් වශයෙන් අප ගන්නා ක්‍රියාමාර්ග ගැන සති දෙකකට පමණ වතාවක් ඔබට දැනුම් දෙනවා. සමහරු මේක දිහා උපහාසයෙන් බලනවා. එයා අගමැතිකම ගත්තේ රටේ අමාරුකම් අපට කියන්න ද කියලා මාව විවේචනය කරනවා. තවත් සමහරු ඇත්ත තත්ත්වය පෙන්වා දෙනවාට ස්තූතිවන්ත වෙනවා. ඒ දුෂ්කරතා ජය ගැනීමේ පිළියම් අපට යෝජනා කරනවා. ඔබ ඉන්නේ ඒ කණ්ඩායම් දෙකෙන් මොන පැත්තක වුණත්, රටක් විදියට එකට එක්වෙලා, මේ අසීරු තත්ත්වයෙන් රට ගොඩනැංවීමේ ක්‍රියාදාමයට එක්වෙන්න කියා මම ඉල්ලා සිටිනවා.’

සියලු දෙනාම එකතු වී සාමූහිකව මේ ප්‍රශ්නයට මුහුණ දී ජයගත යුතු බව සත්‍යයකි. එහෙත් ආණ්ඩුව පහසුවෙන් කළ හැකි සරල දේ පවා නොකරනවා නම් ජනයා තව තවත් පීඩාවට පත්වන බව කිව යුතුය. එසේ නොසන්සුන් වන ජනයා පෝලිම්වල දිනපතාම පාහේ ගුටිබැට හුවමාරු කරගන්නා තත්ත්වයක් ද නිර්මාණය වී ඇත. තිබෙන සීමිත සැපයුම හෝ බෙදාහරින විධිමත් ක්‍රමවේදයක් ඇති කර ගැනීමට බැරි ඇයි? මෙය ඉතාම කනගාටුදායක ය. මේ නිසා රැකියාවට යෑමට සහ තම ජීවනෝපාය කිරීමට ඉන්ධන ඉල්ලුම් කරන සෑම කෙනෙක්ටම යම් ඉන්ධන ප්‍රමාණයක් සාධාරණ ක්‍රමවේදයකට බෙදන ක්‍රමයක් හදුන්වා දීම හදිසි අවශ්‍යතාවකි. ඒ සඳහා වහාම පියවර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු. ඉන්ධන, ගෑස්, විදුලි බලය සහ ආහාර පිළිබඳ ප්‍රශ්න ද මෙසේම තිබේ. අගමැතිවරයා සිය කතාවේ දී මෙසේ ද කියයි. ’සියලු ප්‍රශ්න විසඳා ගන්න පුළුවන් වෙන්නේ ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයකට පත් කර ගත්තොත් විතරයි. ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත්කර ගැනීම සඳහා ඩොලර් අර්බුදය මුලින්ම විසඳා ගත යුතුයි.’ මේ කියන ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයකට පත් කර ගැනීම සහ ඩොලර් අර්බුදය විසඳා ගැනීම බොහෝ කාලයක් ගත වන ක්‍රියාවලියකි. ඒ ක්‍රියාවලිය කරන අතරම ජනතාවගේ පීඩාව සමනය කිරීමට ගත හැකි විකල්ප පියවර ඕනෑ තරම් තිබේ. පහසුවෙන් ගත හැකි එවැනි පියවර පවා නොගැනීම අපට තිබෙන ප්‍රශ්නයයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment