හමාස් නායකයාගේ ඝාතනය: මැදපෙරදිග යුද ගිනි ඇවිලේද?

307
හමාස් නායකයාගේ ඝාතනය: මැදපෙරදිග යුද ගිනි ඇවිලේද?

හමාස් සංවිධානයේ දේශපාලන අංශ ප්‍රධානියා වන ඉස්මයිල් හනියේ ඉරානයේදී ඝාතනය වීමත් සමගම ගාසා තීරයේ දැනට පවතින ඊශ්‍රායල -හමාස් යුද්ධය මැදපෙරදිග කලාපය දක්වාම ව්‍යාප්ත වීමේ අවදානමක් පැන නැගී ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දී තිබේ. හනියේ ගේ ඝාතනයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලයෙන් පළින්නා බව ඉරාන හා හමාස් සංවිධානයේ නායකයන් විසින් ප්‍රසිද්ධියේ නිවේදනය කිරීම හේතුවෙන් මෙසේ මැදපෙරදිග යුද උණුසුම වර්ධනය වෙමින් පවතී. පසුගිය සති කිහිපය තුළදී මරා දැමුණු ඉරානයේ සහය ලබන සන්නද්ධ කණඩායම්වල තුන්වැනි ඉහළ පෙළේ නිලධාරියාවන හනියේ වන අතර ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි තානායමකදී ඝාතනයට ලක්ව ඇති ඔහුගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇති ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අල් කුමේනි පවසා ඇත්තේ හනියේගේ ඝාතනයට පළිගැනීමක් වශයෙන් ඊශ්‍රායලයට දරුණු දඬුවමක් ලබා දෙන බවත් එවැනි දඬුවමක් ලබා දීම සඳහා වන වටපිටාව සකස් කරගෙන ඇත්තේ ද ඊශ්‍රායලය විසින්ම බවයි. හනියේගේ දේහය සම්බන්ධයෙන් පැවති ආගමික මෙහෙයක් මෙහෙයවමින් අල් කුමේනි ඊශ්‍රායාලයට පහර දෙන ලෙස ඍජු නියෝයක් ද නිකුත් කිරීම හේතුවෙන් මැදපෙරදිග යුද වාතාවරණයක් හටගෙන ඇති බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.

“සාපරාධි හා සියොන්වාදී ත්‍රස්තවාදී පාලනතන්ත්‍රය විසින් අප නිවසේ සිටි අපගේ ආදරණීය අමුත්තාගේ ප්‍රාණය උදුරාගෙන අපව දුකට පත් කළේ යැයි” ඉරානයේ උත්තරීතර නායක කුමේනි පවසා තිබේ. ඉස්ලාමිය ජනරාජ භූමියේ සිදු වූ මෙම කටුක අමිහිරි සිදුවීම නිසා හනියේ ගේ රුහිරයේ නාමයෙන් පළිගැනීම අපගේ වගකීමකි, ඉරාන නායකයා සඳහන් කර තිබේ. ඉරානයේ ටෙහෙරාන් අගනුවර වීථිවල හනියේ ගේ දේහය සහිත දෙන ජනතාවට ගෞරව දැක්වීමට 31දා රැගෙන ගොස් තිබූ අතර ඊයේ (02) දිනයේ ඔහුගේ දේහය භූමදානය කිරීම සඳහා කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර වෙත ගෙනැවිත් තිබේ. ඉරානය මෙන්ම හමාස් සංවිධානය ද හනියේ ගේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට ඍජුවම චෝදනා කළද ඊශ්‍රායලය විසින් මේ දක්වාම හමාස් දේශපාලන අංශ ප්‍රධානියාගේ ඝාතනය සම්බන්ධ වගකීම භාරගෙන හෝ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමක් සිදු කර නොමැත. කෙසේ වුවද පුද්ගලයන් 1200ක් පමණ දෙනා මරුමුවට පත් කරමින් ඉකුත් ඔක්තෝබර් 07 වැනිදා දකුණුදිග ඊශ්‍රායලයට හමාස් සංවිධානය විසින් ගොඩබිමින් හා ගුවනින් සිදු කළ දැවැන්ත ප්‍රහාරයෙන් අනතුරුව හනියේ ඇතුළු සෙසු හමාස් නායකයන් ඝාතනය කරන බවට ඊශ්‍රායලය පොරොන්දු වී තිබිණි.

හමාස් නායකයාගේ ඝාතනය: මැදපෙරදිග යුද ගිනි ඇවිලේද?

හනියේට ගරු කිරීමක් වශයෙන් ඉරානය එරට තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඔහුගේ දේහය රැගත් දෙන ඉරානයේ ටෙහෙරාන් අගනුවර වීථිවල ගෙන ගිය අවස්ථාවේදී දහස් සංඛ්‍යාත ඉරාන ජාතිකයන් පිරිසක් ඔහුට අවසන් ගෞරව දක්වා තිබිණි. මේ අතර විදෙස් මාධ්‍ය විසින් දිගින් දිගටම ඊශ්‍රායල බලධාරීන්ගෙන් හානියේගේ ඝාතනය සම්බන්ධයෙන් විමසා සිටියද ඔවුන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමෙන් වැළකී සිටිනුයේ ඊශ්‍රායල රජය විසින් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන ලෙස ඔවුන්ට ලබා දී ඇති උපදෙස් හේතුවෙන් බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි. ඝාතනයට ලක්වූ හමාස් දේශපාලන අංශ ප්‍රධානියා මරුමුවට පත් වූයේ ඉරානයේ නව ජනාධිපතිවරයා වශයෙන් පත්ව සිටින මැසවුඩ් පෙසෙෂ්කියාන් සිය ධුරයේ දිවුරුම් දීමේ උත්සවය සඳහා සහභාගී වීමට ඉරානයේ ටෙහෙරාන් අගනුවරට ගොස් සිටියදී වන අතර එම ඝාතනය හෙළා දකිමින් ඉරාන ජනාධිපතිවරයා ප්‍රතිඥා දී තිබුණේ සිය රට සිය කලාපය ආරක්ෂා කරගන්නා බවත් ප්‍රහාරකයන්ට සිය බියගුළු ක්‍රියාව සම්බන්ධයෙන් කනගාටු වීමට සිදු වනු ඇති බවත්ය.

හමාස් නායකයාගේ ඝාතනය: මැදපෙරදිග යුද ගිනි ඇවිලේද?

මේ අතර හමාස් දේශපාලන අංශ ප්‍රධානියාගේ ඝාතනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින්ද හෙළා දැක ඇති අතර මෙම ඝාතනය හේතුවෙන් මැදපෙරදිග යුද තත්ත්වයක් ඇති වීම වළක්වාලීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගන්නැයි මැදපෙරදිග රටවලින් විශේෂ ඉල්ලීමක් ද කර තිබිණි. ඉකුත් බදාදා (31) පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමේදී හනියේ ගේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායාලය විවේචනය කිරීමටත් එම ඝාතනය සම්බන්ධයෙන් පළි ගන්නා බවට ඉරානය හා ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානයත් ප්‍රතිඥා දීම නිසා එම රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණි. ඊශ්‍රායලය මෙතෙක් හමාස් දේශපාලන අංශ ප්‍රධානියාගේ ඝාතනය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොසිටිය ද ඔවුන් විසින් එම ඝාතනය සිදු කළ බවට ඉරානයේ හා හමාස් සංවිධානයේ ඇඟිල්ල දික්ව ඇත්තේ ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හෙස්බොල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරියෙකු වූ ෆුවාඩ් ශුක්ර් ඊශ්‍රායලය විසින් ඝාතනය කර පැය 24කට පසු හනියේ ඝාතනය වීම නිසා බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. මේ අතර හමාස් දේශපාලන අංශ ප්‍රධානියා ටෙහෙරාන් නගරයේ නවාතැන් ගෙන සිටි අමුත්තන්ගේ නිවසේ සිටියදී ඝාතනය වී ඇත්තේ රහසිගතව එම නිවාසයට පැහැරගෙන ආ පුපුරන ද්‍රව්‍යයක් යොදාගෙන බව ඉරාන ජාතිකයන් දෙදෙනකු හා ඇමරිකානු ජාතිකයකු ඇතුළු මැදපෙරදිග නිලධාරීන් හත් දෙනකු විසින් මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ. එම පුපුරන ද්‍රව්‍ය හමාස් නායකයා නවාතැන් ගත් නිවාසයේ සඟවා තිබී ඇත්තේ මාස දෙකක පමණ කාලයක සිට බවද එම නිලධාරීන් පවසා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment