හමුදාවේ අවි පාතාලයට යන හැටි හොයයි

414

මිනිස් ඝාතන ඇතුළු විවිධ අපරාධ සඳහා පාතාල කණ්ඩායම්වලට හමුදා කඳවුරුවලින් අවි ආයුධ ලැබෙන බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් ඉහළ පෙළේ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම තොරතුරු අනාවරණය වූයේ අහුංගල්ලේ සංචාරක හෝටලයක් ඉදිරිපිටදී තරුණයකුට වෙඩි තැබීමේ සිද්ධියට පාතාල කල්ලිය යොදාගෙන තිබූ ටී 56 ගිනි අවිය කිලිනොච්චිය ප්‍රදේශයේ යුද හමුදා කොමාන්ඩෝ බළකායේ කඳවුරක අවි ගබඩාවකින් ලබාගත් එකක් බව හෙළිදරව් වීමත් සමගය.

මෙම කඳවුරේ අවි ගබඩාව භාරව කටයුතු කරමින් සිටි මාණ්ඩලික සැරයන්වරයා විසින් රුපියල් ලක්ෂ 03 කට එම අවි ගබඩාවේ තිබූ ටී 56 අවියක් පාතාලයට ලබාදී ඇති බව හෙළි විය.

ඒ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ අහුංගල්ල පොලිසිය සැකකාර යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයා අත්අඩංගුවට ගත්හ.

මෙම සිද්ධිය හෙළිවීමත් සමගම පාතාලයට අවි ලැබෙන මාර්ග සොයා විශේෂ කාර්ය බළකාය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

පසුගිය කාලය පුරා දකුණු පළාත සහ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන පාතාල මිනිස් ඝාතන රැසක් සිදු වූ අතර එම ඝාතනවලින් වැඩි ප්‍රමාණයක් සඳහා ටී 56 ගිනි අවි යොදාගෙන තිබූ බව හෙළි විය.

විමර්ශන කණ්ඩායම් පවසන්නේ පාතාලයට මේ ආකාරයට නවීන පන්නයේ ටී 56 අවි ඇතුළු ස්වයංක්‍රීය අවි ආයුධ ලැබීම බරපතළ ගැටලුවක් බවයි.

අහුංගල්ලේ සිද්ධියෙන් පසු පාතාලයට අවි ආයුධ ලැබෙන මාර්ග පිළිබඳ වැදගත් තොරතුරු ලැබෙන බව ද විමර්ශන කණ්ඩායම් පවසයි.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment