අරගලකරුවන් ඊයේ (14 දා) අලුයම පාර්ලිමේන්තුවට ඇතුළු වීමට ගත් උත්සාහය ආරක්‍ෂක අංශ විසින් වැළැක්වීමට කටයුතු කරද්දී බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම ප්‍රදේශය එකම යුදපිටියක් බවට පත් විය.
මෙම ගැටුමින් යුද හමුදා සෙබළුන් දෙදෙනකු පොලිස් නිලධාරියකු ඇතුළු පුද්ගලයන් 42 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.
මෙහිදී පහර කෑමට ලක්වූ යුද හමුදා සෙබළකු සතුව තිබූ ටී 56 ගිනි අවියක් ජීව උණ්ඩ 60ක් සහ පතරොම් ගැබ් දෙකක් කිසියම් පුද්ගලයකු විසින් පැහැරගෙන ගොස් තිබේ.
මෙම අවි ආයුධ පැහැර ගැනීම සම්බන්ධයෙන් යුද හමුදාව විසින් බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එම අවිය සොයා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
මෙහිදී පහර කෑමට ලක් වූ හමුදා සෙබළුන් දෙදෙනාගේ තත්ත්වය පරපතළ බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.
අරගලකරුවෝ දහස් ගණන්ක පෙරේදා (13 වැනිදා) සිට පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ රැඳී සිටිමින් විරෝධය පළ කරන්නට වූහ. ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සිය ධුරවලින් වහාම ඉවත් වන ලෙස බලකරමින් විරෝධතා කරුවෝ පාර්ලිමේන්තු වටරවුමේ සිට සිය විරෝධතාව පැවැත් වූහ.
පාර්ලිමේන්තුවේ ආරක්‍ෂාව සඳහා පොලිසිය විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව කැඳවා තිබිණි.
විරෝධතාකරුවන් පෙරේදා රාත්‍රිය එළැඹීමත් සමගම පිවිසුම් මාර්ග ඔස්සේ පාර්ලිමේන්තුවට ඇතුළුවීමට උත්සාහ කළ අතර ආරක්‍ෂක අංශ සමග ගැටුම් ඇතිවී ඇත්තේ ඉන් පසුවය.
අරගලකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර දෙපාර්ශ්වය අතර ගැටුම් ඇති විය.
විශාල බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මාර්ග බාධක කඩාගෙන ඇතුළු වීමට අරගලකරුවෝ උත්සාහ ගත්හ.
මේ අවස්ථාවේ ආරක්‍ෂක අංශ සහ අරගලකරුවන් අතර ගැටුම් හටගෙන තිබිණි.
අරගලකරුවන් ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට ගල් මුල් ප්‍රහාර එල්ල කළ අතර ආරක්‍ෂක අංශ බැටන් පොලු ප්‍රහාර එල්ල කරමින් ඔවුන් විසුරුවා හැරීමට දැඩි උත්සාහයක් ගත්හ. මෙහිදී තුවාල ලැබූවන් රෝහල්ගත කිරීම සඳහා ගිලන් රථ මෙන්ම පෞද්ගලික වාහන ද යොදා ගෙන තිබිණි.
ඊයේ අලුයම 1.00 පමණ වනවිට අරගලකරුවන් විසුරුවා හැර තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සමත් විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව අවට සිටි සංවිධානාත්මක පිරිසක් යුදහමුදාව සමග ගැටුමක් ඇතිකර ගැනීමට ගිය අවස්ථාවේදී එය පාලනය කිරීමට සිය හමුදා සෙබළුන් දෙදෙනකුට ඉතාම අමානුෂික ලෙස පහර දී ඇති බවයි.
පොලු මුගුරු යොදාගෙන සිහිසුන් වනතුරු ඔවුන්ට පහරදීමෙන් පසුව එක් සෙබළකු සතුව තිබූ ටී 56 ගිනි අවියක් ජීව උණ්ඩ 60ක් සහ පතරොම් ගැබ් 2ක් පැහැරගෙන ගොස් ඇති බවද මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.
මෙසේ පැහැරගත් අවිය යොදාගෙන ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට උත්සාහ කළ හැකි බැවින් අවධානයෙන් සිටින ලෙස යුදහමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා කියා සිටියේය.
හේමන්ත රන්දුණු, ප්‍රදීප් සමරකෝන්, ඇන්ටන් ප්‍රනාන්දු