හමුදා ප්‍රධානීන් 58 කට එරෙහි ජාත්‍යන්තර යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ

434

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කර ඇත්තේ ඔක්තෝම්බර් 7 දායි.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදයක් නැතැයි ප්‍රකාශ කිරීම සඳහා කොටි ඩයස්පෝරා ක්‍රියාකාරීන් රැසක් දැන් ජිනීවා සමුළුව අමතති. ප්‍රංශයේ සිට පැමිණි මරියද්‍රාස් බොස්කෝ විවිධ කාන්තාවන් සමුළුව වෙත ගෙනවුත් ශ්‍රී ලංකාව දෙමළ ජන සංහාරයක යෙදුනු බවට චෝදනා කර සිටී. එසේම ස්විස් රජයේ ජනතාවගේ බදු මුදලින් යැපෙන සුනන්ද දේශප්‍රියද මානව හිමිකම් ක්‍රියාකාරිනියක් යයි හඳුන්වාගත් සන්ධ්‍යා එක්නැලිගොඩද ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා නගති.

මේ මානව හිමිකම් කර්මාන්තය තරම් ලාබදායි රැකියාවක් ලොව නැත. ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබන්නන්ට මසකට ප්‍රෑන්ක් 500 ක්ද අනිකුත් වරප්‍රසාද හිමි වේ. මේ දේශපාලන රැකවරණ පැතූවන් අතර සියයට 99 ක්ම ව්‍යාජ ලියවිලි මත ස්විස් ආණ්ඩුව රවටා එරට නතරවී සිටිති.

ඔවුන් හඳුන්වන්නේ දේශපාලන සිරකරුවන් ලෙසිනි. ත්‍රිකුණාමලයේ කොටි හමුදා නායක දයා මෝගන් ඝාතන රැසක් සිදුකර ඇතත් ඔහුටද ස්විස් රජය දේශපාලන රැකවරණ ලබාදී ඇත.

මෙලෙස දේශපාලන රැකවරණ පතා ඇති පිරිස කවුදැයි හෙළිකරන ලෙස ශ්‍රී ලංකා රජය ස්විස් බලධාරීන්ට අභියෝග කළේ නැත.

මේ පසුබිම මැද මෙරට හමුදා නිලධාරීහු 58 ක් සම්බාධකවලට මුහුණපා සිටී. රජයද නිහඩවී ඇත. අප මේ ගැන හෙළිකළ විට රජයේ බලධාරියෙක් අපූරු තර්කයක් ඉදිරිපත් කළේය.

ඒ දැන් යුද්ධයක් නැහැ. – ඩයස්පෝරාව සමග එකතුවී කටයුතු කළ යුතුයි යයි ඔහු කීවේය. එහෙත් තහනම ඉවත්කළ බ්‍රිතාන්‍ය ගෝලීය ද්‍රවිඩ සංසදය පැවසුවේ හමුදා නිලධාරීන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතු බවයි.

ඊට අමතරව ද්‍රවිඩ සන්ධානය ඊපීආර්එල්එෆ් – ටෙලෝ සහ ටමිල් මට්ටනි කුටලානි පක්‍ෂයද එම ස්ථාවරයේ සිටී.

මෙවන් තත්ත්වයක් මත ජිනීවා සමුළුවේ අරමුණ කුමක්ද? ඒ හමුදාවට දඬුවම් කිරීමේ විශේෂ යාන්ත්‍රණයක් පිහිටුවීමයි.

එහෙත් ඊට බලයක් තිබේද? රජය එම යාන්ත්‍රණයට අභියෝග නොකරයි. පසුගිය දිනක චීනය මානව හිමිකම් කවුන්සිලයට අභියෝග කරමින් එවන් මැන්ඩේට් බලයක් දුන්නේ කවුදැයි ප්‍රශ්න කළේය. එම අභියෝගයට ප්‍රතිචාර දක්වීමක් සිදුවූයේ නැත. මෙලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන හඬනගන්නේ මානව හිමිකම් බරපතළ ලෙස කඩකළ රටවල්ය.

ඇමරිකාව යුද අපරාධ රැසක් සිදු කළේය. මෙහි දැක්වෙන්නේ එම යුද අපරාධයි.

ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමානු බෝම්බ දමා ලක්‍ෂ ගණනක් ඝාතනය කිරීම – උතුරු වියට්නාමයේ ගම්මානවලට ඒජන්ට් ඔරේන්ජ් විෂවායුව දමා සිවිල් ජනතාව මරා දැමීම, ගල්ප් යුද්ධයේදී ඉරාක සිවිල් වැසියන් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් අතුරුදන් කිරීම, ඇප්ගනිස්ථානයේදී යුද අපරාධ සිදුකිරීම, සර්බියාවේ සිවිල් ජනතාව ඝාතනය කිරීම.

මේ කිසිදු යුද අපරාධයකට ඇමරිකාව දඬුවම් ලැබුවේ නැත. එහෙත් ඉහත කී රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර තිබේ. එසේ වුවත් උඹලා බිහිසුණු යුද අපරාධ සිදුකර තිබියදී අපට ඇඟිල්ල දික්කරන්නේ කෙසේ දැයි ශ්‍රී ලංකාව එම රටවල නායකයන්ගෙන් සහ තානාපතිවරුන්ගෙන් විමසන්නේ නැත.

මේ පසුබිම මැද මෙරට විරුද්ධ පක්‍ෂ කණ්ඩායමක්ද ජිනීවා පැමිණ ඇත. රවුෆ් හකීම්, මුජිබර් රහ්මන්, නිමල්කා ප්‍රනාන්දු යන පාර්ශ්ව ඊට ඇතුළත් වී සිටී.

තමන් ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතූ බවටද ඔවුහු ජිනීවා සිට ජනතාවට පෙන්නුම් කර ඇත. එහෙත් වසර 15 කට අධික කාලයක් ජිනීවා මානව හිමිකම් සමුළු ආවරණය කළ අපට එහි සිදුවන තක්කඩි ක්‍රියා දැක ගැනීමට හැකි විය.

ඒ අප්‍රිකාවේ රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ මෙරටින් ජිනීවා යන පාර්ශ්ව මානව හිමිකම් සමුළුවේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රකාශවලට වෙන්කර ඇති කාලය ප්‍රයෝජනයට ගැනීමයි. එහෙත් එම දේශපාලකයන් මෙරට පැමිණ පවසන්නේ තමන් ජිනීවා සමුළුව ඇමතූ බවයි. ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයකු පිහිටුවාගෙන ඇති සංවිධානය ඊට හොඳ නිදසුනකි. මුෂි වහබ්දීන් නමින් හඳුන්වන මුස්ලිම් ජාතිකයාගේ යටගියාව ජිනීවා නුවර ජනතාව දනී. එලිලන් නමැති මිනීමරු කොටි හමුදා නායකයාගේ බිරිය ආනන්ද සසිතරන් ජිනීවා සමුළුව ඇමතුවේ මාර්ටියානු රාජ්‍ය නොවන සංවිධානයක සහයෙනි.

මුෂින් වහබ්දීන් පසුගිය අඟහරුවාදා සූම් තාක්‍ෂණය ඔස්සේ ජිනීවා නුවරදී සම්මන්ත්‍රණයක් පැවැත් වූයේය.

ඔහුගේ සංවිධානය ජිනීවා මානව හිමිකම් සංවිධානය යයි හඳුන්වා ඇත. ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය ක්‍රියාත්මක වන අවස්ථාවේ ජිනීවා මානව හිමිකම් සංවිධානය යනුවෙන් හඳුන්වන සංවිධානය තක්කඩි සංවිධානයකි. මෙහිදී මෙවන් සංවිධානවලට අරමුදල් ලැබෙන අයුරුද දැන් හෙළිවී ඇත. මෙම පසුබිම මැද ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත්වූ පිටු 16 ක වාර්තාව මානව හිමිකම් කවුන්සිලය කෙටුම්පත් කළ වාර්තාවක් නොව මෙරට රාජ්‍ය නොවන සංවිධාන සැපයූ අමුද්‍රව්‍ය මත සකස්වූවක් බව සනාථ වේ.

එසේම ජිනීවාහිදී සිංහලයන් යයි හඳුන්වා ගත් පිරිසක් ත්‍රස්ත මර්දන පනත අහෝසි කරනු යනුවෙන් විරෝධතාවයක්ද පවත්වා ඇත.

නිවාස ගිනි තැබීම, ජනපති මැඳුරට කඩාවැදී භාණ්ඩ සොරකම් කිරීම, බස් රථ සහ මෝටර් රථ වලට ගිනි තබා වැනසීම ත්‍රස්ත ක්‍රියා නොවේද?

ත්‍රස්ත මර්දන පනත අකුලා ගනු යයි හඬ නගන පාර්ශ්ව ස්විස් ත්‍රස්ත මර්දන පනත අහෝසි කරනු යයි කෑගසන්නේ නැත්තේ මන්ද?

ස්විස් පනතට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයද ප්‍රකාශ නිකුත් කළ අතර ස්විස් රජය එම පනත හකුලා ගත්තේ නැත. එය බරපතළ පනතක් බව මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කර තිබුණි. මේ අතර මානව හිමිකම් කවුන්සිලය බටහිර රූකඩයක් බව සනාථ වේ.

බි්‍රතාන්‍ය රජය 2000 දී ත්‍රස්ත මර්දන පනතක් සම්මත කළ අතර මේ දක්වාම එය අහෝසි කර නැත.

එසේම ඇමරිකාව රෝම සම්මුතියට අත්සන් කර නැති නමුත් මානව හිමිකම් කවුන්සිලය එම සම්මුතියට අත්සන් කරන ලෙස ශ්‍රී ලංකාවට කියා සිටී.

ඇමරිකානු සෙබළුන්ට ජාත්‍යන්තර අධිකරණය විසින් නඩු පවරන බව පැවසූ විට ඇමරිකානු හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පැවසුවේ ජාත්‍යන්තර අධිකරණයේ නඩුකාරයන්ගේ වත්කම් තහනම් කරන බවයි.

එහෙත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට එවන් අභියෝගයක් කර නැත. මේ පසුබිම මැද සිම්බාබ්වේ රාජ්‍ය මානව හිමිකම් කවුන්සිලයට චෝදනා කරමින් ත්‍රස්තවාදය මර්දනය කළ ශ්‍රී ලංකාවට නැගී සිටීමට ඉඩදෙන ලෙසද මානව හිමිකම් ප්‍රශ්නයකට දේශපාලනය භාවිත කිරීමෙන් වළකින ලෙසද කියා සිටියේය.

නයිජිරියාවද එම ප්‍රකාශයට එකඟ විය.

මේ ප්‍රකාශ වලින් තහවුරු වූයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට එල්ල වන චෝදනා දේශපාලනීකරණය වී ඇති බවයි.

ඒ සඳහා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට තර්ජනය කර ඇත. පසුගිය දිනෙක යුද අපරාධ ගැන සාක්කි සෙවීමට මානව හිමිකම් කවුන්සිලයෙන් පරීක්‍ෂණ කණ්ඩායමක් එවීමට ගත් උත්සාහයද ව්‍යාර්ථ විය. එසේම නව ජිනීවා යෝජනාව වූ 46/1 ද රජය ප්‍රතික්‍ෂේප කර ඇත. මේ අතර අලුත් සාක්කිකරුවන්ද එළියට පැමිණ ඇත. ජිනීවා වෙත පැමිණි හිටපු කොටි පිරිසක් ජෝෂප් පරරාජසිංහම්, නඩරාජා රවිරාජ් සහ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතන ගැන තොරතුරු හෙළිකර තිබේ. මොවුන් පිල්ලෙයාන් සහ කරුණාගේ හිතවතුන් බවද පවසා තිබේ.

එහෙත් වසර ගණනකට පසු මොවුන් සාක්කිදීමට ඉදිරිපත් වූයේ මන්ද යන්න බරපතළ සැකයට කරුණකි.

මේ පසුබිම මැද රුසියාව, චීනය, ඉරානය, සිම්බාබ්වේ සහ නයිජීරියාව යන රටවල් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය දේශපාලන සංවිධානයක් බවට පත්වී ඇතැයි චෝදනා නගා ඇත.

එහෙත් එම චෝදනා වලට ප්‍රතිචාර නොදක්වන මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට දඬුවම් කිරීමේ ඒකපාක්‍ෂික ක්‍රියාමාර්ගයකට පිවිස තිබේ.

මේ වනවිට ලොව කිසිදු රටකට ඉදිරිපත් නොවූ තරම් ජිනීවා යෝජනාවන් 6 ක් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වී තිබේ.

ඊට හේතුව වූයේ පසුගිය ආණ්ඩු දුර්වලව එකී යෝජනාවලට මුහුණදීමයි.

එහි ප්‍රතිඵලය හමුදා නිලධාරීන් 58 කට එරෙහි ජාත්‍යන්තර යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමයි.

මේ අතර මෙරට ආරක්ෂක හමුදාවේ නිලධාරීන් 58ක් මුහුණ පා සිටින බරපතළ තත්ත්වය මෙයයි.

ඒ අතර

  1. මෙරට බන්ධනාගාරවලදී දඬුවම් ලැබීම
  2. ජාත්‍යන්තර අධිකරණයට යොමු කිරීම
  3. වත්කම් තහනම් වීම

මේ පසුබිම මැද ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ප්‍රධානියකු වූ යසස් ධර්මදාස ජිනීවා සටන අත්හැර නැත. ඔහු සූම් තාක්ෂණය ඔස්සේ ඩුබායි සිට මානව හිමිකම් සමුළුව අමතමින් මානව හිමිකම් බලධාරීන්ගේ දෙබිඩි පිළිවෙත හෙළි කළේය.

යසස් ධර්මදාස තම සටන අවසන් කර නැත. ඔහු ලබන සතියේදීත් ජිනීවා සමුළුව අමතනු ඇත.

  • කීර්ති වර්ණකුලසූරිය
advertistmentadvertistment
advertistmentadvertistment