හමුදා පිරිස් බලය අඩු නොකළ යුතුය

413

පකිස්තාන – ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ආරක්ෂක සංවාදයේ තුන්වන වටය

පසුගිය නොවැම්බර් 16-17 දිනවල කරච්චියේදී පැවැත්විණි. එහිදී පකිස්තාන නියෝජිත පිරිස මෙහෙයවනු ලැබුවේ එරට ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) හමුඩ් සාමාන් ඛාන් විසිනි. ශ්‍රී ලංකා ආරක්ෂක ශ්‍රී ලංකා දූත පිරිසේ ප්‍රධානියා වූයේ ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාය. සංවාදය අතරතුර, පකිස්තානය සහ ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික හමුදා සබඳතාවල පවතින විෂය පථය සමාලෝචනය කළ අතර පසුගිය කාලය පුරා ලබා ඇති ප්‍රගතිය පිළිබඳව තෘප්තිමත් විය. කලාපීය ආරක්ෂාව සහ ඉදිරි අභියෝග පිළිබඳව නායකයන් දෙපළ අදහස් හුවමාරු කර ගත්හ. පකිස්තානය සහ ශ්‍රී ලංකාව සෑම කලාපීය සහ ජාත්‍යන්තර වේදිකාවකදීම එකිනෙකාට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවට එකඟ විය. ආරක්ෂක කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගිතාව, හමුදා පුහුණුව, ඒකාබද්ධ අභ්‍යාස ඉහළ මට්ටමේ සංචාර අඛණ්ඩව සිදුකිරීමටද එකඟතාවය පලවිය. අවසානයේදී මීළඟ රැස්වීම 2023 දී අන්‍යොන්‍ය වශයෙන් එකඟ වූ දිනවලදී ශ්‍රී ලංකාවේ කැඳවීමට එකඟතාවට පැමිණ ඇත. මේ හමුව පැවැත්වෙන අතරතුර ලංකාවේ ආරක්ෂක වියදම් පිළිබඳව විශේෂ කතාබහක් පැතිර යමින් තිබිණි.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවේ සිටින දෙලක්ෂ හතළිස් හත්දහසක පිරිස නඩත්තු කිරීමට රජයට නොහැකි බවත් එම නිසා වහාම එම පිරිස අඩු කරන ලෙසත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබුණේ පසුගිය සැප්තැම්බර් මාසයේය. ජිනීවා මානව හිමිකම් 51 වැනි සමුළුව හමුවේ සඳහන් කර ඇති තොරතුරුවලට අනුව ලබන වසර සඳහා හමුදාවේ වියදම රුපියල් බිලියන 373කි. එය මේ වසරට වඩා සියයට 14ක වැඩිවීමකි. මේ නිසා ආරක්ෂක හමුදාව ප්‍රතිසංස්කරණය කිරීම සහ ආරක්ෂක වැය අඩු කිරීම කළ යුතු බව මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට නිර්දේශ කර තිබිණි. Is Sri Lanka’s Army Far Too Large: Sri Lanka’s military expenditure needs to be reduced and rationalised මැයෙන් ඉන්දීය ලේඛක පී. කේ. බාලචන්ද්‍රන් ලියූ ලිපියක් පසුගිය සතියේ පලව තිබිණි. මේ වාර්තාකරු සටහන් කරන්නේ ලංකාවට මේ හමුදා වියදම දරාගත නොහැකි බවත් එනිසා මෙයට පිලියමක් ලබා දිය යුතු බවය. පසුගිය දින කිහිපය පුරාම අරගලයට සහය ලබා දුන් සමාජ ක්‍රියාකාරිකයන්ද ප්‍රසිද්ධියේ හමුදාව අඩු කළ යුතු බව නිරන්තයෙන් ප්‍රකාශ කර තිබිණි. ඉන්දියානු ඔත්තු සේවයේ පඩි ලබන පිරිස් ද ලංකාවේ හමුදාව ගැන ප්‍රශ්න කරති. කවරක් නමුත් මෙරට ආරක්ෂක පිරිවැය අඩු කිරීම හෝ හමුදාවේ පිරිස් බලය අඩු කිරීම සුදුසු නැත. බාලචන්ද්‍රන්ගේ ලිපියේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමාණයට සහ ජනගහනයට වඩා විශාල හමුදාවක් ඇති බවත්, නව උපායමාර්ගික අවශ්‍යතා සපුරාලීමට නුසුදුසු හමුදාවක් සිටින බවත් විද්වතුන් පෙන්වා දී ඇති බවයි. මෙම තක්සේරුව තිබියදීත් හමුදාවේ ප්‍රමාණය සහ වියදම් රටාව තාර්කික කිරීමට අර්ථවත් පියවරක් ගෙන නොමැති බව වැඩිදුරටත් සඳහන් කර ඇත. ජනගහනය අනුව ලෝකයේ 58 වැනි විශාලතම රට වන ශ්‍රී ලංකාව සතුව ලොව 24 වන විශාලතම හමුදාව තිබේ.

පසුගිය නොවැම්බර් 9 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී එරට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු වන එලියට් කොල්බර්න් විසින් ද ලංකාවේ හමුදාවේ විශාලත්වය ගැන ප්‍රශ්න කර තිබිණි. ශ්‍රී ලංකාව සිය හමුදා වියදම් අඩු කිරීම සඳහා උපායමාර්ගික ආරක්ෂක සහ ආරක්ෂක සමාලෝචනයක් සිදු කළ යුතු බව මේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබිණි. මේ අතර ඔස්‌ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ජාතික ආරක්ෂක පීඨයේ ආචාර්ය ඩේවිඩ් බ්‍රවුස්ටර් පසුගිය සැප්තැම්බර් මාසයේදී ද එරට පුවත්පතක් වෙත පවසා තිබුණේ “ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන් ඉතා විශාල වන අතර නිවැරදි අවධානය හෝ උපකරණ නොමැත. සොල්දාදුවන් ඕනෑවට වඩා ඇත, එනම්, උපකරණවලට වඩා පුද්ගල වියදම් සඳහා මුදල් වැය කරනු ලැබේ. වර්තමාන තර්ජන පිළිබඳව නවීකරණය කිරීම සහ නැවත අවධානය යොමු කිරීම සඳහා, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් (ප්‍රධාන වශයෙන් යුධ හමුදාව) ප්‍රමාණයෙන් අඩු කිරීමට අවශ්‍ය වනු ඇත, නාවික හමුදාව සහ ගුවන් හමුදාව සඳහා විශාල වියදම් ද ඇත. පී.කේ. බාලචන්ද්‍රන් සිය ලිපිය අවසාන කරමින් නැවතත් හමුදාව අඩු කිරීම සඳහා මෙලෙස උපදෙස් දෙයි. ඉන්දියානු හමුදාව මෙන්ම චීනයේ මහජන විමුක්ති හමුදාව ඔවුන්ගේ හමුදාවන් අඩු කිරීමට පියවර ගෙන ඇත. තාවකාලික බඳවා ගැනීම් සඳහා වන ඉන්දියානු අග්නිපත් යෝජනා ක්‍රමය සහ චීනයේ මධ්‍යම හමුදා කොමිසම විසින් අපේක්ෂා කරන ලද නවීකරණ යෝජනා ක්‍රම එම ඉලක්කය සපුරා ගැනීම සඳහා සූදානම් වේ. ශ්‍රී ලංකාව එය අනුගමනය කළ යුතු කාලයයි මේ.

ඇත්තෙන්ම ලංකාවේ හමුදාව අඩු කරීම පිළිබඳව වඩා උන්නදු වන්නේ දිල්ලි ආණ්ඩුවේ පුරෝහිතයන් බව පැහැදිලිය. එහෙත් අපේ ජාතික ආරක්ෂාව දිල්ලියේ වුවමනාවට බිළිදිය යුතුනම් නැත. ඇත්තෙන්ම මෙවර අයවැයේ ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 410කි. එය පසුගිය වසරට වඩා අඩු වීමකි. මන්ද මෙවර වැඩියෙන්ම සාමාජ ආරක්ෂණය සඳහා රුපියල් බිලියන 572ක්, අධ්‍යාපනයට රුපියල් බිලියන 504ක්. සෞඛ්‍යයට රුපියල් බිලියන 432ක් වෙන්කර ඇත.

රටක ඉදිරි ගමනට බලපාන ප්‍රධාන සාධකයක් හැටියට ජාතික ආරක්ෂාව හැඳින්විය හැකි ය. ආරක්ෂාව පිළිබඳ සහතිකයක් නැති රටකට විදේශීය ආයෝජකයන්ගේ ආකර්ශනය යොමු වන්නේ නැත. අරගල කාලයේ ලංකාවේ ප්‍රතිරූපයට දැඩි හානියක් එල්ලවිය. පාස්කු ප්‍රහාරය මෙරට සංචාරක ආර්ථිකයට මලබෙරය හැඬවූ බව පැහැදිලිය. මේ ආර්ථික අර්බුදවල මූලාරම්භය එයයි. යහපත් සුරක්ෂිතවූ ජාතික ආරක්ෂාව තුළ පමණක් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟෙන බව අප හොඳින් අවබෝධ කරගත යුතුය. නැත්නම් සියල්ල වේල්ල කඩා දැමුවා සේ විනාශවී යනු ඇත. ඇත්තෙන්ම ජාතික ආරක්ෂාව යනු සංකීර්ණ ක්‍රියාවලියෙකි. ඊට අදාළ අංශ කිහිපයක් පවතී. එක අතකින් ත්‍රස්තවාදය හා අන්තවාදය පරාජය කොට සියලු ජනතාවට නිදහස් හා ස්වාධීන ජීවිතයක් ලබාදිය යුතු ය. තව අතෙකින් පාතාල ක්‍රියාකාරකම්, දේශපාලන බලපෑම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට මුදාගෙන ජනතාවට සැනසිලිදායක ජීවිතයක් ලබාදිය යුතු ය. තවත් අතෙකින් ජාත්‍යන්තර බලපෑම්වලින් රට නිදහස්කොට ජාතියේ ස්වෛරීත්වය හා නිවහල්භාවය තහවුරු කළ යුතු ය. මේ හැරෙන්නට නීතියේ ආධිපත්‍යය පිහිටුවා විනයගරුක සමාජයක් බිහිකළ යුතු ය. ඒ සියල්ල සම්පූර්ණ වූ තැන ජාතික ආරක්ෂාව තහවුරු වී ඇතැයි තෘප්තිමත් විය හැකි ය. ඉතා සරලව ගත්විට ජාතික ආරක්ෂාව යනු ජාතික රාජ්‍යයක මූලික සාරධර්ම සුරක්ෂිත කොට ඇති සහ තහවුරු කර ඇති තත්ත්වයකි. එනම් රටේ වෙසෙන ජනතාවගේ ජාතික අනන්‍යතාව සහ පරමාධිපත්‍යය ආරක්ෂා කරගනිමින් නිදහස් සහ සුරක්ෂිත පරිසරයක් තුළ ජීවත්වීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන තත්ත්වයකි. ඒ සඳහා ජාතික ආරක්ෂාව යනු හමුදා ආරක්ෂාව පමණක් නොව හැම දෙයක්ම විය යුතු ය. එනම් ජාතික ආරක්ෂාව සමස්තාවාදී එකක් විය යුතුය. මේ සියල්ල සලකා බැලීමේදී අප කිසිම විටකවත් ජාතික ආරක්ෂාව අනතුරේ හෙලන තීරණ ගැනීමට පෙළඹිය යුතු නැත. රුපියල් බිලියන දහයක් ඉතිරි කිරීමට ගොස් ට්‍රිලියනයක පාඩු ඇතිකරගත යුතු නැත. ඒ පාඩුව පරම්පරා ගණනකට පියවිය නොහැකි වනු ඇත.

ගංගා නම් නදිය අසබඩ දියමන්ති ආකරයක් තිබුණි. මෙම ආකරයෙන් ලැබෙන දියමන්ති සමසේ බෙදා ගන්නට වජ්ජි පුත්‍ර ලිච්ඡවින් හා අජාසත්ත රජු අතර ගිවිසුමක් තිබුණි. නොසැලකිල්ල නිසා අජාසත්ත රජු ඔහුගේ කොටස නියමාකාරයෙන් ලබා ගන්නට උත්සුක නොවීය. ඒ නිසාම ආකරයෙන් ලැබෙන සියලු දියමන්ති තමන් සන්තක කර ගන්නට වජ්ජීහු සමත් වූහ. දිගින් දිගටම සිදුවෙමින් පැවති මෙම අකටයුත්ත නිසා අජාසත්ත රජුට ලිච්ඡවීන් ගැන තිබුණේ දැඩි වෛරයකි. යුද්ධයකින් ලිච්ඡවීන්ව පරාජය කිරීමේ දුෂ්කර බව දත් අජාසත් රජු වස්සකාර නම් තමාට බෙහෙවින් හිතවත් ඇමැතිවරයෙක් බුදුන් වහන්සේ කරා යොමු කළේ ලිච්ඡවීන්ව පරාජය කළ නොහැකි වන්නට හේතු වූ කාරණා විමසා බලන්නට ය. වස්සකාර ඇමැති අවුරුදු තුනක් පමණ වජ්ජි දේශයේ සරණාගතයෙක් මෙන් වෙස් වලාගෙන සැරිසරමින් වෛසාලිය ආක්‍රමණයට පසුබිම සකස් කළේ ය. බොහෝ කුමන්ත්‍රණ සමග ලිච්ඡවින්ගේ සමගිය බිඳ වැටිණි. අවසානයේ කේලාම්, අභූත චෝදනා ආදී නොයෙක් උපක්‍රම හරහා බිඳ වැටුණු පාලනයක් යුද්ධයකින් පරාජය කිරීම ඉතා පහසු බව පසක් කරමින් අජාසත්ත ජයගත්තේ ය. රටක් විනාශ කිරීමට ගත වන්නේ නිර්මාණය කරන්නට යන කලයට වඩා බෙහෙවින්ම අඩු කාලයකි. වැඩිම කාලයක් ගත වන්නේ රටක් හොඳින් පවත්වාගෙන යෑමය. එනිසා ජාතික ආරක්ෂාව පිළිබඳව වඩාත් සැලකිල්ලක් දැක්විය යුතුමය. කේවට්ට උපදේශ පිළිගතයුතු නැත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment