පාතාල ප්‍රබලයන් හා මත්කුඩු ජාවාරමුන් දෙදෙනකු වන වික්‍රමරත්න කසුන් චින්තක හෙවත් ‘හරක් කටා’ සහ සලිඳු මල්ෂික ගුණරත්න හෙවත් ‘කුඩු සලිඳු’ යන සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීම සඳහා ගත් උත්සාහය සැලසුම් කළ බවට චෝදනා එල්ලවී ඇති සැකකාර හමුදා සෙබළා 2024 ජනවාරි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (20) නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගතකරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්නයිපර් ප්‍රහාරක බලකායේ හිටපු සෙබළකු වන තිළිණ පේෂල නමැත්තාය.
ඉහත සඳහන් සැකකරුවන් දෙදෙනාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාම සඳහා කළ මෙම සැලසුම පිළිබඳව තවදුරටත් විමර්ශනය සිදු කරන බව ද සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. එසේම හම්බේගමුව පොලිස් බල ප්‍රදේශයේ සිදුකළ අපරාධයකට එරෙහිව සැකකරුට එරෙහිව නඩුවක් ද පවතින බවත් මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඒ.ජේ.ඒ. අබේනායක