හරක් කටාගේ කුඩු ගබඩාවට STF පනී – කෝටි 22ක බඩුත් එක්ක 2ක් මාට්ටු

4241

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන හරක් කටාට අයත් බව කියන බොරලැස්ගමුවේ පිහිටි කුඩු ගබඩාව වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදා බුද්ධි අංශය රුපියල් කෝටි 22කට අධික වටිනාකමෙන් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග ජාවාරම්කරුවන් දෙදෙනකු පෙරේදා (30 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ හරක් කටාගේ ප්‍රධානම ගෝලයකු වන ආර්මි චූටි හරහා මෙම මත්ද්‍රව්‍ය තොගය තමන්ට ලැබුණු බවයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය සහ කුඩු ගබඩාව හරක් කටාට අයත් බවද සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබේ.

මෙම ජාවාරම්කරුවන් දෙදෙනා සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 910ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 06ක් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් භාරයට ගෙන ඇත.

මෙම ජාවාරම පිළිබඳව මුලින්ම තොරතුරු ලැබී තිබුණේ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ටය. ඒ අනුව එම බුද්ධි තොරතුර පොලිස් විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දන සහ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතා වෙත ලබාදී ඇත.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඒකාබද්ධව කළ මෙහෙයුමකදී මරදාන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 500ක් සමග ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගන්නා ලදී. එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙරොයින් තොගය ලබාදුන් පුද්ගලයා පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව පිළියන්දල බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි නිවසක් වැටලූ විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදා බුද්ධි අංශය එම නිවසේ නතර කර තිබූ ලොරියක තිබී හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් 7කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගය වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කළ බවට සූදානමින් සිට ද ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් සුජීව නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හරක් කටාගේ සමීපතම මත්ද්‍රව්‍ය සගයා ලෙස සැලකෙන ආර්මි චූටිගේ ප්‍රධාන ගෝලයෙකි. සුජීව නමැති ජාවාරම්කරු වසර 25කට වැඩි කාලයක සිට මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිතර වී සිටින පුද්ගලයෙකි.

නඳුන් චින්තක හෙවත් හරක් කටා මේ වනවිට තංගල්ලේ පිහිටි බන්ධනාගාරයක දැඩි ආරක්ෂාව යටතේ රඳවා සිටින අතර ඔහුගේ ප්‍රධානම ගෝලයා වන ආර්මි චූටි නමැත්තා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියි. මීට වසර කීපයකට උඩ දී හරක් කටාට අයත් හෙරොයින් කිලෝග්‍රෑම් 56ක් වෑන් රථයක පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ යමින් සිටියදී ආර්මි චූටි පොලිසියට කොටු විය.

එම මත්ද්‍රව්‍ය සිද්ධිය සම්බන්ධයෙන් ආර්මි චූටි මේ වනවිට බන්ධනාගාර ගතකර සිටියි. පොලිස් විශේෂ කාර්ය බළකාය පවසන්නේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරය තුළ සිට ජංගම දුරකථන උපයෝගි කරගෙන සිය ජාවාරම් ජයට ම කරගෙන යන බවයි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දීමට නියමිතය. විශේෂ කාර්ය බළකාය භාරයට ගත් සුජීව නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මාසික කුලී පදනම මත ලබාගත් බොරලැස්ගමුවේ පිහිටි නිවස ආරක්ෂිත නිවස්නයක් සහ හරක් කටාගේ කුඩු ගබඩාව ලෙස පාවිච්චි කර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ මෙහෙය වීමෙන් පොලිස් පරීක්ෂකවරුන් වන ඩී.ඒ. රණසිංහ, ඊ.එස්. මෙන්ඩිස්, ඕ.එස්. සිල්වා, සැරයන්වරුන් වන (30306) ජයලාල්, (33267) සංජීව, (34324) සුරංග, (8703) රත්නායක, (10612) කුමාර, (20916) විමලසූරිය, (82470) මුණසිංහ, (14296) අමිල, (92603) සඳරුවන් ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත් වූහ.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment