හරක් කටාට- කුඩු සලිඳුට ජීවිත ආරක්‍ෂාව දෙන්න- මහෙස්ත්‍රාත්

199

ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු යැයි කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක්කටා’ හා සලිඳු මල්සිත ගුණරත්න හෙවත් ‘කුඩු සලිඳු’ යන සැකකරුවන්ගේ ජීවිත ආරක්‍ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර කුමක්දැයි උසස් පොලිස් නිලධාරීන් සමග සාකච්ඡා කොට ලබන 29 වැනිදා තම අධිකරණයට දැනුම් දෙන ලෙසත්, එතෙක් එම සැකකරුවන්ගේ ජීවිත ආරක්‍ෂාව සඳහා නිසි වැඩපිළිවෙළක් අනුගමනය කරන ලෙසත් කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (22 දා) පොලිස් මූලස්ථානයේ මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.

සිය සේවාදායකයන් යම්කිසි විමර්ශන කටයුත්තක් සඳහා පිටතට රැගෙන යන්නේ නම් ඔවුන්ගේ ජීවිත ආරක්‍ෂාව වෙනුවෙන් නිසි ආරක්‍ෂක වැඩපිළිවෙළක් යෙදවීමට පියවර ගන්නා ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට නියෝගයක් කරන්නැයි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න මහතා ඇතුළු නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. එම සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසම් අනුව එම නඩුව කැඳවූ අතර, පොලිස් මූලස්ථානයේ මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

නීතිඥ උදාර මොහින්දරම්ගේ, නීතිඥ සංජය ආරියදාස, නීතිඥ තිලිණ පුංචිහේවා හා ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය සමරසිංහ යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න මහතා එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment