හරක් කටා පිළිබඳ සී.අයි.ඩී. විමර්ශන පිටපත් විත්තියට දීමට නියෝග

24

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි නායකයකු යැයි කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ සහතික පිටපතක් හා එම විත්තිකරු සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන අංශ නීතිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇති විමර්ශනවල උද්ධෘත පිටපත් විත්ති පාර්ශ්වයට ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය.

නඳුන් චින්තක වික්‍රමරත්න නමැත්තා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් ඊයේ (03දා) කැඳවූ අවස්ථාවේදී පළමු වන විත්තිකාර නඳුන් චින්තක වික්‍රමරත්න නමැත්තා වෙනුවෙන් පෙනී සිටි ජනාධිති නීතිඥ කපිල වෛiරත්න මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ ප්‍රධාන විනිසුරුවරයා එම නියෝගය කළේය.

එම නඩුවේ වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන 29 වැනිදා දක්වා කල් තැබීමට ද විනිසුරුවරයා නියෝග කළේය. හරක් කටා නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී 2023.09.10 වැනිදා ආරක්‍ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරිවරයකුට පහරදී පලායෑමට තැත් කිරීම සහ ඒ සඳහා ආධාර අනුබලදීම ඇතුළු අධිචෝදනා 22ක් යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න, දිනේෂ් තරංග හා පොලිස් කොස්තාපල් රවිඳු සංදීප සහ විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.

විත්තිකාර පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට රටින් පලාගොස් තිබීම නිසා ඔහු නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීමට අධිකරණය තීරණය කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment