හරක් මඩුවක ජීවත්වීමත් අවුලක් නැතිබව පෙන්වන මවුලනා වත්ත…

852

කොළඹ වතු අතර දිළිඳුම වත්තක්…

වත්තේ හැමෝම කරන්නේ කුලී රස්සාව…

දැන් කුලී වැඩ අඩුයි අපේ දරුවො හාමතේ අඬනවා…

හදන්න ගත්ත පොදු නානා කාමරයට වතුර ලයින් එකවත් දෙන්න…

අමුතු නම් පටබැඳී ඇති කොළඹ වතු අතර නැගෙනහිර කුප්පියාවත්තේ මවුලනා වත්ත ද පැරැණි වත්තකි. මවුලනා නමැති මුස්ලිම් ජාතිකයකුට හිමි එම වත්තේ අතීතයේ ජීවත් වී ඇත්තේ මෙරටට පැමිණි ඉන්දීය දෙමළ මිනිසුන් සහ මෙරට දෙමළ ජනතාවය. පුංචි පැල්පත්වල ජීවත් වූ මවුලනා වත්තේ බහුතරයකගේ ජීවන වෘත්තිය වී තිබුණේ කොළඹ නගර සභාවේ සනීපාරක්‍ෂක රැකියා කටයුතුවල නිරතවීමය.

“මම ඉපදුණේ 1950 අවුරුද්දේ. එතකොටත් මවුලනා වත්තේ මිනිස්සු පදිංචි වෙලා හිටියා. ඒ කාලේ ලොකු පවුල් සංඛ්‍යාවක් ජීවත් වුණේ නෑ. දැන් නම් මුළු වත්තේම පවුල් දෙසියපනහක් විතර ජීවත් වෙනවා. ඉස්සර මේ වත්තේ හැම කෙනෙක්ම වගේ කොළඹ නගර සභාවේ සනීපාරක්‍ෂක රැකියාවල නිරත වෙලා හිටියා. අදටත් බහුතරය සනීපාරක්‍ෂක රැකියාවල නිරත වෙනවා…” ඒ හඬ මවුලනා වත්තට සමීපයෙහි පිහිටි කැටවලමුල්ල වත්තෙ පදිංචි ඩබ්ලිව්. විමලසිරිගේය. ඔහු ප්‍රදේශයේ පැරැණිතම පදිංචිකරුවෙකි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සාත්තු සේවකයෙක් ලෙස රාජකාරි කළ ඔහු රැකියාවෙන් විශ්‍රාම ගොස් දැන් බොහෝ කාලයකි. ඔහුට වයස අවුරුදු හැත්තෑදෙකකි. විවේක සුවයෙන් කාලය ගත කරන හේ අපට කොළඹ වතු ඉතිහාසය ගැන පැහැදිලි කරන අතර මවුලනා වත්තට ද කැටුව ගියේය.

“පිටකොටුවේ බඩු මලු කර තියන මිනිස්සු, කරත්ත තල්ලු කරන අය, ඉඳිකිරීම් කටයුතුවල අත්උදව්කරුවන් විදිහට වැඩ කරන විශාල පිරිසක් මේ වත්තේ ජීවත් වෙනවා. මේ වත්තේ හැම කෙනෙක්ම කරන්නේ කුලී රැකියා. ඒ මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තු නෑ. අද ගැන විතරක් හිතලා පාඩුවේ ජීවත් වෙනවා. ඒ වගේම මවුලනා වත්තේ දැන, උගත් අය අඩුයි. වත්තේ ළමයි පාසල් අධ්‍යාපනයටත් වැඩි උනන්දුවක් දක්වන බවක් පේන්න නෑ. දරුවන්ට උගන්වන්න වැඩිහිටියො උනන්දු වෙන බවක් පේන්නත් නෑ. අවුරුදු දොළහ, පහළොව වෙනකොට කොල්ලො, කෙල්ලො රැකියා සොයන තත්ත්වයක් නම් පේනවා…” මවුලනා වත්තේ සමාජ පසුබිම විස්තර කරමින් ඉදිරියට ගමන් කළ විමලසිරි පුංචි සිල්ලර බඩු වෙළෙඳසැලක් අසලින් දොරුවකට ඇතුළුවිය.

හරක් මඩුවක ජීවත්වීමත් අවුලක් නැතිබව පෙන්වන මවුලනා වත්ත…

එම කොන්ක්‍රීට් පාර අඩි දෙකක් පමණ පළල කානුවක් වැනිය. තැන, තැන කොන්ක්‍රීට් පතුරු ගැල වී පටු මාවත ජරාජීර්ණ තත්ත්වයට පත් වෙමින් තිබිණි. මඟ දෙපස එකට යාව පිහිටි නිවාස ද ජරා වාස වී ඇති අයුරු පෙනේ. ඇස ගැටෙන එකදු නිවසක් හෝ කලඑළියට නැත. සිමෙන්ති ගඩොලෙන් ඉදි වූ නිවාස ද පිළිවෙළක් නැත. එකදු නිවසක්වත් අඩි දහයයි, දහයක් පළල නැත. එකිනෙකට බද්ධව පිහිටි නිවාවසවල ජනෙල්, හුළං කවුළු කිසිවක් නැත. බොහෝ නිවාසවල ප්‍රධාන දොරත් සමඟ පොඩි ජනේලයක් තබා තිබෙන අයුරු ඇස ගැටේ. එමෙන්ම මිනී පෙට්ටියක් ඔසවාගෙන යෑමට තරම්වත් පළල් නැති වත්තේ ප්‍රධාන කොන්ක්‍රීට් පාර බොහෝ නිවාසවල මිදුලය. වත්ත හරහා වැටුණු සෙසු අතුරු මාර්ග ඊටත් වඩා පටුය. එම අතුරු මාර්ගවල ගමන් කරන විට ශරීර කූඩුව දෙපස බිත්තිවල, උඩ වහළේ ගැටෙන තරම්ය. එක් පසෙක නිවසක උළුවස්ස මත හිඳ කිවිසුමක් පිට කළොත් ඉදිරිපස නිවසෙ ලෑලි බිත්තිවල සිදුරුවලින් නතර වන්නේ කාමරය මැදය. එමෙන්ම එක නිවසක් තුළින් නැගෙන හීන් කෙඳිරියත් දෙපස නිවාස පේළි දෙකටම ඇසෙන තරම්ය. එතරම්ය එම නිවාස සමීපය.

‘නෙළුම් කුලුන යට’ සංචාරය කළ වතු අතර මවුලනා වත්ත අතිශය දිළිඳු බව අපගේ අදහසය. එමෙන්ම කොළඹ වෙන වතුවල මෙන්ම මත්පැන්, මත්ද්‍රව්‍ය ජාවාරම මවුලනා වත්තට ද නුහුරු නුපුරුදු නොවන බව ද වාර්තා වේ. අතිශය සූක්‍ෂමව මත් ජාවාරම් කරගෙන යන පුද්ගලයන් මවුලනා වත්ත තුළ ද සිටින බව ප්‍රදේශවාසීහු අප සමඟ කීහ. එමෙන්ම වත්තේ වැඩිහිටි, තරුණ පිරිමි බහුතරය මත්පැන්, මත්ද්‍රව්‍ය කෑම වේලක් ගානට සලකන බව ද ප්‍රදේශවාසීන්ගේ අදහසකි. එමෙන්ම පාසල් නොයන, රැකියා නොමැතිව වත්ත වටා, හන්දිවල නගරවල රස්තියාදු වන විශාල තරුණ පිරිසක් ද මවුලනා වත්තේ ජීවත්වන බව ද වාර්තා වේ. හතර මායිම මහා විශාල කොන්ක්‍රීට් තාප්පවලින් වට වූ, අක්කර දෙකක වපසරියක් හෝ නැති මවුලනා වත්ත පුරා ඇවිද යන අපි නිවසක් ඉදිරිපිට නතර වීමු.

ගින්නෙන් නොපිළිස්සෙන තරමට කිළිටු වූ දොර රෙද්ද ඈත් කළ කාන්තාවක් උළුවස්ස මත හිඳ ගත්තාය. කෙසඟ ශරීර කූඩුව වසාගෙන සිටි දිග ගවුම ද දොර රෙද්ද තරම් කිළිටි බව පෙනේ. නිවස ඉදිරිපිට ඉඳුල් ගඳට නාස් කුහර රත් වී ඉහ මොළ ද දැවිණි. ඉඳහිට හමන හීන් සුළඟට ඒ නිවසෙ උළුවස්ස අසළ දර ලිපේ අළු ඇවිස්සී අපගේ ඇඟ පුරා දැවටිණි.

“අපි උයාගෙන කන ලිප…” නිවස තුළින් පාරට බැස්ස කාන්තාව කනට නොඇසෙන ගානට වචන මිමුණුවාය. එම ලිප පෙනෙන විට ගෙදර මිනිසුන් කන හැටි සිතට දැනිණි. මම ඇය දෙසට හැරිණි.

“මහත්තයා… අපේ ගේ ඇතුළට ඇවිත් බලන්න. බිත්ති පුපුරලා. වාහළෙ ඉටිකොළ දිරලා. කොයි මොහොතේ කඩා වැටෙයි ද දන්නේ නෑ. ඒත් නිවස අලුත්වැඩියා කරගන්න සල්ලි නෑ. මහත්තයා මැරිලා අවුරුදු විසිතුනක් වෙනවා. මම තේ ෆැක්ටි්‍රයක වැඩ කරලා තමයි දරුවො දෙන්නා ලොකු කරගත්තේ. ලොකු පුතාට අවුරුදු විසිදෙකයි. දෙවැනි පුතාට දහඅටයි. ඒ දෙන්නටත් තවම හරි හැටි රැකියාවක් නෑ. මම වැඩ කරපු තේ ෆැක්ටි්‍රයෙත් දැන් වැඩ අඩුයි. කෑම බීමත් හිඟයි…” ඇය සරස්වතීය. වයස අවුරුදු හතළිස් තුනකි. ඇයගේ පෙරැත්ත කිරීම මත මම නිවස තුළට ගියෙමි.

ඉඟටියෙන් හැළෙන කලිසම් කොටයක් එක අතකින් අල්ලාගත් තරුණයෙක් කෑම කන්නේය. කෑම ටික කන්න හිඳගන්න ඒ කාමරය ඇතුළේ අසුනක් නැත. බංකුවක් මත බත් පිඟාන තබාගෙන හිටගෙන ඔහු කෑම කන්නේය. මුළු නිවසටම එකම කාමරයකි. ත්‍රිකෝණාකාර එක කොණක රූපවාහිනි යන්ත්‍රයක් තිබේ. ඒ හැර උණු වතුර බෝතලයක් හෝ ඒ නිවස තුළ ඇස නොගැටිණි.

“මේ ඉන්නේ මගේ මල්ලි. එයා කසාද බැඳලා වයිෆ් දලා ගිහින්. ඉන්න තැනක් නැති නිසා එයත් ඉන්නේ අපිත් එක්ක. මේ කාමර ඇතුළේ මමයි, දරුවො දෙන්නයි, මල්ලියි, මාමයි පස්දෙනෙක් ජීවත් වෙනවා…” මගේ දෑස් නළලේ නතර විණි. පස්දෙනකුට නිදාගන්න තියා හැරෙන්න මදිය.

“අපි නිදාගන්නෙ මෙතැන…” ඇය දෙපා මුල පැදුරු කඩමලු දෙකක් පෙන්වන්නීය. බත් හැළිය, ව්‍යාංජන ඇතිළිය එතැනම බංකු ලෑල්ල මතය. ඊට උඩ බිත්ති රාක්කයේ ලුණු, සීනි, කුළු බඩු බෝතල් කිහිපයක් පෙනේ. නිදන ස්ථානයට ඉදිරියෙන් කාමරයටම යාව වැසිකිළියකි. මම ඒ දෙසට හැරුණෙමි.

“මේ දවස්වල වත්තේ වැසිකිළි උතුරනවා. ඒ පැත්ත බලන්න එපා සර්…” ඒ අසරණ වචනවලට මගේ දෑස් නතර විය. හුළං කවුළුවක් හෝ නැති කළුවර කාමරය තුළ පැතිරුණු පුළුටු ගඳ නාස් කුහරවලට දරාගැනීමට නොහැකි විය. මම ඒ අඳුරු කාමරයෙන් එළියට බැස්සෙමි.

හරක් මඩුවක ජීවත්වීමත් අවුලක් නැතිබව පෙන්වන මවුලනා වත්ත…

“ටොයිලට් එක හදන්න වැඩ කරන ආයතනයෙන් ණයක් ඉල්ලුවා, තවම ලැබුණේ නෑ…” මා පිටුපසින් එළියට පැමිණි සරස්වතී නැවත මිමුණුවාය. ගත වූයේ විනාඩි කිහිපයකි. මවුලනා වත්තේ මිනිස්සු අපව වට කර ගත්හ. ඒ වත්තට ඇතුළු වූ ආගන්තුක අපව ප්‍රශ්න කිරීමට නොව, ඔවුන්ගේ ප්‍රශ්න අපට කියන්නටය.

“මහත්තෙලා සර්වතීගේ ගේ ඇතුළට ගියා නේද? මේ වත්තේ හැම ගෙයක්ම එහෙම තමයි. පොළොවට ටයිල් කැටයක් අල්ලගෙන, බිත්ති පාට කරගෙන, පුටු දෙක, තුනක් තියාගෙන යම් හෝ පිළිවෙළකට ඉන්නෙ පවුල් තුන හතරයි…” එවැනි දුප්පත් වත්තක කුලියට ජීවත්වන පවුලුත් සිටින බව දැන ගැනීමට ලැබුණු විට මම වික්ෂිප්ත වෙමි. වත්ත පුරා ඇවිද යන අපි එක් කුලී නිවසක් අසළ මොහොතකට නතර වීමු.

“අපි සිරිධම්ම මාවතේ. මේ ගෙදර ඉන්නේ කුලියට. මාසෙකට රුපියල් දොළොස්දහසක් දෙන්න ඕනෑ. කාමරයයි, ටොයිලට් බාත්රූම් එකයි. කාමර කෑල්ල හොඳට තියෙනවා…” පාරෙ හිඳගෙන, දොර රෙද්ද ඈත් කර මම කාමරයට ඔලුව එබුවෙමි.

පොළවට ටයිල් ඇතූරු පුංචි කාමරයේ බිත්ති ද සුදුවට තිබෙන අයුරු පෙනේ. එහෙත් ටයිල් පොළොව පුරා රෙදි කෑලිය. තැනක රෙදි කෑලි ගොඩකි.

“පුංචි ඇඳුම්, කාන්තා යට ඇඳුම් මහලා තමයි ජීවත් වෙන්නෙ…” ඇයගේ නම විමසීමට ද අපට අවස්ථාවක් නොලැබිණි. වත්තේ මිනිස්සු තවත් ප්‍රශ්න වැලක් ඉදිරිපත් කළහ.

“මේ වත්තේ හැම ගෙදරකටම ටොයිලට්, බාත්රූම් නෑ. ගොඩක් අය යන්නෙ පොදු වැසිකිළියට. ඒකෙත් වතුර නෑ. ළිඳෙන් වතුර අරගෙන තමයි වැසිකිළියට යන්න ඕන. නාන්නෙ, රෙදි හෝදන්නෙ පොදු ළිඳෙන්. මේ තියෙන්නෙ පොදු ළිඳ…” පුංචි ඉඩ ප්‍රමාණයක, පුංචි ළිඳකි. වෙන වතුවල මෙන් මේ පොදු ළිඳ වටා පිරිසිදු සිමෙන්ති පොළවක් නැත. ළිඳ වටා චිත්‍ර ඇඳපු විචිත්‍රවත් බිත්ති නැත. මේ පොදු ළිඳ අසල අඩිය තියන්න බැරි තරමට දිව සෙවළ බැඳුණු, මඩ ගොහුරුවකි.

හරක් මඩුවක ජීවත්වීමත් අවුලක් නැතිබව පෙන්වන මවුලනා වත්ත…

“මේ තියෙන්නෙ රජයෙන් අලුතෙන් හදන්න ගත්ත පොදු නානා කාමරය. බිත්ති කපරාරු කරන්න, දොරක් දාන්න, වතුර ලයින් එක දෙන්න ගොඩක් වැඩ තියෙනවා. ඒ සේරම වැඩ නතර වෙලා දැන් ගොඩක් කල්. අනිත් වැඩ නොකෙරුණත් වතුර ලයින් එක දෙනවා නම් අපිට ඇති. පොදු ළිඳ ළඟ දෙතුන් දෙනෙකුට රෙදි ටිකක් හෝද ගන්න අමාරුයි. රෙදි හෝදන්න ගිහින් අපේ ගෑනු කෙස් වලු පටලගන්න වාර අනන්තයි…” තරුණයෙක් එසේ කියමින් කට කොණකින් සිනා සීය. හේ බාබුය. වයස අවුරුදු හතළිහකි. තිදරු පියෙකි. වත්ත පහළ තේ ෆැක්ටි්‍රයේ සාමාන්‍ය සේවකයෙකි.

“මේ තියෙන්නෙ උඩ ඉඳලා එන කානුව. වහින කාලෙට ලොකු වතුර පාරක් එනවා. ඒ වතුරට මේ වත්ත යට වෙනවා. තනිකර කුණු වතුර. මේ කානුව ටිකක් ලොකු කරලා වතුර ගසාගෙන යන විදිහට හදන්න කියලා අදාළ නිලධාරීන්ට කිහිප විටක් අපි දැනුම් දුන්නා. ඒත් තවම කෙරුණේ නෑ. පහුගිය වැස්සටත් කානුව උතුරලා මුළු වත්තම කුණු වතුරෙන් පිරුණා…” ප්‍රශ්න පිට ප්‍රශ්නය. ඒ පිටට කුණු කානුවේ ප්‍රශ්නය ගෙනාවේ විමලාය. පනස් එක් හැවිදිරි ඇය සිව්දරු මවකි. දරුවන් සිව් දෙනාම විවාහ වී ඇති විමලා දැන් ආච්චි කෙනෙකි. එහෙත් ඇය ගෙවල්වල කුලියට පිරිසිදු කරන්නීයක් ලෙස තවම වැඩ කරන්නීය.

විමලා අසළ පුංචි දරුවෙක් වඩාගෙන සිටි තරුණ මවක් ද අපට කතා කළාය. ඇය විමලාගේ දියණියක් ය. යශෝධනීය. වයස අවුරුදු විසිහයකි. එක් දරු මවකි. ඇයගේ සැමියා නිරංජන්ය. වයස අවුරුදු විසිහයකි. දෙදෙනාම එකම වයසේය. නිරංජන් ද වත්ත ඉදිරිපිට තේ ෆැක්ටි්‍රයේ සාමාන්‍ය සේවකයෙකි. යශෝධනී රැකියාවක් නොකරන්නීය. ඒ තරුණ පවුල ජීවත්වන ලෑලි තට්ටුව දුටු විට මගේ හදවත ගැහෙන රිද්මය ද වෙනස් විය. ජූඩ් අයියාට පින්තූර ගැනීම පවා අමතක වී තුෂ්ණිම්භූතව ලෑලි තට්ටුව දෙස බලා සිටියේය. පුංචි දොරුවක් උඩ තුනී ලෑලි තට්ටුව ආවරණය කර ඇත්තේ ද පිටපලුවලින් සහ පරණ සාරිවලිනි. නිවසට නැඟීමට ඇති පඩි පෙළ ඉනිමඟක් හා සමානය. ඒ පිටපලු තට්ටුව තරුණ යුවළකගේ බර දරා සිටීමට ශක්තිමත් ද යන්න අපට නම් ප්‍රශ්නයකි. එහෙත් යශෝධනීලාට එය නිවසකි. යශෝධනීලාගේ අමුතු නිවස අසළින් ඈත් වී පටු මාවතක ඉදිරියට ඇවිද යන විට ඇසක ආබාධයක් සහිත වියපත් කාන්තාවක් ඇස ගැටිණි. ගෙපිළක ඇන තියාගෙන සිටි එම කාන්තාව අසළ අපි නරත වීමු.

හරක් මඩුවක ජීවත්වීමත් අවුලක් නැතිබව පෙන්වන මවුලනා වත්ත…

ඇහැට මොකද වෙලා තියෙන්නෙ…? මම ඇයට පැනයක් යොමු කළෙමි.

“පුංචි කාලේ බුලත් විටට කන හුණු ඇහැට වැටිලා. දැන් ඒ ඇහැ පේන්නෙම නෑ. අපේ අම්මලා මේ වත්තට එනකොට මට අවුරුදු එකහමාරයිලු. එදා ඉඳලා ජීවත් වෙන්නෙ මේ වත්තේ…” ඇය මීරි ෆාතිමාය. වයස අවුරුදු හැටපහකි. දරුවන් දෙදෙනාගෙන් වැඩිමහල් පුතා අඩු වයසෙන් මිය ගොස්ය. දෙවැනි පුතාට අවුරුදු විසි හයකි. ඔහුගේ රැකියාව ද කුලී වැඩය.

“රටේ ජීවන වියදම ඉහළ යෑමත් එක්ක වත්තේ මිනිස්සුන්ට කුලී වැඩ නෑ. වත්තේ හුඟ දෙනෙක් වැඩ කරන අර පේන තේ ෆ්‍රැක්ටියෙත් දැන් වැඩ අඩුයි. ගිය මාසෙම වැඩ තිබුණේ දවස් කිහිපයයි. ඒ නිසා මිනිස්සුන්ට කන්නවත් නෑ. ඉගෙන ගන්න දරුවන්ට කොපි පොතක්, පෑනක්, පැන්සලක් අරගෙන දෙන්න මවුපියන්ට සල්ලි නෑ. පාසලට යනකොට බනිස් ගෙඩියක් අරගෙන දෙන්න විදිහක් නෑ. පුංචි උන් බඩගින්නෙ අඬනවා. හමතේ වැටිලා ඉන්න පුංචි උන් දකිනකොට බඩ පපුව පත්තු වෙනවා මහත්තයො…” ඒ උස් හඬ ඥාණ ප්‍රකාශ්ගේය. වයස අවුරුදු පනස් අටකි. අංශබාග රෝගය වැළඳුණු ඔහු කතා කරන්නේ අසීරුවෙනි. ඇවිඳින්නේ හැරමිටියක වාරුවෙනි. ඥාණ ප්‍රකාශ් මෙන්ම මවුලනා වත්තේ වැඩිහිටි බහුතරය බෝ නොවන රෝගවලින් පීඩා විඳින බවද දැන ගැනීමට ලැබිණි.

මවුලනා වත්ත පුරා ඇවිඳ ගිය අපට ඥාණ ප්‍රකාශ් කියන කෑම අහේනිය තව මිනිස්සු කීහ. ඔවුන් පීඩා විඳින ලෙඩ, දුක් ගැන අපට කීහ. ගෙවල් තුළ උයා තිබුණු හැළි, වළං අපට පෙන්නූහ. පටු පාර දිගට දුව, පැන සෙල්ලම් කරන පුංචි දරුවන්ගේ ශරීර කූඩුවලින් පෝෂණ අඩුපාඩු ඇති බව හොඳින් දර්ශනය විය. එහෙත් ඒ බව පත්ඉරුවක සටහන් කරනවා විනා වෙන කළ හැකි දෙයක් නැත. අනේක විධ දුක් කම්කටොලු මැද ජීවත්වන මවුලනා වත්තේ ජනතාව මෙන්ම මෙරට සියලු පුරවැසියන් වැපිරූ අස්වැන්නට සරුසාර අස්වැන්නක් ලැබෙමින් තිබේ. ගෝල්ෆේස් අරගලයේ බණ්ඩි පොහොර පහරට ඒ අස්වැන්න තව සරු විය. දැන් ඉතිං ලැබෙන දේ සතුටින් භුක්ති විඳීමට රටේ ජනතාව හිත් හදාගත යුතුය.

තරංග රත්නවීර
ඡායාරූප
ජුඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment