‘හරක් වැඩ’ නිසා නරක් වුණු කිටි හරක් පාලනය

69

රටේ ජනතාවට පිටි කිරි මිල ඉහළ යෑම ගැන ඇත්තේ කලකිරීමකි. එයට හේතුව කුමක්ද කිවහොත් පසුගිය කාලය තුළ ආනයනික පිටිකිරි මිල වැඩිවූයේ ජනතාවට කිසිසේත් දැරිය නොහැකි මිල ගණන්වලිනි. ආනයනික කිරිපිටි වැඩිවූ කල එයට සමානව දේශීය කිරිපිටි මිල ද මේ වනවිට වැඩිවී ඇත. මේ හේතුවෙන් රටේ ජනයා එදා සිට පුරුද්දට මෙන් පානය කළ කිරි කෝප්පය පානය කිරීම නවතා දැමුවේ රටකරවන පාලක පක්‍ෂයට ද සාප කරමිනි. මෙම ප්‍රශ්නය තදින්ම බලපාන්නේ කුඩා දරුවන්ටය. මිල වැඩිකළ කිරිපිටි මිල දී ගැනීමට හැකියාවක් දෙමාපියන් තුළ නොමැතිවීමෙන් බහුතරයක් දරුවන්ට ද අද කිරිවීදුරුවක රස බැලීමට ඇති හැකියාව ගිලිහී ගොසිනි. ඒ නිසා කිරි වීදුරුවකින් ලබාගත් පෝෂණය අද එම දරුවන්ට නැත. තවත් පැත්තකින් කිරිපිටි පානය අත්හැර දැමීමට නොහැකි පිරිසට අහස උසට ඉහළ ගිය මිල ගණන් යටතේ තිබෙන කිරි පැකට්ටුව මිලදී ගැනීමට අකැමැත්තෙන් හෝ සිදුව තිබේ. පවතින ආර්ථික තත්ත්වයත් සමග රටේ කිරිපිටි ප්‍රශ්නයදට පිළිතුරු සෙවීම ගැටලු සහගතය. මෙම ප්‍රශ්නයට ඉදිරිපත් කළ හැකි කදිම විසඳුම වන්නේ දියර කිරි කර්මාන්තය මෙරට තුළ දියුණු කිරීම හා ඒ ආශ්‍රිත නිෂ්පාදන වැඩි කිරීමය. මේ නිසා මෙරට තුළ කිරිගවයන් ඇතිකර එමගින් රටේ කිරි අවශ්‍යතාවය සැපිරිය යුතුවේ. මේ ක්‍රියාදාමය අපේ රට තුළ නිසියාකාරව ක්‍රියාත්මක නොවන වගකුත් කාලයක් තිස්සේ මෙරටට ආනයනය කරන ලද කිරිගවයන් මියයෑමේ පුවත් ද මේ දිනවල කරළියට පැමිණෙමින් තිබේ. ඇත්තෙන්ම මෙසේ සිදුවූයේ කෙසේද? රට ආර්ථික අගාධයකට වැටී ඇති මෙවන් කාලයක රටේ ධනය මෙසේ නිරාපරාදේ විනාශ වීමට වගකිවයුත්තෝ කවුරුන්ද යන්න තවමත් හෙළිවී නැත.

● කිරි ගවයන් ආනයනයට වැයකළ ඩොලර් කෝටි තුන වතුරේ

පසුගියදා කෝප් කමිටුවේ දී අනාවරණය වූයේ ජාතික පශු සම්පත් මණ්ඩලය 2012, 2013, 2015 යන වර්ෂවල දී ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වූ කිරි ගවයන් 4,495 දෙනකු ගෙන් 3991 දෙනකු මියගොස් ඇති බවය. මෙම කිරි ගවයන් ආනයනය සඳහා ශ්‍රී ලංකා රජය වැයකර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් කෝටි තුනකි. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට 2018 වර්ෂයේ දී කිරි ගවයන් ආනයනය කිරීම වෙනුවෙන් අත්තිකාරම් වශයෙන් ගෙවූ ඇ.ඩො.මිලියන 11.09ක මුදල පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විගණකාධිපතිවරයාහට නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකාවේ කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ආරම්භ වන්නේ 2012 වසරේ මාර්තු මාසයේදී ය. එහිදී මාර්තු මස දී කිරි ගවයන් 500ක් ද 2013 වසරේ ජනවාරි මස දී කිරි ගවයන් 1500ක් ද ආනයනය කර ඇත. එසේ ආනයනය කරන ලද කිරි ගවයන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් බෝපත්තලාව, ඩයගම, මැණික්පාලම යන ගොවිපළවල් කිහිපයකට බෙදා දී ඇත. නැවතත් 2015 වර්ෂයේ දී කිරි ගවයන් 2495ක් ආනයනය කර හම්බන්තොට පිහිටි පශු සම්පත් මණ්ඩලයේ රිදියගම ගොවිපළට ලබා දී ඇත. මෙම රිදියගම ගොවිපළ වෙත සතුන් ලබාදීමේ දී කිසිදු ශක්‍යතා අධ්‍යයනයකින් තොරව ලබාදී ඇති බවද තොරතුරු මගින් අනාවරණය වේ. 2007 වසරේ සිට 2015 වසර දක්වා කිරි ගවයන් ආනයනයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා ද එකිනෙකට පරස්පර වී ඇති බව වරෙක විගණකාධිපතිවරයා ද නිරීක්‍ෂණය කර තිබිණි. මෙම ව්‍යාපෘති හේතුවෙන් රජයට පාඩුවී ඇති අතර තවත් ගැටලු රාශියකට මුහුණ දීමට ඊට අදාළ නිලධාරීන්ට සිදුවී ඇත.

● ආණ්ඩු මාරුවෙන් මඟනැවතුණු කිරිගව ආනයනය

කිරි ගවයන් ආනයනයේ තුන්වැනි අදියර ලෙස වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාවට කිරි ගවයන් 20,000ක් ආනයනය කර ගොවීන් අතර බෙදා දීමේ ව්‍යාපෘතියක් ගැන ඉදිරිපත්වූ කැබිනට් පත්‍රිකාවකට 2004 වසරේ ජනවාරි මස 13 වැනිදා අනුමැතිය ලැබිණි. එම කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබුණේ කිරි ගවයන් ආනයනයට නෙදර්ලන්ත බැංකුවකින් ණය ලබාගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. අදාළ බැංකුව සමග ණය ගිවිසුම් අත්සන් කිරීමට කැබිනට් පත්‍රිකාවෙන් අවසර ඉල්ලා තිබුණේ එකල මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපතිවරයෙකි. කෙසේ වෙතත් එම ව්‍යාපෘතිය අතරමඟ නැවතුණේ 2015 වසරේ දී ආණ්ඩු පෙරළියත් සමගම ය.

● ටෙන්ඩරයට පිටින් ගිය කිරි ගව ආනයනය

කිරි ගවයන් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව නිසි ටෙන්ඩර් ක්‍රමවේදයකින් අනුව කොන්ත්‍රාත්කරුවකුට භාර දිය යුතුය. එසේ වූවත් එවැන්නක් සිදුවී නැත. ගවයන් ගෙන්වීමේ දී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පසෙකට දමමින් 2007 වසරේ දී ටෙන්ඩර් කැඳවා කිරි ගවයින් ආනයනයට භාරදීමට තෝරාගත් කොන්ත්‍රාත්කරුට ම ටෙන්ඩර් කැඳවීමකින් තොරව යළි කොන්ත්‍රාත්තුව ලබාදීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත. කිරි ගවයන් ආනයනය කිරීම නිසි ආකාරයට සිදුවී නැති බවට මෙවැනි කරුණුවලින් තහවුරුවනු ඇත.

● විධිමත්ව සිදුනොවූ සතුන් බෙදා දීම

කිරි ගවයන් 20,000ක් ගෙන්වීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 2014 ජුනි 04 දිනැති කැබිනට් තීරණය අනුව ආනයනික ගවයන් නිරෝධායනය සඳහා හුදෙකලා ප්‍රදේශවල පශු වෛද්‍ය සුපරීක්‍ෂණය යටතේ මාසයක කාලයක් තැබිය යුතුය. ආනයනික සතුන් ඍජුව ම ගොවිපළ වෙත ලබානොදී රජයේ ගොවිපළවල් භාරයේ තබාගෙන ඔවුන්ගෙන් ලබාගන්නා පැටව් ගොවීන් වෙත බෙදා දීම ද 2014 ජුනි 05 දින ගත් කැබිනට් තීරණයකි. මෙම ව්‍යාපෘතියට අනුව කිරි එළදෙනුන් ලබාගැනීමට කැමැත්තක් දක්වන අයට අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දින දෙකක දී පුවත්පත් දැන්වීම් මගින් ප්‍රචාරය ලබාදී ඇත. එහි කිරි දෙනුන් 10කට වැඩියෙන් ලබාගැනීමට කැමැත්තක් දක්වන අයවලුන්ගේ යෝජනා අයදුම්පත්‍රයක් සමග එවන ලෙස ද එහි දක්වා තිබිණි. කෙසේ නමුත් මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් තෝරා ගන්නා පිළිවෙළ හෝ ක්‍රමවේදය නොතිබුණු අතර කිරිදෙනුන් ලබාදෙන්නේ නොමිලේ ද නැතහොත් සහනාධාර මතද යන්න එම දැන්වීම් තුළ සඳහන් වී නැත. එහි අඩුම වශයෙන් අයදුම්පත් එවිය යුත්තේ ලියාපදිංචි තැපෑලෙන් ද නැතහොත් සාමාන්‍ය තැපෑලෙන් ද එසේත් නැතහොත් ගෙනැවිත් භාරදිය යුතුද යන්න කිසිදු සඳහන් එහි තිබී නැත.

රජයේ පිළිගත් ක්‍රමවේදයන්ට පිටින් කිරි ගවයන් 2500ක් ආනයනය කිරීමට කටයුතු කර ඇති අතර 2017 මැයි 14 වැනිදා ලංකාවට ගෙන්වා ඇත්තේ කිරි ගවයන් 1994දෙනකු පමණි. එහි ඉතිරි ගවයන් හයදෙනාට වූ දෙයක් ගැන කිසිදු සඳහනක් නැත. ඔවුන් ප්‍රවාහනයේ දී මියගිය බවද ඇතැම්හු සඳහන් කරති. එලෙස ගෙන ආ සතුන් 1911ක් එදිනම අයදුම්කරුවන් අතුරෙන් තෝරාගන්නා ලද පිරිසකට බෙදාදුන් බවද වාර්තා වේ. ඉතිරි 83දෙනා මැණික්පාලම ගොවිපළේ රඳවා තබාගෙන 2017 ජුනි 13 වැනිදා සහ 2017 ජූලි 28 වැනිදා බෙදාහැර ඇත. එහිදී එක් කිරි ගවයකු සඳහා ආයනයනික වටිනාකම හා එන්නත් කිරීම් හා රෝග පරීක්‍ෂා වියදම්ද සමග රුපියල් 520228 ක් වැය වී ඇති බව වාර්තාවේ. එහිදී ලක්‍ෂ දෙකක් කිරි ගොවීන්ගෙන් අයකර ගෙන ඇති අතර ඉතිරිය රජය මගින් දරා ඇත. ඒ අනුව කිරි දෙනුන් 1994දෙනා සඳහා මූලික වියදම රුපියල් 1,037,334,632 ක් වැයවී ඇත. එනම් රුපියල් කෝටි 103.73 කි.

තවද කිරිගවයන් බෙදාදීමේ දී සිදුවූ අකටයුතුකම් බොහෝමයක් ද පවතී. මෙතරම් මුදලක් වියදම් කර ආනයනය කරන ලද කිරි ගවයන් ලබාදෙන ගොවිපළවල් සම්බන්ධයෙන් නිවැරදි නිරීක්‍ෂණයක් නොමැතිකම ඉන් එක් කරුණකි. එයට කදිම නිදසුන් වන්නේ 2017 ඔක්තෝබර් 18 වැනිදා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ගොවිපලවල් පරීක්‍ෂාවට ගිය අවස්ථාවේ කිරිගවයන් බෙදාදුන් ප්‍රතිලාභීන්ගේ නාමලේඛනයේ කිරි ගවයන් 20ක් ලබාදුන් බවට සඳහන් එක් ස්ථානයකට ගියවිට එම ලිපිනයේ එයට අදාළ ගොවිපළක් තිබී නොමැත.

● ආනයනය කළ කිරිගවයන් අයහපත් සෞඛ්‍ය මට්ටමේ

ආනයනය කළ කිරි ගවයන්ගෙන් සැලකිය යුතු පිරිසකට ගොවිපළ වෙත භාර දෙන අවස්ථාව වන විටත් මැක්ස්ටයිටීස් නැමැති රෝගය වැළදී ඇති බවට වාර්තා වේ. ශ්‍රී ලංකාව තුළට කිරි ගවයන් ගෙන ඒමේ දී එම සතුන් පරීක්‍ෂා කර බලා අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මෙම රෝගය අනිකුත් සතුන් අතර ශ්‍රීඝයෙන් පැතිර ගිය බවද එම තොරතුරුවල සඳහන් වේ. රජය මගින් එක් එළදෙනකුගේ කිරි ලීටර් 15ක් ලබාගත හැකි බව ප්‍රකාශ කළ ද කිරි කඳුළක්වත් ලබාගැනීමට ගොවීන්ට නොහැකිවී ඇත. එයට හේතුව එම සතුන් රෝගී තත්ත්වයේ සිටි බවද එම ගොවීන් නඟන චෝදනා වේ. තවද මෙසේ ගොවිපළ වෙත නිකුත් කරනු ලැබූ කිරිදෙනුන්ගේ පුඩු මැරී හෝ කිරි ගැනීමට නොහැකි තත්ත්වයේ තිබී ඇත. එමෙන්ම ගැබ්බර කිරි දෙනුන් යැයි කියමින් ආනයනය කළ මෙම කිරි දෙනුන් අතර ගැබ් නොගත් සතුන් සහ ගැබ මළදෙනුන් ද සිටි අතර ඇතැම් පැටවුන් බිහිවීමෙන් පසු ලේ පාචනය වැනි රෝගී තත්ත්වයන් ගෙන් මියගිය බවද ගොවීන් සඳහන් කරති. මේ හේතුවෙන් තම කර්මාන්තය කරගෙන යෑමට නොහැකිව කිරි ගොවීහු වැටී ඇත්තේ බරපතළ ගැටලුවකටය. ඔවුන් ආනයනික කිරි ගවයන් මිල දී ගැනීම නිසා කෝටි ගණනක ණය කන්දක පැටලී සිටිති. ණය ගෙවීමට නොහැකිව ඇතැම් ගොවීන් ගෙවල් දොරවල් පවා උකසට තබා ඒවා සින්නවන තරමට ම මෙම ප්‍රශ්නය දුරදිග ගොස් ඇත.

● ලංකාවේ කඩාවැටුණු කිරිගව කර්මාන්තය ගැන විදෙස් අනාවරණයක්

ශ්‍රී ලංකාවට ප්‍රමිතියෙන් තොර ගව දෙනුන් ආනයනය කර ශ්‍රී ලාංකික කිරි ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ ලංකාව තුළ උද්ගතවී ඇති ගැටලු හා මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ ඔස්ට්‍රේලියානු පුවත් සේවා මගින් ද අනාවරණය කර ඇත. එම අනාවරණයට අනුව විශාල මුදලක් ගෙවා ලබාගත් කිරි ගවදෙනුන් මියයෑම හා මන්දපෝෂණයෙන් පෙළීම නිසා ඇතැම් ගොවීන් සියදිවි හානිකර ගැනීමේ තත්ත්වයට පත්ව සිටින බව ද ප්‍රකාශ කර ඇත. ඔස්ට්‍රේලියානු ජාතික ගුවන් විදුලිය හා රූපවාහිනිය වන ඔස්ට්‍රේලියා බොඩ්කාස්ටින් කෝපරේෂන් වාර්තා කළ පුවතින් පෙන්වා දෙන්නේ මෙම ගනුදෙනුව තුළින් පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුව ඇතැයි ශ්‍රී ලංකාවේ විගණකාධිපතිවරයා පෙන්වාදුන් බවකි.

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවට ගෙන්වන ලද කිරි ගවයන්ගෙන් 5000කට වඩා ප්‍රමාණයක් විවිධ රෝගවලට ගොදුරුවී ඇති අතර තවත් කොටසක් මියගොස් තිබේ. කිරි ගොවීන් පවසන ආකාරයට ඉතිරි දෙනුන්ගෙන් ද ලබාගන්නා කිරි ප්‍රමාණය සීමාසහිතය. මෙම ව්‍යාපෘතියට විදේශයන් පවා නඟන චෝදනා එමටය. ඔවුන් පවසන ආකාරයට මෙම දෙනුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ගොවීන්ට පුහුණුවක් ලබාදීමට ද එකඟ වී තිබූ බවත්, මෙරට ගොවීන්ට එවැනි කිසිදු පුහුණුවක් ලබාදී නොමැති වීම හේතුවෙන් මෙලෙස සතුන් මැරීයෑමට හේතුව බව ඔවුන්ගේ මතයයි. නිසි ක්‍රමවේදයක් නොමැතිව මෙසේ කිරි ගවයන් ආනයනය කිරීම තුළින් මේ වනවිට දේශීය ආයෝජකයන් සහ කිරි ගොවීන් විශාල පිරිසකට අත්වී ඇත්තේ ශෝකජනක ඉරණමකි. සත්‍යවශයෙන්ම ඔවුන්ට සිදුවූ ඇති පාඩුව වළක්වා ගැනීම සඳහා රජය මගින් මියගිය මවුසතුන්ට හා පැටවුන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදිය යුතු අතර බැංකුවලින් ලබාගත් ණය මුදල් වාරික ගෙවීම සඳහා සහනද ලබාදිය යුතුය. රටේ කිරි ගොවියා රැකගැනීමෙන් දේශීය කිරි කර්මාන්තය රැකගැනීම වහා කළ යුතු ක්‍රියාවකි. මෙම ක්‍රියාවලිය රටේ දේශපාලන අම්බරුවන්ට දැන්වත් නොතේරෙනවානම් එය ශ්‍රී ලාංකික ජාතියකම අවාසනාවකි.

රමින්ද ලසන්ත මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment