හර්තාලය අර්තාපල් නොවනු පිණිස…

2363

මුදල් ඇමැති අලි සබ්‍රීට මීට දෙතුන් දිනකට පෙර පාර්ලිමේන්තුවේදී හෘද සාක්ෂියට එකඟව ඇඟේ මයිල් කෙළින් හිටවන කතාවක් කළේය. ඒ කතාවේ සාරය මෙසේය. “ශ්‍රී ලංකාව පසුගිය අවුරුදු දෙක තුළ ඉතිහාසගත වැරදි ගණනාවක් කළේය. බදු අඩු කිරීම, ණය මුදලක් ලබා ගැනීම සඳහා IMF නොයෑම, රුපියල පා නොකිරීම එයින් කිහිපයකි. දැනට හිඟ වී තිබෙන භාණ්ඩ ඉදිරි කාලයේදී සහමුලින්ම රටට නැති වනවා ඇත.”

අලි සබිගේ කථාව නිසි ලෙස විග්‍රහ කළොත් විශාල අවුලක් හට ගනී. දැනට මේ රටේ ගෑස් නැත. පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් නැත. කිරි පිටි නැත. හාල් නැත. පරිප්පු නැත. මෙහිදී නැත යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉතා සුළු වශයෙන් පමණක් පාරිභෝගිකයන් අතට යන භාණ්ඩ ය. කිසියම් භාණ්ඩයක් ලබා ගැනීමට පාරිභෝගිකයාට මුදල් නැත්නම් හෝ එම භාණ්ඩය හිඟ වීම නිසා පාරිභෝගිකයාට ලබා ගැනීමට නොහැකි නම් හෝ එම භාණ්ඩ අර්ථකථනය වන්නේ නැති භාණ්ඩයක් ලෙසය. මේ නැති භාණ්ඩ නැත්තටම නැති වන බව රටේ මහජනයා දැනගත් විට ආණ්ඩුව තවමත් ඉල්ලා අස් නොවී සිටින්නේ මොන මඟුලකට ද යන ප්‍රශ්නය පැන නැගෙයි. මෙවැනි තත්ත්වයක් රට තුළ ක්‍රමයෙන් වර්ධනය වන බව ප්‍රචාරය වන කල්හි ජනතාව හර්තාල් කිරීමෙන් පමණක් වැළකී සිටියොත් එය පුදුමයකි. ශ්‍රී ලංකාවේ පවතින කලහකාරී සහ නන්නත්තාර තත්ත්වය සමනය කිරීමට ඉන්දියාව පොඩි පොඩි පැච් දමන බව පෙනේ. එයට හේතුව මෙසේය. මහ පාරට පැමිණ තිබෙන ශ්‍රී ලංකාවේ පොදු ජන විරෝධය රටේ ආණ්ඩුව පෙරලුවොත් එය ඉන්දියාවට නරකට බලපාන්නේය. එවිට ආණ්ඩු විරෝධී ඉන්දියානුවන් කල්පනා කරනු ඇත්තේ තමන් ද මහ පාරට බැස ඉන්දියන් ආණ්ඩුවට තර්ජනය නොකරන්නේ මන්ද යන්නය. ඉන්දියාව LTTE සංවිධානයට උදව් කළේ ලංකාවට බාල්දි පෙරළීම සඳහා පමණි. ලංකාව තුළ ඊළමක් ඇති වීම ඉන්දියානු මධ්‍යම රජය කවදාවත් ඉවසන්නේ නැත. එයට හේතුව උතුරු නැගෙනහිර දෙපළාතෙහි ඊළමක් බිහිවූයේ නම් එම තත්ත්වය ආදර්ශයට ගෙන තමිල්නාඩුව වෙනම රාජ්‍යයක් බිහි කරන නිසාය. කෙසේ වුවද ඉන්දියාව කවර ආකාරයේ අණ්ඩ දැමුවත් ආණ්ඩුවේ බිඳ වැටීමත් ජනතාවගේ ආණ්ඩු විරෝධී හඬ වඩ වඩාත් වර්ධනය වීමත් වැළැක්වීමට බැරිය. අද පැවැත්වීමට සැලසුම් කර ඇති සමස්ත ලංකා හර්තාල් ව්‍යාපාරය ඒ බව ඉතා පැහැදිලි ලෙස පෙන්වයි.

වැඩි දෙනා නොදන්නවාට හර්තාල් යනු ඉන්දියානු වචනයකි. ඉන්දියාවට අමතරව බංගලාදේශය සහ නේපාලය යන දෙරටෙහිම හර්තාල් යන වචනය පාවිච්චි කෙරේ. හර්තාලයක් සහ දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් අතර වෙනස්කම් පවතී. හර්තාලය නිහඬ විරෝධතාවකි. නිහඬ විරෝධතාවක් ලෙස හඳුන්වනු ලබන්නේ කිසිදු සටන් පාඨයක් නොකියා කට වසාගෙන සිටීම නොවේ. හර්තාලයකදී ආණ්ඩු විරෝධී සටන් පාඨ, ආණ්ඩු විරෝධී බැනර් ප්‍රදර්ශනය කිරීම සිදු කෙරේ. එයට අමතරව හර්තාලය පවතින ප්‍රදේශවල කඩ වසා දැමීම, ආයතනවලට වැඩට එන සේවකයන් වැඩ නොකර සිටීම යනාදිය සිදුවෙයි. දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක තත්ත්වය මීට වඩා වෙනස්ය. මෙවැනි අවස්ථාවකදී ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වෙළෙඳ සල් විවෘත කළ නමුදු ප්‍රධාන වශයෙන් රජයේ ආයතන වැඩ කරන්නේ නැත. ඇතැම් වෘත්තීය සමිතීන්ට සම්බන්ධ පෞද්ගලික ආයතන වැඩ වර්ජනයට එක්වන අතර එය සිදුවන්නේ සේවක සහ පාලක පක්ෂය අතර කලින් ඇතිකර ගත් ගිවිසුම් මතය. හර්තාලයකට එවැනි ගිවිසුමක් අවශ්‍ය නොවේ. අද පැවැත්වෙන හර්තාලයේ හඬ ආණ්ඩුවට ඇසිය යුතුමය. හර්තාල් ව්‍යාපාරය මුලින්ම පටන් ගන්නේ ඉන්දියාවේය. ඒ කාලයේදී ලංකාව මෙන්ම ඉන්දියාව ද පාලනය කරන ලද්දේ British East India Company නමැති කුළුබඩු සහ ඇත් දළ වෙළෙඳාම් කරන කොම්පැනියක් මගිනි. මේ කොම්පැනිය සමග ඉන්දියාවට පැමිණ සිටි බි්‍රතාන්‍ය යුද හමුදාව එම කොම්පැනියටත් කොම්පැනියේ චෙයාර්මන්ටත් ඩිරෙක්ටර්ලාටත් ආරක්ෂාව සැපයූහ. එනම් එම කොම්පැනියට බයිනෙත්තුවේ බලය තිබුණි. අගට දිග පිහියක් සවි කරන ලද බයිනෙත්තුව නමැති තුවක්කුවෙන් වෙඩි තබා මැරීම මෙන්ම පිහියෙන් ඇන මැරීම ද කළ හැකි විය. මේ අවි බලය නිසා ඉන්දියන් භූමිය තුළ පෙර කී කොම්පැනිය මහත් සේ බලවත් වූ බැවින් රට තුළ බදු පැනවීමේ අයිතිය ද කොම්පැනියටම කළ හැකි විය. 1835 දී බ්‍රිටිෂ් ඊස්ට් ඉන්දියා සමාගම ඉන්දියාව තුළ ලුණු බද්දක් පැනවීය. මේ ලුණු බද්දට අනුව ලුණු නිපදවන සියලු ඉන්දියානු ලේවායන් සමාගමට භාර විය. පුද්ගලිකව ලුණු එකතු කිරීම රට වැසියන්ට තහනම් කරන ලදී. රට වැසියන් ලුණු මිලට ගත යුතුව තිබුණේ සමාගමෙන්ය. එම ලුණු මත බද්දක් පනවා තිබූ අතර ඒ නිසා ඉන්දියානු සතයක පමණ මුදලකට ලබා ගත හැකිව තිබූ ලුණු සේරුව තවත් සතයකින් මිල වැඩි විය. මේ දිනවල මහත්මා ගාන්ධි සීන් එකේ නැත. එහෙත් පසු කාලයේදී එනම් 1930 දී, ලුණු බද්ද පැනවීමෙන් අවුරුදු 95 ට පසු ඊට විරුද්ධව මහත්මා ගාන්ධි සත්‍යග්‍රහයක් සංවිධානය කළේය. මෙය අහිංසාවාදී සත්‍යග්‍රහයකි. එය ක්‍රියාත්මක වුණේ පා ගමනක් ලෙසය. ලුණු අවනඩුව දෙවියන්ට කියමින් ගාන්ධිගේ ගෝලයෝ දස දහස් ගණන් පෙළපාලි දැක්වූහ. මෙවිට කෝපයට පත් බි්‍රතාන්‍ය හමුදාව සත්‍යග්‍රහ කට්ටියට පොලුවලින් තඩි බා ඔවුන්ගේ තට්ට පලා එලවා දැමූහ.

නූතන ලෝකය බෙහෙවින් දියුණු වී තිබේ. මූලික මිනිස් අයිතිවාසිකම් ද එහි වඩාත් පුළුල් අවස්ථාව වූ මානව හිමිකම් ද මහත් ඉහළින් සලකනු ලැබේ. අප දන්නා පරිදි මේ වනවිට සත්‍යග්‍රහ, හර්තාල්, දීප ව්‍යාප්ත වැඩ වර්ජන සහ රාජ්‍ය විරෝධී පෙළපාලි යනාදියට ඉඩ නැත්තේ පරණ කොමියුනිස්ට් පැදුර දිග හැරගෙන එහි ඇති පාට පිච්චුණු රටා දෙස බලා සිටින රාජ්‍ය නායකයන් ජීවත්වන රටවල පමණි. මේ රටවලින් ප්‍රමුඛතම රට උතුරු කොරියාව ය. මේ රටේ සිටින රාජ්‍ය නායකයා වන කිම් ජොං ඉල් නමැති පිස්සු භූතයා රාජ්‍ය විරෝධී කටයුතුවල නිරත වන රට වැසියන් අල්ලා කරවල බවට පත්කරනු ලැබේ. එහෙත් ලංකාවේ ඒ සෙල්ලම් තවදුරටත් බැරිය. දැනට මේ රටේ පවතින ජනතා විරෝධය සියතට ගැනීමට දේශපාලන පක්ෂ ගණනාවක්ම උත්සාහ කර ඇති නමුදු ඒ වැඩේ කර ගැනීමට බැරි වී ඇත. ගෝල්ෆේස් විරෝධතාකරුවන් අතරට හමුදා බුද්ධි අංශයේ දෙසීයක්වත් බස්සා ඇති බව අපි දනිමු. එහෙත් මීට දින කිහිපයකට පෙර දහසක පමණ වූ භික්ෂුන් වහන්සේලා පිරිසක් ජනාධිපති මන්දිරයේ ගේට්ටු බලෙන් විවෘත කරගෙන ඇතුළු වීම මේ කියන බුද්ධි අංශයේ එකෙක්වත් දැන සිටියේ නැත. රටක බිඳ වැටීමේ ප්‍රමුඛ සාධකය ආර්ථිකය වූ විට පාලකයෝ කට උත්තර නැති තත්ත්වයකට පත්වෙති. අද පැවැත්වෙන හර්තාලය සාධනීය වන්නේ ජනතාව එයට සහභාගී වන ස්වරූපය අනුවය. දැනට ගෝල්ෆේස් විරෝධතාකරුවන් අතරට රිංගා සිටින කොස්ගොඩ තාරකගේ හෝ මධුෂ්ගේ කුඩ්ඩන් හර්තාලයට බැස්සොත් වැඩේ අල වීමට ඉඩ තිබේ. ඒ නිසා ජනතාව ඉතා පරෙස්සමෙන් සහ සිහිපත් නුවණින් කටයුතු නොකළොත් මේ හර්තාලය අර්තාපල් බවට පත්වනු ඇත. සමහර විට මෙවැනි ජන විරෝධතා කඩාකප්පල් කිරීමට ආණ්ඩුව ඇතුළෙන්ම එන බලවේගවලට ද පුළුවන.

advertistmentadvertistment
advertistmentadvertistment