ශ්‍රී ලංකාවට කඩුලු 7ක සුපිරි ජයක්
හර්ෂිතා සමරවික්‍රමගේ සහ විශ්මි ගුණරත්නගේ ලකුණු 83ක ආරම්භක කඩුල්ලේ සබඳතාවයෙන් සවිමත් වුණු ශ්‍රී ලංකා ඉනිම ඉදිරියටම ගෙන යමින් ජයග්‍රහණයකින් කෙළවර කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ (11 දා) රාත්‍රියේ සමත්වූවාය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායිකාව වන චමරි අතපත්තු නොමැතිව සහභාගි වූ පළමු තරගයේදීම අයර්ලන්ත ක්‍රීඩිකාවන්ට එළව එළවා පහර දුන් හර්ෂිතා පන්දු 45කින් ලකුණු 86ක් ලබාගත් අතර, ආරම්භක පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි ඇය තරගය අවසාන වන තෙක් කඩුල්ලේ රැඳී සිටි අතර, අවසානයේ තරගයේ වීරවරිය ලෙස සම්මාන ලබන්නටද ඇය සමත් වූවාය.
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලිය යටතේ පැවති පළමු තරගයෙන් සත්කාරක අයර්ලන්තය පරදා කඩුලු 7ක ජයක් ලබන්නට ශ්‍රී ලංකා කාන්තාවන් සමත්වූවාය.
අයර්ලන්තයේ ඩබ්ලින්හිදී ඊයේ (11දා) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමින් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ ලබාගැනීමට හැකිවූයේ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් පමණි.
ලකුණු 146ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 149ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්වූයේය.
ඒ අනුව කඩුලු 7ක ජයක් සමග තරග දෙකකින් සමන්විත තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකිවිය.
අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ගබී ලිවිස් ලකුණු 39ක්, ඔර්ලා ප්රෙන්ඩිර්ගස්ට් ලකුණු 29ක්, නායිකා ලවුරා ඩිලනි ලකුණු 25ක්, රෙබේකා ස්ටොකීල් ලකුණු 21ක් ලැබීය.
පන්දු යැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 35කට කඩුලු 2ක්, උදේශිකා ප්‍රබෝදිනී ලකුණු 20කට 1 කඩුල්ලක් සහ සුගන්දිකා කුමාරි ලකුණු 23කට කඩුලු 1ක් බිඳහෙලීය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීමේදී විශිෂ්ට ඉනිමක් දියත් කළ හර්ෂිතා සමරවික්‍රම නොදැවී පන්දු 45කින් ලකුණු 86ක් ලබා ගැනීමට සමත්වූ අතර, ඇයගේ ඉනිමට හතරේ පහර 15ක් සහ හයේ පහර 1ක් ඇතුළත් විය. ඊට අමතරව විශ්මි ගුණරත්න ලකුණු 30ක් සහ අනුෂ්කා සංජීවනී ලකුණු 12ක් ලැබීය.
අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් ප්‍රීයා සර්ගන්ට් ලකුණු 27කට 1 කඩුල්ලක්, අර්ලිනා කිලී ලකුණු 26කට 1 කඩුල්ලක් සහ ලවුරා ඩිලනි ලකුණු 16කට 1 කඩුල්ලක් බිඳ දැමීය. පන්දු 45කින් ලකුණු 86ක් ලබාගත් හර්ෂිතා සමරවික්‍රම තරගයේ වීරවරිය ලෙස සම්මාන දිනාගත්තාය.
සිසිර ඉන්ද්‍රජිත්
සංස්කරණය – සුසිල් ජයකොඩි